චමරිගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව මව්බිමේදී පළමු ජය ලබයි

425

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දු හතළිස් අටක් තුළ දී නොදැවී ලබාගත් ලකුණු 80 හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දී පළමුවරට ඉන්දියාවට එරෙහිව පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරග ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27 වෙනිදා) සමත් විය.

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් යුත් පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසාන ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට එරෙහිව මෙම ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

 දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දී ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම ලබා ගත් ලකුණු 138ට පිළිතුරු ලෙස දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම චමරිගේ දක්ෂතා මත පන්දු වාර දහහතක් තුළ දී අදාළ ඉලක්කය හඹා යෑමට සමත් විය.

 නොදැවී ලකුණු 80ක් රැස් කළ ශ්‍රී ලංකා නායිකාවගේ ඉනිම සඳහා හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විණි. චමරිගේ ඉනිමට අගනා සහයක් ලබා දුන් නිලක්‍ෂි ද සිල්වා පන්දු 28 ක් තුළදී ලකුණු 30ක් ලබා ගත්තාය.

 පළමු තරග දෙක ජයගත් ඉන්දීය කණ්ඩායම ශූරතාව දිනාගත් අතර ඉන්දීය කණ්ඩායමේ නායිකා හමන්ප්‍රීට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් චමරි අතපත්තු ඊයේ තරගයේ වීරවරිය ලෙසත් සම්මාන ලැබූහ.

 පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුගන්ධිකා කුමාරි, අමා කාංචනා, ඕෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment