ගලගොඩඅත්තේ හිමියන්ට දුන් අධිකරණ තීන්දුව සෙසු අයටත් පාඩමක් – ආචාර්ය ධනවර්ධන ගුරුගේ

124

ආගමික සහජීවනයට හානිකර ප්‍රකාශ කරන ලදැයි චෝදනා ලැබ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහාධිකරණය මගින් ලබාදෙන ලද නඩු තීන්දුව ආගම් අතර භේද පැතිරවීම් හා ආගමික හා ජාතික සහජීවනයට බාධා පැමිණවීම් කරන සෙසු සියලු ආගම්වලට හා සිවිල් සමාජයටද හොඳ පාඩමක් බව සමගි ජනබලවේගයේ බෞද්ධ කටයුතු අංශ ප්‍රධානී විපක්ෂ නායක උපදේශක මණ්ඩලයේ සාමාජික ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පැවසීය.

මේ රටේ ජාතීන් අතර අසමගිය, ආගම් අතර භේද ඇවිලීම් නිසා වරින් වර සිදුවූ අවුල් විපත් දකින විට සිවිල් සමාජයට එම නඩු තීන්දුව හොඳ පණිවුඩයක් දෙනවා.

ඒවගේම රජය පැත්තෙනුත් උතුරේ හෝ දකුණේ විවිධ ජාතිවාදී දේශපාලන අතකොලුවල නොහොබිනා ක්‍රියාකාරකම්වලට උඩ ගෙඩිදී බලා නොසිට මුල් අවස්ථාවලම ප්‍රශ්න පැන නගින විට තීන්දු තීරණ සෘජු ලෙස නොගැනීම නිසා මෙවන් තත්ත්වයන් උද්ගත වන බව කිව යුතුයි.

රජයේ ක්‍රියාමාර්ග පසුගාමී වන විට වෙනත් අයට සීමාවන් පසෙකලා ක්‍රියාත්මක වීමට සිදුවන බව කිව යුතුයි. 1950 දශකයේ ශ්‍රී අකුරට එරෙහිව එදා නැගුණ ජාතිවාදී විරෝධය 83 ජූලි කලබල, බේරුවල හා මහනුවර, මාවනැල්ලේ සිද්ධි බලද්දී අපිට පාඩම් කියා දෙනවා. ඒ නිසා යම් පුද්ගලයකු දෙන දඬුවමක් ගැන කියනු වෙනුවට ප්‍රශ්න පැන නගින විට පාලකයන් එවන් ප්‍රශ්න දෙස ‘ඡන්දවාසි’ කෝණවලින් බලා තීන්දු ගැනීමත් සිදු නොවිය යුතු යැයිද ඔහු කීය.

“දේශපාලකයන් හෝ ආගමික නායකයන් ප්‍රවේශමෙන් කට පාවිච්චි කළ යුතු බව මෙවන් තීන්දුවලින් යළිත් අපට පසක් කරනවා” යැයිද ඔහු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment