කෝටිපතියා මරා තරුණ යුවළ රටින් පැනලා!

413

උපත් පාලන කොපු තුනකුත් මිලට අරන්
මෝටර් රථය මීගමුවේ දමා ගිහින්

ෂේඩ්ස් ෆැෂන් රෙදිපිළි ආයතනයේ හිමිකරු වූ රොෂාන් වන්නිනායක මහතා ඝාතනය කර පිහිනුම් තටාකයේ ගිල්ලවා ඇත්තේ තරුණ යුවළක විසින් බව හෙළි කරගත් කොළඹ අපරාධ කොට්ඨාසය ඔවුන් පැහැරගෙන ගිය මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත.

රොෂාන් ඝාතනය කළ අඹුසැමි යුවළ කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දුනීසියාවට පලාගියේද යන්න සොයා පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

මෙම තරුණ යුවළ කව්රුන්ද යන්න මෙතෙක් හෙළිවී නැත. කෙසේ වෙතත් මොවුන් රොෂාන් සමග සමීප සබඳතා පැවැත්වූ අය බවට පොලිසිය සැක කරයි.

මුදල් කොල්ලකෑමේ අරමුණෙන් මෙම ව්‍යාපාරිකයා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. ව්‍යාපාරිකයා ඝාතනය කර පලාගිය තරුණ යුවළ මුදල් සහිත බෑගයක් රැගෙන ගොස් ඇති බවට ද පොලිසිය සැක කරයි.

මේ අතර ඝාතනයට ලක්වූ රොෂාන් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ් පත්, ජංගම දුරකථන සහ මුදල් පසුම්බියද සැකකාර තරුණ යුවළ රැගෙන ගොස් ඇත.

එම ක්‍රෙඩ්ට් කාඩ්පත් අතරින් එකක් පාවිච්චි කර රුපියල් ලක්‍ෂ නවයකට අධික මුදලක් වැයකර ඉන්දුනීසියාවට යෑමට ගුවන් ටිකට්පත් දෙකක් ඇතුළු තවත් වටිනා දේ මිලදී ගෙන ඇති බවද හෙළිවී තිබේ.

විමර්ශන කණ්ඩායම් පවසන අන්දමට මෙම ඝාතනය ඉතාම සැලසුම් සහගතව සිදුකර තිබේ.

ව්‍යායාම කිරීම සඳහා රොෂාන් වන්නිනායක ඉකුත් 30 වැනිදා සවස වැල්ලම්පිටියේ පිහිටි සිය නිවසින් පිටව ගොස් ඇත්තේ මෝටර් රථයෙන්ය.

ව්‍යායාම් සිදු කිරීමෙන් පසු එදින සවස පැලවත්ත ප්‍රදේශයේ පිහිටි තම තුන්මහල් නිවස වෙත මොහු ගොස් ඇත.

පැලවත්තේ පිහිටි තමන්ට අයත් රෙදිපිළි වෙළෙඳසලේ තිබූ තම නිවසේ යතුරුද රැගෙන ගොස් නිවස විවෘත කරගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

රොෂාන් ඝාතනය කළ බවට සැකකරන තරුණ යුවළ නුගේගොඩ ප්‍රදේශයේ ඖෂධ අලෙවිසලකින් උපත් පාලන කොපු 3 ක් මිලදී ගෙන ඇති බව විමර්ශන කණ්ඩායම් හෙළි කරගෙන ඇත.

මෙම යුවළ රොෂාන් මුණගැසීමට පැමිණ ඇත්තේ එම උපත් පාලන කොපුද රැගෙනය. රොෂාන් ඝාතනය කර තිබූ පිහිනුම් තටාකය අසල උපත් පාලන කොපු 3 ක් තිබූ අතර ඉන් එකක් පාවිච්චියට ගෙන තිබූ බවද හෙළිවී තිබේ.

30 වැනිදා රාත්‍රියේ මෙම නිවස තුළ සිදු වූ දේ පිළිබඳව මෙතෙක් හෙළි වී නැත. එහෙත් එදින රාත්‍රියේ මෙම තරුණ යුවළ රොෂාන්ගේ මෝටර් රථයද රැගෙන කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ගුවන් තොටුපළ බලා පිටව ගොස් ඇත.

එහෙත් ජා-ඇල ප්‍රදේශයේදී මෝටර් රථය කාර්මික දෝෂයකින් නතර වී තිබේ. පසුව සැකකාර යුවළ අධිවේගී මාර්ග ආපදා සේවයට කථාකර කැරියර් රථයක් ගෙන්වාගෙන සිය මෝටර් රථය ජා-ඇල අධිවේගි මාර්ග හුවමාරුවෙන් පිටතට රැගෙන ගොස් තිබේ.

පසුව වෙනත් ආපදා රථයක් ගෙන්වා ගෙන රොෂාන්ගේ මෝටර් රථය එහි පටවාගෙන එය මීගමුව ප්‍රදේශයේ ගරාජයකට රැගෙන ගොස් ඇත. මෝටර් රථය ගරාජයේ දමා කැරියර් රථයේ නැගී මෙම යුවළ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

එදින අලුයම 4.30 ට කටුනායක ගුවන් තොටුපළේ සුපිරි වෙළෙඳසලකින් රොෂාන්ගේ ක්‍රෙඩිට් කාඩ් පත පාවිච්චි කර මෙම යුවළ භාණ්ඩ කීපයක් ගෙන ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

පසුව මෙම යුවළ රටින් පලායන්නට ඇති බවට පොලිසිය සැක කරයි. මෙම යුවළ පලාගිය ආකාරය සෙවීමට කටුනායක ගුවන් තොටුපළේ සීසීටීවී දර්ශන පරීක්‍ෂා කරන බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment