ජම්මු කාශ්මීරය සහ ඉන්දියාව

364

පසුගිය කාලයේ විදෙස් මාධ්‍ය වාර්තා කළ පරිදි ජම්මු කාශ්මීර ප්‍රදේශයට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබූ විශේෂ තත්ත්වය අවලංගු කිරීමට ඉන්දියාව ගත් තීරණය සම්බන්ධයෙන් අනවශ්‍ය අයැද සිටීම් නවත්වන ලෙසට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පාකිස්තානයට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව කාශ්මීර ප්‍රශ්නය අමතක කර ඉන්දියාව සමග මිත්‍රශීලීව කටයුතු කරන ලෙසට සෞදි අරාබිය පාකිස්තානයෙන් ඉල්ලා සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබුණි.

කාශ්මීර ප්‍රශ්නය අමතක කර ඉන්දියාව සමඟ මිත්‍රශීලී ලෙසට කටයුතු කරන ලෙසට පාකිස්තානයේ සමීප මිත්‍ර රටවල් දෙකක් වන සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පාකිස්තානයෙන් ඉල්ලා සිටීම පාකිස්තානයට ජාත්‍යන්තර දේශපාලනය තුළ දැඩි අපහසුතාවක් ගෙන දුන් සිදුවීමක් බව සැලකිය හැකිය.

ඉන්දියාව ජම්මු කාශ්මීරයට තිබූ හිමිකම ඉවත් කරයි

ජම්මු කාශ්මීරය සහ ඉන්දියාව

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය මගින් මුස්ලිම් බහුතරයක් 60% වෙසෙන අදාළ ප්‍රාන්තයට සුවිශේෂී ස්වයං පාලන බලයක් දී තිබිණි. ඉන්දියාව සහ ඉන්දීය පාලිත කාශ්මීරය අතර පවතින සම්බන්ධය අර්ථ නිරූපණය කරනු ලබන්නේ ද අදාළ වගන්තිය මගිනි.

අදාළ වගන්තිය අනුව ඉන්දීය පාලිත කාශ්මීරයට යම් ස්වයං පාලන බලතල දී ඇත. ඒ අනුව වෙනම ව්‍යවස්ථාවක්, ධජයක් වැනි බලතල තිබිණි. නමුත් විදේශ කටයුතු, ආරක්ෂාව සහ තොරතුරු හුවමාරුව වැනි ක්ෂේත්‍ර ඉන්දියානු පාලනය යටතේ පැවතිණි.

ජම්මු සහ කාශ්මීරය යූනියන් ප්‍රදේශයේ කොටසක් ලෙස ඒකාබද්ධ කිරීම ඉන්දියාවේ ස්ථාවරය දේශපාලනිකව තහවුරු කිරීමේ ප්‍රායෝගික අවස්ථාවකි. එය බෙදුම්වාදී ව්‍යාපාර අවසන් කිරීමට ගෙන ඇති පියවරක් වන අතර ජනතාව තුළ විශ්වාසය යළි ඇති කිරීමට මධ්‍යම රජය ගෙන ඇති නිර්භීත පියවරක් ලෙසට හැඳින්විය හැකිය.

ඒ අනුව ප්‍රාන්තයේ ජනතාව බෙදුම්වාදයෙන් මිදී සමෘද්ධිය සඳහා ඉදිරි මාවතක් ලෙස සාමය තෝරාගෙන ඇත. ඒ අනුව ප්‍රාන්ත රාජ්‍යයට ලැබිය යුතු නිසි සම්පත් ප්‍රමාණය ලැබෙන බව සහතික කිරීමට මධ්‍යම රජය පියවර ගෙන ඇත. ඊට අමතරව, ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ ජනතාවට ඉන්දියානු ජාතිකයන් වශයෙන් ලැබෙන සියලු ප්‍රතිලාභ හා වරප්‍රසාද සඳහා ප්‍රවේශයන් විවර වී ඇත. මෙය ප්‍රාන්තයේ ජනතාවට ඔවුන්ගේ දියුණුවට උපකාර කිරීමට මධ්‍යම රජය කැමැත්තෙන් සැදී පැහැදී සිටින බව කදිමට නිරූපණය කරන අවස්ථාවකි. මෙම නව ප්‍රවනතාව බෙදුම්වාදයට වඩා හොඳම විකල්පය සාමකාමී, එක්සත් ඉන්දියාවක් තුළ වාසය කිරීම වන බව ඔවුන්ට පෙන්වීමට ද ඉවහල් වී තිබේ. මෙම විප්ලවවාදී පියවරෙන් පසු ප්‍රාන්තය තුළ ආර්ථික පිබිදීමක් ඇති වී ඇත.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතා විසින් 2019 අගෝස්තු 5 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 ව්‍යවස්ථාවේ සියලුම විධිවිධාන අවලංගු කරන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කරන යෝජනාවක් රාජ්‍ය සභාවට ඉදිරිපත් කළේය. මෙය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා විසින් ද අනුමත කරන ලදී.

මෙම යෝජනාව සමඟින් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රාන්තය ව්‍යවස්ථාදායකයක් නොමැති යුනියන් ප්‍රදේශයක් ලෙසත්, ජම්මු සහ කාශ්මීරය සභාවක් සහිත යූනියන් ප්‍රදේශයක් ලෙසත් ලඩාක් ලෙස බෙදීමේ පනත් ද ඉදිරිපත් කරන ලදී.

නිදහසින් පසු, ජම්මු සහ කාශ්මීරයට හිමි විශේෂ තත්ත්වය අවලංගු කිරීමට පෙර වසර හැත්තෑවකට ආසන්න කාලයක් ඉන්දීය ව්‍යවස්ථාවේ 370 ව්‍යවස්ථාව යටතේ විශේෂ තත්ත්වයක් භුක්ති විඳින ලදී. මෙය මධ්‍යම රජයේ පාලනය යටතට පත් වූයේ යුනියන් ප්‍රදේශයක් ලෙසිනි.

370 ව්‍යවස්ථාව යනු ජම්මු සහ කාශ්මීරය වෙනම ඒකකයන් ලෙස ස්වයං පාලනයක් ලබා දීම අරමුණු කරගත් ව්‍යවස්ථාවේ ඇතුළත් තාවකාලික විධිවිධානයකි.

ජම්මු සහ කාශ්මීරයේ රාජ්‍යත්වය ආරක්ෂා කිරීම සහ කාශ්මීර අවශ්‍යතා ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා මෙම විධිවිධාන ක්‍රියාත්මක කරන ලදී. එය තමන්ගේම ව්‍යවස්ථාවක් සහ වෙනම ධජයක් ඇති කර ගැනීමට සහ එහි නීති සම්පාදනය කිරීමට ඇති අයිතිය වැනි යම් යම් වරප්‍රසාද ද ප්‍රාන්ත රාජ්‍යයට ලබා දෙයි.

ජම්මු කාශ්මීර ප්‍රාන්තය පකිස්තානයේ කොටසක් වනු ඇතැයි සිතමින් පෙර පැවති කිසිදු රජයක් 370 ව්‍යවස්ථාවට අත තැබීමට එඩිතර වූයේ නැත. මෙම විශේෂ තත්ත්වය ප්‍රාන්තයට යම් ස්වයං පාලනයක් ලබා දුන් අතර එය ඉන්දියාව සමග පූර්ණ ලෙස ඒකාබද්ධ වීම වළක්වාලන ලදි. තමන්ගේම ව්‍යවස්ථාවක්, වෙනම ධජයක් සහ පුරවැසිභාවය සඳහා ඇති අයිතිය සහ බදු නීති ඇතුළු ඇතැම් කරුණු සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ නිදහසක් මේ මගින් ප්‍රාන්ත රාජ්‍යයට හිමි විය. මේ මගින් ප්‍රාන්ත රාජ්‍යයට ස්වයං පාලන අයිතියක් මෙන්ම ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජනය ලබා ගැනීමට ද ඉඩ සැලසිණි.

එසේ වුවද නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා ලෙස රජයේ ඉහළ පෙළේ ධුරයට පත් වූ විට, ඔහු ප්‍රාන්තය යුනියන් ආණ්ඩුවේ සෘජු පාලනය යටතට ගැනීමට පියවර ගත්තේය. එය ජම්මු හා කාශ්මීර ප්‍රාන්තය සම්බන්ධයෙන් සුභදායී බලාපොරොත්තු ඇති කර ගත හැකි දූරදර්ශී පියවරක් විය. ඒ මගින් ප්‍රගතිශීලී ප්‍රාන්තයක් සම්බන්ධයෙන් මහජනතාවට සහ අනාගත පරම්පරාවට සුබවාදී බලාපොරොත්තු ඇති කර දුන්නේය.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙම පියවර මගින් මධ්‍යම රජයට, ජම්මු කාශ්මීරය වෙත වැඩි සම්පත් සහ අවධානයක් යොමු කරලීමට ඉඩ ප්‍රස්ථා විවර කර දී ඇත. මේ මගින් ප්‍රාන්තය තුළ ආර්ථික ප්‍රබෝධයක් ඇති වී ඇති අතර සමාජ සේවා සහ යටිතල පහසුකම් වැඩිදියුණු වී ඇත. මීට අමතරව, ඔහුගේ මෙම පියවර මගින් දූෂණය මැඬලීමට සහ ප්‍රදේශය තුළ නීතිය හා සාමය සහතික කිරීමට ද රජයට හැකි වී තිබේ.

මෙමගින් ජම්මු සහ කාශ්මීර වැසියන්ට වඩාත් සුරක්ෂිත පරිසරයක් උදාකර දී ඇත. ප්‍රදේශයේ පැවැති දේශපාලන උණුසුම අවම කර කලාපය තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට ද මෙම පියවර මගින් ඉන්දියාවට හැකි වී තිබේ. මෙය වඩාත් සාමකාමී පරිසරයක් සහ ජම්මු සහ කාශ්මීර වැසියන් සඳහා වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කර දී තිබේ.

370 ව්‍යවස්ථාව අවලංගු කිරීමෙන් පසු, පකිස්තානයේ ආශිර්වාදය ලැබූ බෙදුම්වාදී ව්‍යාපාරවලට හිමි තත්ත්වය අහිමි වී ගොස් ඇත. ඉන්දියාව අනුගමනය කළ මෙම ව්‍යවස්ථාපිත පියවර නිසා ජම්මු සහ කාශ්මීරය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට ඒකාබද්ධ කිරීමට හැකි වී ඇත. මධ්‍යම රජය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් පොම්ප කිරීම ආරම්භ කළ අතර, ඒවායින් බොහොමයක් ව්‍යාපෘති මේ වන විට අවසන් වී හෝ අවසන් වීමට ආසන්නව පවතී.

බටහිරින් කාශ්මීරයේ සේද කාපට් ඇතුළු නිෂ්පාදන සඳහා වන ඉල්ලුම වැඩිවී ඇති නිසා ජම්මු සහ කාශ්මීරයේ ව්‍යාපාර දියුණු වෙමින් පවතී. මෙම ව්‍යවස්ථාමය පියවර ජම්මු සහ කාශ්මීරයේ පාලනය විධිමත් කිරීමට උපකාරී වූ අතර මධ්‍යම රජයට යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් වෙන් කිරීමට අවස්ථාවන් උදාකරන ලදි. මීට අමතරව, ප්‍රදේශයට සංචාරකයන් ගලා ඒම විදේශ වෙළෙඳපොළේ සිල්ක් කාපට් වැනි කාශ්මීර භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම වැඩි කර ඇත.

ඊට අමතරව, ජම්මු සහ කාශ්මීරයේ කාන්තා සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉලක්ක කරගත් සැලකිය යුතු දේශපාලන හා සමාජ ආර්ථික ව්‍යාපෘතීන් ගණනාවක් ආරම්භ වී ඇත. මෙවැනි පරිවර්තනයන් විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අත්‍යවශ්‍ය අංග ලෙසට සැලකිය හැකිය.

ජම්මු සහ කාශ්මීරයේ කාන්තාවන් අවම වශයෙන් වසර හතළිස් අටක් තිස්සේ ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කර ඇත. ඔවුන් ජම්මු සහ කාශ්මීරයෙන් පිටත පුද්ගලයෙකු සමඟ විවාහ වූ පසු අයිතිවාසිකම් පැත්තෙන් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වී තිබුණි. මෙයට හේතු වී ඇත්තේ වෙනස් කොට සැලකීමේ ජම්මු සහ කාශ්මීර පුරවැසි පනතයි.

මෙම නීතිය ප්‍රදේශයේ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති අතර සමානාත්මතාව සඳහා වන ඔවුන්ගේ අරගලයට විශාල බාධාවක් විය.

අගමැති ජවහර්ලාල් නේරුගේ සමයේ එවකට ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් විසින් පනවන ලද සහ ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද 1954 නීතියට අනුව, පුරවැසිභාවය හෝ වෙනත් පවුල් උරුමයන් ඉල්ලා සිටීම සඳහා කාන්තාවන්ට ප්‍රාන්තයෙන් පිටත විවාහ වීම තහනම් කළේය.

කෙසේ වෙතත්, මෙම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය 2002 දී නඩු විභාගයකින් පසු අර්ධ වශයෙන් නතර විය. මුල් නීතිය වූයේ පිටස්තර පුද්ගලයන් සමඟ විවාහ වූ ජම්මු සහ කාශ්මීරයේ කාන්තාවන්ට ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් අහිමි වූ අතර ඔවුන්ගේ දරුවන්ට දේපළ පැවරිය නොහැකි බවයි.

පිරිමින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි නොවී විදේශීය කාන්තාවන්, පාකිස්තාන කාන්තාවන් පවා විවාහ කර ගත හැකි විය. කෙසේවෙතත් මෙම නඩුවෙන් පසුව, පිරිමි සහ ගැහැනු යන දෙඅංශයෙන්ම දැන් එකම අයිතිවාසිකම් සහ සමාන වරප්‍රසාද සඳහා ප්‍රවේශය ඇති පරිදි අවුල් සහගත නීතිය සංශෝධනය කරන ලදී. මේ මගින් ඔවුන් විවාහ වී සිටින්නේ ජම්මු සහ කාශ්මීරයේ හෝ ඉන් පිටත කෙනෙකු සමඟද යන්න නොසලකා හරියි. මෙය නීතිය ඉදිරියේ සමානාත්මතාව ඇති කළ අතර අයිතිවාසිකම් සහ වරප්‍රසාදවල අසමානතාව තුරන් කළේය.

එසේ වුවද, අගමැති මෝදිගේ පාලනය යටතේ 2019 අගෝස්තු මාසයේදී වෙනස් කොට සැලකීම අවසන් කළ අතර, කාන්තාවන් පිරිමින් හා සම තත්ත්වයට පත් කළේය. එය යුක්තිය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බහුවිධ පියවරයන්ගෙන් එකකි. මෙම පියවර කාන්තාවන්ට ඔවුන් අපේක්ෂා කළ ගෞරවය නැවත අත්කර ගැනීමට තල්ලුවක් ලබා දුන්නේය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (370 ව්‍යවස්ථාවේ) තාවකාලික විධිවිධාන ඉවත් කිරීමට නරේන්ද්‍ර මෝදි රජය ගත් කඩිනම් පියවර අතිරේක ජවයකින් ප්‍රාන්තයේ සංවර්ධනයට තිබූ සියලු බාධා ඉවත් කළේය. ප්‍රාන්තයට අනන්‍ය වූ සහ බාහිර ලෝකයේ, විශේෂයෙන්ම බටහිර රටවල ආකර්ෂණය හිමි වන හස්ත කර්මාන්ත ඇතුළු නිෂ්පාදන කර්මාන්ත සමඟ ආර්ථිකය ප්‍රසාරණය වීමට පටන් ගෙන ඇත.

ආචාරය ප්‍රදීප් ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment