ජපානයේදී සඳමාලි මියයෑම අභිරහසක්!

210

ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොලබා මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ සංස්කරණය කිරීමෙන් පසු හා අවසරයකින් තොරව බව ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ ප්‍රකාශ කර තිබේ. එරට කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත ජපාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

“මෙම වීඩියෝ දර්ශන රජය විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ දර්ශනයි. මෙම විඩීයෝ දර්ශන පැය 5ක පමණ කාලයක් වන අතර එම දර්ශන අධිකරණයේ විභාග කිරීමට නියමිතයි. මෙම වීඩියෝ දර්ශනවලින් කොටසක් පැමිණිලිකරු විසින් අනවසරයෙන් සංස්කරණය කර ඇති අතර එම දර්ශන ජනමාධ්‍ය වෙත ලබාදී මහජනතාවට මුදාහැර තිබෙනවා” යැයි ඇමතිවරයා පවසා තිබේ.

වීසා නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ජපානයේ නගෝයාහි සංක්‍රමණිකයන් රඳවා තබන මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොලබා අවාසනාවන්ත ලෙස විශ්මා සඳමාලි ජීවිතයෙන් සමුගන්නේ 2021 වසරේදීය. කෙසේවෙතත් විශ්මාගේ මරණයට නිශ්චිත හේතුවක් අවසන් මරණ පරීක්ෂණ වාර්තාවේ නොමැතිවීම ගැටලු සහගතවීම නිසා ඇයගේ පවුලේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විශ්මා රැඳී සිටි කාමරයේ සීසීටීවී දර්ශන ලබා දෙන ලෙසය. ඊට ප්‍රතිචාර දක්වන ජපාන රජය 2021 පෙබරවාරි 22දා සිට මාර්තු 06දා දක්වා විශ්මා රැඳී සිටි කුටියේ සීසීටීවී දර්ශන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මේ ගැන වැඩි අවධානය යොමුවන්නේ මියගිය තරුණියගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් එම දර්ශන පසුගිය 06 වැනිදා පළමුවරට ජපානයේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමඟය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment