ගෝඨාභයගේ අධි චෝදනා පත්‍රය !

1313

ශ්‍රී ලංකාවේ සමාජ – දේශපාලන අංශවල ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන්නේ මැතිවරණ වේදිකාවේ සිදුවන කාන්තා උද්‍යෝගය හා කාන්තාවන්ගේ භූමිකාවට වුවද දැන් ඒ සියල්ල පසුබස්වාලන අලුත් මාතෘකාවක් සමාජගත වී තිබේ. ඒ ගෝඨාභය රාජපක්ෂ විසින් එළිදක්වන ලද ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නමැති කෘතිය සම්බන්ධයෙන් මතුවී තිබෙන කතිකාවය. ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ හිටපු ජනාධිපතිවරයකු වූ ගෝඨාභයගේ මෙම කෘතිය මැතිවරණ වේදිකාවේ දේශපාලන සංවාදය නව දිශාන්තයකට යොමු කරවන්නක් බවය. මේ වන විට එම කෘතියෙහි ප්‍රථම මුද්‍රණයෙහි පිටපත් සියල්ලම විකිණී අවසන් බව ද මාධ්‍යවල පළවී තිබුණි. එක් අතකින් පොත් පරිශීලනය හා විශේෂයෙන් පොත් කියවීම පසෙකට දමා තිබෙන සමාජයක්, පොතක් සම්බන්ධයෙන් දක්වන අවධානය සාධනීය ප්‍රතිචාරයක් ලෙස සැලකිය හැකිය.

ගෝඨාභයගේ කෘතියට පාදක වන්නේ නිදහසින් පසු මෙරටේ සමාජ දේශපාලනය උඩියටිකුරු කළ දේශපාලන ප්‍රබෝධයක කථාවෙන් බින්දු මාත්‍රයකි. අපට එසේ දැනෙන්නේ එම ක්‍රියාදාමය සමග බැඳුණු කේන්ද්‍රීය දේශපාලන චරිතය ද වන ගෝඨාභය, ඒ පිළිබඳව ප්‍රවේශමෙන් කරන ලද අනාවරණයක් හෙයිනි. ඔහුගේ ආවර්ජනයන් හා නිගමනයන් සම්බන්ධයෙන් වුවද විවිධ අදහස් විවේචන සිදුවන බව ද පැහැදිලිය. මේ වනවිට සමාජ අවධානය යොමුව තිබෙන එම කෘතිය දේශපාලනය පිළිබඳ යම් හෝ උනන්දුවක් දක්වන කිසිවකුට නොතකා සිටිය නොහැකි බව ද අපගේ අදහසය. අනෙක් අතට මෙම කෘතිය සමාජගත වන්නේ ද බෙහෙවින් උණුසුම් වී තිබෙන සමාජ දේශපාලන වාතාවරණයකය. අනෙක් අතට මෙම කෘතියට පසුබිම් වී තිබෙන සමාජ දේශපාලනය සටකපට ලෙසට තම තමන්ගේ ප්‍රමාණයට ද කපා ගනිමින් යළිත් මෙරටේ ජනතාව ගර්හිත දේශපාලන සෙක්කුව වටා රැගෙන යෑමට ප්‍රයත්න දරමින් ද සිටින නිමේෂයක ඒ සම්බන්ධ විවෘත දේශපාලන කියැවීමක් ඉල්ලා සිටින පසුබිමකය.

2022 ජූලි 09 වැනිදා වු කලී මෙරටේ සමාජ දේශපාලනය උඩුයටිකුරු කළ ඓතිහාසික මහජන විරෝධතාවක උත්කර්ෂණීය අවස්ථාව ලෙස හැඳින්විය හැකිය. එය නිසැකයෙන්ම මෑතකාලීන දේශපාලනයේ ව්‍යාජ චර්යාවන් ද ජනතා ප්‍රාර්ථනා සමඟ කරන ලද නිහීන ගනුදෙනු ආදිය ද කෙරෙහි උද්ගතවූ සැබෑ දේශපාලන විරෝධතාවකි. එහෙත් ඒ ඓතිහාසික ප්‍රතිචාරය යළිත් ජනතාවගේ උදහසට ලක්වූ දේශපාලන අඳුර තුළම සැඟවීමට ඒ ක්‍රමවේදය නඩත්තු කරන ලද සියල්ලන්ටම හැකිවී තිබේ. එම විරෝධතා ව්‍යාපාරයට නිසි දේශපාලන නායකත්වයක් නොමැතිවීම පමණක් නොව එයින් ඉල්ලා සිටි සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණය ද යළිත් ආපසු හැරවීමට ඒ දේශපාලනයේ භාරකාරත්වයට හැකිවී තිබෙන බව ද නොරහසකි. එහෙත් මේ ගර්හිත, වැඩවසම්, ප්‍රභූ දේශපාලනයෙන් මිදිය යුතුය යන ප්‍රබුද්ධ සිතුවිල්ල හා අධිෂ්ඨානය ද දේශපාලන විඥානයක් සහිත ජනතාවගේ මතයෙහි දැල්වෙමින් තිබෙන බව ද අප මතක තබා ගත යුතුය.

කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ විසින් ලියන ලද ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නමැති කෘතිය මේ වනවිටත් විවිධ සමාජ දේශපාලන ප්‍රතිචාරවලට ලක් වී තිබෙන්නෙකි. ඔහු සිය කෘතිය හඳුන්වා ඇත්තේ ‘ජාත්‍යන්තර අනුග්‍රහයෙන් වූ “රෙජීම් චේන්ජ්” මෙහෙයුමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු වූ හැටි’ යන ගැඹුරු පුළුල් හා බහු අර්ථමය සංඥාවක් ලබාදෙන ප්‍රබල යෙදුමකිනි. ඉකුත් 07 වැනිදා ( 2024 මාර්තු 07) මෙම කෘතිය එළිදකිද්දී ගෝඨාභයගේ ධුර කාලයෙහි ඉතිරිය ගෙවමින් සිටින අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන භමිකාවේ නූතන අවධිය පිළිබිඹු කෙරෙන විකට චිත්‍ර ඇතුළත් කෘතියක් ද නිකුත් වී තිබුණි. මෙරටේ විවිධ කාටූන් ශිල්පීන්ගේ පරිකල්පනයට හසුවූ ජනාධිපති රනිල්ගේ දේශපාලන සිරිතෙන් බිඳක් අඩංගු වූ එම කෘතිය නම්කර තිබුණේ Press Vs pres යන නමිනි.

ගෝඨාභය රාජපක්ෂ මෙරට් විධායක ජනාධිපති ධුරයට පත්වූයේ හැටනවලක්ෂයක් වැනි මහජන වරමකින්ය. මෙරටේ හත්වැනි ජනාධිපතිවරයා වශයෙන් අනුරාධපුරයේ රුවන්වැලි සෑ පරිශ්‍රයේදී දිවුරුම් දුන් ගෝඨාභයට, එම ධුරයෙහි රැඳී සිටීමට හැකිවූයේ දෙවසරක් හා නව මසක් වැනි කාලසීමාවකි. ඔහුගේ ආවර්ජනයන්, දුක්ඛ දෝමනස්ස මෙන්ම ඔහුට මුහුණපාන්නට වූ අභියෝග හා අමිහිරි අත්දැකීම් ආදී බොහෝ තොරතුරු ඇතුළත් එම කෘතිය ගෝඨාභයගේ හෘද විදාරණයක් ලෙස හැඳින්වීම ද නිවැරැදිය. තමන් ද පාර්ශ්වකරුවකු වී සිටින සමාජ දේශපාලන සංසිද්ධීන් හා ක්‍රියාදාමයන් පිළිබඳ ආවර්ජනයක් යනු අතිශය සංවේදී ප්‍රතිචාරයකි. ගාලුමුවදොර අරගලය පසුපස වූ කථාව විවිධ හැඩයෙන් සමාජගත කරන ලද චිත්‍රයක් වැන්න. එහෙත් ඒ තුළ දිදුළන සැබෑ සමාජ දේශපාලන චිත්‍රය ඊට බෙහෙවින් වෙනස් එකක් විය හැකිය.

මෙයට පෙර විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් ලියන ලද “නවය සැඟවුණු කතාව” නමැති කෘතියට පාදක වන්නේ ද මෙම ගාලුමුවදොර අරගලයයි. 69 ලක්ෂයේ ජනවරමේ ප්‍රමුඛ භාරකරුවකු වූ විමල් වීරවංශ සිය කෘතියෙන් දක්වන ලද්දේ ඒ අරගලය හා බැඳුණු දේශීය හා විදේශීය බලවේග විසින් මේ රටේ ජාතික ආරක්ෂාව අභියෝගයට ලක්වූ ආකාරයත්, ඒවායේ අනිටු විපාක වශයෙන් අනතුරට ලක්විය හැකි ජාතිකත්වය හා දේශපාලන ස්ථාවරත්වය බව ද පෙනේ. ගෝඨාභය ද සිය කෘතියෙන් ඒ අරගලය හා බැඳුණු සමාජ දේශපාලන ක්‍රියාකාරකම්වල සාහසිකත්වය මෙන්ම බටහිර බලවතුන්ගේ කුමන්ත්‍රණකාරී චර්යාවන් ද හෙළි කිරීමට වෑයම් කර ඇත. එහෙත් අපට පෙනෙන ආකාරයට නම් ඔහුගේ කෘතිය තුළ නින්නාද වන්නේ බටහිර බලවතුන්ගේ කුමන්ත්‍රණ හා වෙනත් ප්‍රතිචාරවලට වඩා ඔහුගේම කථාවෙහි නැතහොත් ආත්මීය කම්පනයන්ය. ජනාධිපතිවරයා ලෙස මෙරටේ දේශපානයට අලුත් වෙනසක් සිදුකිරීමට නොහැකිවිම නිසා ඔහු තුළ වූ පශ්චාත්තාපය ද මේ කෘතියෙහි ගැබ්ව තිබේ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ප්‍රතිපත්ති හා දෘෂ්ටිවාද ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඔහු මෙහිදි ගැඹුරු හා පුළුල් විශ්ලේෂණයක් සිදුකර නැත. ඊට වඩා කැපී පෙනෙන්නේ ඔහු විසින් කරන ලද කාර්ය භාරය හා ඔහු තුළම වූ අව්‍යාජ අපේක්ෂාවන් බිඳ වැටීමට තුඩුදුන් අප්‍රබුද්ධ හා ගර්හිත දේශපාලන බලපෑම්වල ස්වරූපයයි.

ගෝඨාභයගේ අධි චෝදනා පත්‍රය !

“මා දේශපාලනයට පිවිසීමට හේතු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ මගේ වැඩිමහල් සොහොයුරු මහින්ද රාජපක්ෂටත්, බාල සොහොයුරු බැසිල් රාජපක්ෂටත් 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වන ආකාරයට පනවා තිබුණු බාධක නිසාය. දෙවරක් ජනාධිපති ධුරය හෙබවීමෙන් පසු නැවතත් ජනාධිපති ධුරයට තරග කිරීම තහනම් වීම නිසා මහින්ද රාජපක්ෂටත් ද්විත්ව පුරවැසියන් මැතිවරණවලට තරග කිරීම තහනම් වූ නිසා බැසිල්ටත් එම ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි විය.
12 පිටුව

මෙයින් තහවුරු වන්නේ ගෝඨාභයගේ දේශපාලන සම්ප්‍රාප්තිය පවුල් කේන්ද්‍රීය එකක් බවය. මෙරටේ දේශපාලන ඉතිහාසය විමසා බලද්දී පැහැදිලි වන ප්‍රධානම කරුණ වන්නේ ද දේශපාලන පවුල් සාධකයයි. එය අපේ කලාපයටම පොදු දුබලතාවකි. සේනානායක, බණ්ඩාරනායක හා රාජපක්ෂ පවුල් ඒ දේශපාලනයේ භාරකාරත්වය හා ප්‍රතිලාභ ලබද්දී ඒ ඒ පක්ෂවල අනුගාමිකයන් බොහෝ දෙනෙක් ද දේශපාලනයට තම පවුල හා කුටුම්බය යොදා ගත් ආකාරය දැකගත හැකිය.

කුමක් වුවද මේ මොහොත වනවිට ද රාජපක්ෂ පවුල මුහුණ දී සිටින්නේ මෙවර තම පවුල හා ප්‍රභූ තන්ත්‍රවාදී දේශපාලනය වෙනුවෙන් තම පාර්ශ්වයෙන් නියෝජනයක් නොමැතිවීමේ ගැටලුවටය. බැසිල් ඇමරිකාවේ සිට මේ රටට පැමිණ ඒ වෙනුවෙන් විකල්පයක් සොයන බව හැහැදිලිය. කොහොමටත් ගාලුමුවදොර විරෝධතාව නිසා පසුබැස ගිය ඒ දේශපාලන කඳවුර වෙනුවෙන් ම අද නියෝජනයක් වුවමනා වී තිබේ. පොහොට්ටුවට ඒ සඳහා රනිල් හැර විකල්පයක් නැති බව ඒ පක්ෂයේ විවිධ ප්‍රතිචාරවලින්ම නොපෙනේද?

ගෝඨාභයට අවශ්‍ය වූ පරිදි මේරටේ දේශපාලන භාවිතය සකසා ගැනීමට නොහැකි වු බව ද ඔහු සිය කෘතියෙහි සඳහන් කර ඇත. රාජපක්ෂ පවුලේ අයට තනතුරු දීමට ඔහු පසුබැ නමුත් පවතින ක්‍රමය නිසා එය කිරීමට සිදුවූ බව කියයි. මහින්ද සමග සිට, යහපාලනයට ගොස් ඇමැතිකම් ලබාගත් අය සම්බන්ධයෙන් වුවද ගෝඨාභයට විවේචනයක් තිබූ බව පෙනේ. ඔහු ඒ නම් පවා සඳහන් කරයි. (63 පිටුව) දේශපාලන පක්ෂයකට අයත් නොවූ තමන් වැනි අයකුට මේ දේශපාලනයේ තිබෙන අතීත භාවිතයන් බිඳ දැමීමට නොහැකි බව ද ඔහු පවසා තිබේ. මේ ඔහුගේ නිරීක්‍ෂණයන්ය.

‘සිස්ටම් වෙනස් කිරීමට යැයි නියමින් පාර්ලිමේන්තුවට පැමිණි පසු සැම වසර පහකට වරක් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන නිසා දිගටම පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිමට ක්‍රම සහ විධි සෙවීමට එම පුද්ගලයා පෙළඹේ. සිස්ටම් වෙනස්කිරීම පිළිබඳ සියලු කතා එතැනින් අවසන් වේ. මිනිසුන් ඉල්ලා සිටින මේ ක්‍රම වෙනස ක්‍රියාත්මක කිරීමට සුදුසුම පුද්ගලයා වූයේ මම ය. නමුත් මට පවා එම කාර්යය කළ නොහැකි තරමට අසීරු විය.’
(- 64 පිටුව)

ගෝඨාභයගේ මෙම විශ්ලේෂණය ඉතා නිවැරැදිය. ඇත්තටම මෙරටේ දේශපාලනය කුණුවී තිබෙන්නේ මේ වර්ගයේ මුග්ධයන් බහුලව සිටීම නිසාය. ඇමැති ප්‍රතිලාභ අහිමි වූ අය නිසා මතභේද ඇතිවූ බව ද ඔහු පවසා තිබේ. මේ අපේ දේශපාලනයේ ස්වභාවයයි. ගෝඨාභයට තබා මහා බ්‍රහ්මයාටවත් ඒ රාමුව බිඳ දැමිය නොහැකිය. මහින්දට මෙන් දේශපාලන නායකත්වයක් හා බලයක් නොමැති පුද්ගලයකුට තම අභිමතය පරිදි ක්‍රියා කළ නොහැකි බව ද ගෝඨාභය පවසයි. කොටින්ම පක්ෂ දේශපාලනයෙන් බැහැරව කිසිදු පත්වීමක් කළ නොහැකි දේශපාලන සමාජයක ක්‍රමයේ වෙනසක් යනු ‘පිස්සු විකාරයක්’ බව මේ කථාව කියවාගෙන යන කවරකුට වුවද දැනෙන හැඟෙන දෙයයි. ඇත්තටම ගෝඨභයගේ මෙම සැමරුම් අපේ දේශපාලනඥයන්ට අලුතින් හිතන පක්ෂවල වහලුන් නොවන අයට අතිශය වැදගත්ය. සිය අභියෝගාත්මක දේශපාලන භූමිකාව තුළ ඔහු විසින් පෙන්වා දෙනු ලබන බොහෝ දේවල් අදට ද අදාළය. ඇතැම් විධානවල රැව් දෙන්නේ අධිචෝදනාවන් හා නිර්දය ප්‍රතිචාර බව ද පෙනේ. සිස්ටම් චේන්ජ් ගැන බෙරිහන්දෙන බොහෝ අයට අවශ්‍ය වන්නේ. මඩ වගුර ගොඩකිරීමට නොව මඩ වගර තුළ ජීවත්වීමට බව ද ඔහු පවසයි. මේ අරගලය ගැන කළ සඳහනකි.

“අද ඊනියා අරගලයේ නායකත්ව මට්ටමේ උද්ඝෝෂකයන් බොහොමයක් ආණ්ඩුවේ සහ විවිධ දේශපාලන සංවිධානවල තනතුරු දරමින් සිටින ආකාරය අපි දකිමු. ඔවුන්ගේ සියලු ප්‍රයත්නවල සැබෑ අරමුණ වූයේ ක්‍රමයට ඇතුළත් වීම මිස එය වෙනස් කිරීම නොවේ 69 වැනි පිටුව

මේ චෝදනාවලට උත්තර දීමට සමත් අය සිටිත්ද? අරගලයේ සියල්ලෝම මෙබඳු වංක හා ගුප්ත ප්‍රතිලාභ උදෙසා කැපවූවෝ ද? අරගලයෙන් නිලබල – ප්‍රතිලාභ උපයා ගත් අය ලැජ්ජා විය යුතු නොවෙත් ද? එහෙත් මේ අරගලයට එක්වූ අය අතර සද්භාවයෙන් හා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව දායක වූවෝද සිටිති.

ගෝඨාභය පාලන සමයෙහි අතිශය ආන්දෝලනයට තුඩුදුන් කාබනික ගොවිතැන පිළිබඳ පරිච්ජේදයක් ද පොතට ඇතුළත්ව තිබේ. එහි තිබුණු අසංවිධානය, කඩාකප්පල් කිරීම්, සදොස් ප්‍රචාර මෙන්ම ගොවියන්ගේ අකැමැත්ත වැනි කරුණු නිසා එය අසාර්ථක වූ බව ඔහු පෙන්වා දෙයි. රසායනික පොහොර ආනයන සමාගම් ද එයට හරස්වූ බව ඔහුගේ චෝදනාවකි.

ගෝඨාභයගේ අධි චෝදනා පත්‍රය !

ජ. වි. පෙ. මෙයට එරෙහිව ක්‍රියා කළ බව ද ඔහුගේ තවත් චෝදනාවකි. එයට ප්‍රතිචාර දැක්වීමට පොදුජන පෙරමුණ අසමත්වූ බවත් ඇමැති හා නිලධාරීන්ගෙන් ද එයට ප්‍රමාණවත් සහයක් හා දිරිගැන්වීමක් නොලැබුණු අතර බොහෝ දෙනෙක් එය දේශපාලන අරමුණක් කිලිටි කිරීම නිසා ඉතා වටිනා ව්‍යාපෘතියක් ආසර්ථක වූ බව ගෝඨාභයගේ පරීක්‍ෂණවල හරයයි.

කෙසේ හෝ මෙම කෘතිය ලියා ප්‍රසිද්ධ කළ ගෝඨාභයගේ අරමුණ වූයේ එම අරගලය හා බැඳුණු ක්‍රියාදාමය ස්වභාවිකව මතුවූ ජනතා ප්‍රතිචාරයකට වඩා වෙනත් බටහිර උපකාර ද ඇතිව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පෙන්වාදීමය. බටහිර රටවල් විවිධ ස්වරූපයෙන්, එනම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සුරැකීම, නීතියේ සමානත්වය ආදී ආකර්ෂණීය තේමාවන් යටතේ විවිධ ව්‍යාපෘති ඉදිරිපත් කරමින් රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්න නිර්මාණය කරන බව ඔහුගේ චෝදනාවකි. අරගලය තුළ සිංහල බෞද්ධ පාර්ශ්වයක් නොවූ අතර වෙනත් ආගම්වල නායකයන්ගේ අශිර්වාදය හිමිවූ බව ද ඔහු සඳහන් කරයි. ‘සිංහල බෞද්ධ බලය දැන් අවසන් බවට ප්‍රකට භික්ෂුවක් (නම සඳහන් කර ඇත) ප්‍රකාශ කළ බව ද ගෝඨාභය පවසා තිබේ. යුරෝපීය රටක් නියෝජනය කරන තානාපතිවරයෙක් වරක් තමන් අමතමින් නැඟෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන කළමනාකාරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කිරීම ගැන විමසා සිටි බව ද ගෝඨාභය පවසයි. මේ ඔහුගේ තවත් නිරීක්‍ෂණයකි.

“විදේශ මුදල්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධානවල දේශපාලන ක්‍රියාකාරීන්, යූටියුබ්කරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පමණක් නොව විවිධ දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධකම් පැවැත්වූ, එනම් ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, සමගි ජන බලවේගය සහ යූ.එන්.පී. වැනි දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් ද අරගලය තුළ විය. එක් ප්‍රකට එ.ජා.ප. ක්‍රියාකාරිකයකුට අනුව එජාපයට පමණක් ගාලුමුවදොර කූඩාරම් 17 ක් තිබුණි.

ගාලුමුවදොර අරගල භූමියේ සිටි සියලුම පිරිස් මට කොහොමටත් විරුද්ධ පාර්ශ්ව විය. ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සහ විවිධ නළු නිළියන් ද අරගලයේ සිටියහ.

(97 වැනි පිටුව)

මේ හැරුණු විට ඇමෙරිකානු රාජ්‍ය දොපාර්තමේන්තුවේ වික්ටෝරියා නූලන්ඩ් හා එහි ශ්‍රී ලංකා තානාපතිනි ජුලි චන්ග් ගැන ද සඳහන් වුවත් ඔවුන්ගේ ප්‍රතිචාර දෙස මෘදුව බලා ඇති බවක් ද පෙනුණි. මා එසේ සඳහන් කළේ විමල් වීරවංශගේ කෘතිය වූ ‘නවය සැඟවුණු කථාව’ ඔවුන්ට එරෙහිව දක්වා තිබෙන විවේචනයෙහි දැඩි ස්වරය සිහිපත් වූ නිසාය. 2022 අප්‍රේල් 19 දා රඹුක්කනදී සිදුවූ පොලිස් වෙඩි ප්‍රහාරය ගැන විමල්ට තිබෙන විවේචනය ගෝඨාභයට නැති බව ද පෙනුණි. විමල්ට අනුව එදා සිදුවූ කුමන්ත්‍රණයට යම් යම් හේතු සාධක ද දක්වා තිබුණත් ගෝඨාභය එබඳු අවධාරණයකට නොගිය බව ද පෙනේ.

කෙසේ වුව ද පිටු 192 කින් යුතු ගෝඨාභයගේ කෘතියෙහි පරිච්ජේද රාශියක් (පරිච්ජේද 15 ක්) වෙන්ව ඇත්තේ ඔහුගේ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් හා මෙරටේ දේශපාලනයේ නග්න විලාශය පෙන්වා දීමටය. එහෙත් එදා සිදුවූ කුමන්ත්‍රණය ගැන බොහෝ විට මතුපිටට කෙරෙන විවේචන විනා ඉන් ඔබ්බට ගිය බවක් ද නොපෙනේ. එය පය බුරුලෙන් තබා යෑමක් වැන්න. ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ගැන කතා කරන ජාත්‍යන්තර බලවතුන් අරගලය පැමිණි විට ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකු ව්‍යවස්ථා විරෝධී ලෙස නෙරපා හැරීමට විවෘතව සහය දුන් බව (පිටුව 188) සඳහන් කළත් එය ප්‍රබල අධිචෝදනා පත්‍රයක් නොව දුක්ගැනවිල්ලක් ලෙස අපට පෙනේ.

මෙම කෘතියෙන් අවධාරණය කෙරෙන තවත් කරුණු ගණනාවක් තිබුණත් ඒවා සැකෙවින් හෝ දැක්වීමට අවකාශ මඳය. අරගලයේ මුල, මැද, අග මෙන්ම ඒවා වැළැක්වීමට නොහැකි වූ හේතු ද මෙහි ඇතුළත්ව තිබේ. ආරක්ෂක අංශවල ප්‍රධානීන්ට එරෙහි වූ ජාත්‍යන්තර තහංචි ආදිය ද ඔවුන්ගේ මනස තුළ තිබුණු බව ද සියල්ල මෙසේ අවසන්වනතුරු ආරක්ෂක සේවා සක්‍රීය නොවීම ගැටලුවක් බව ද දක්වා තිබේ. අවශ්‍ය නියෝග පහළට නොලැබීම ද ගැටලුවක් බව ඔහු දක්වයි. එසේම මේ රට ආර්ථික වශයෙන් කඩාවැටීමේ වගකීම භාරගත යුත්තේ 2015 සිට 2019 දක්වා රට පාලනය කළ අය බව ද ඔහු පවසයි.

සිංහල බෞද්ධයන් තමන්ගේම රට තුළ දෙවැනි පෙළට වැටී තිබීම දැවැන්ත ණයගැතිභාවය හා ආර්ථිකයේ පිරිහීම හා බුද්ධි අංශ හා ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳවැටීම යන කරුණු තුනට රටේ ඊළඟ නායකයාට විසඳුම් දීමට සිදුවන බවට බැරෑරුම් ප්‍රකාශයක් ද මෙම කෘතියෙහි ඇතුළත්ව තිබේ. එසේම වර්ගවාදී හා ආගම්වාදී ක්‍රීඩාව දැන් නව තලයකට පැමිණ තිබෙන අතර ඒ බොහෝ දේවල් පාපිස්ස යට සඟවන්නේ නොමැතිව එළිපිට සාකච්ඡා කළ යුතු බව ද ගෝඨාභය යෝජනා කර ඇත. සිංහල බෞද්ධ අයිතිය තහවුරු කිරීමට වඩා මැතිවරණවලදී ඡන්ද ලබාගැනීම සඳහා සුළු ජාතීන් ගැන උනන්දු වන බවට ඔහු විවෘත චෝදනාවක් ද සිය කෘතිය මගින් කර තිබේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment