ග්‍රෑන්ඩ්පාස් කුඩු ජාවාරම්කාරියගෙන් කෝටියක් කොල්ලකෑමට ගිය 4 ක් එස්.ටී.එෆ්. දැලේ

332

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සතු රුපියල් කෝටියක මුදල් කොල්ලකෑමට ව්‍යාජ පිස්තෝලයක් ද රැගෙන යමින් සිටි කොල්ලකරුවන් සිව්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ සංග්‍රාමික යතුරුපැදි ඒකකය මගින් පෙරේදා (09 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් කෝටියකට ආසන්න මුදලක් රැගෙන මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට යමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය සහ ඇගේ සහායකයා ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබූ මුදල් මත්ද්‍රව්‍ය සහ ත්‍රිරෝද රථය ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ මුදල් කොල්ලකෑමට යමින් සිටි තරුණයන් සිව්දෙනා සේදවත්ත සහ මීරිගම පදිංචිකරුවෝ වෙති. ඔවුන් සතුව තිබූ ව්‍යාජ පිස්තෝලය සහ යතුරුපැදි දෙක ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංග්‍රාමික යතුරුපැදි ඒකකයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි කේසර රත්නවීර මහතාට ලැබුණු තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම කොල්ලකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සතු රුපියල් කෝටියක මුදල් කොල්ලකෑමට තමන් පැමිණි බවයි.

පසුව මෙම කොල්ලකරුවන්ගේ ද සහාය ඇතිව මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට ත්‍රිරෝද රථයකින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයට පැමිණ සිටි සැකකාරිය සහ ඇගේ සහායකයා අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සමත් වූහ.

මෙම සැකකාරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක්කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කුඩු ජාලයේ ප්‍රධානියකු වන කුඩු ධනුගේ ගෝලයකු වන අතර ඔහුගේ කුඩු ජාලයෙන් හෙරොයින් මිලදී ගැනීම සඳහා යමින් සිටියදී කොටු වූ බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි කේසර රත්නවීර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment