ජල සබඳතා ලක්ෂයක් අනතුරේ

147

මණ්ඩලයෙන් එවන වතුර බිංදුවක්වත් අපතේ යවන්න එපා

ජල මූලාශ්‍ර 42ක් අවදානමේ ජල නිෂ්පාදනය 9%ක් අඩු වෙයි

ජල සබඳතා 54580කට හරියට වතුර යන්නේ නෑ

තවත් සබඳතා 58866ක් ‘වැට උඩ’ – ඇමැති ජීවන් තොණ්ඩමන් එක්වූ මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි කියයි

රටේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල මූලාශ්‍රයන් හි ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බැවින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් බෙදාහරිනු ලබන ජලය අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය ඊයේ (17 වැනිදා) පැවසුවාය. අංක 45 ශාන්ත මයිකල් පාර, කොල්ලුපිටියේ පිහිටි වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ඇය මේ බව සඳහන් කළාය.

මේ වන විට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජලය බෙදාහරිනු ලබන ජල මූලාශ්‍ර 344 ක මුළු ප්‍රමාණයන් හතළිස් දෙකක් අවදානමකට ලක්ව ඇති බවත් ඒ නිසා සමස්තය ජල නිෂ්පාදන ධාරිතාවයෙන් සියයට 9 ක් අඩුවීමක් ඇති බවත් ඇය සඳහන් කළාය.

මේ වන විට ජල සම්පාදන මණ්ඩලය ජල සම්බන්ධතා විසි නම ලක්ෂ හැට දහසක් ලබා දී ඇති බවත් ඉන් සම්බන්ධතා පනස් හතර දහස් පන්සිය අසූවක් අවදානමකට ලක්ව ඇති බවත් ඇය කීවාය. එසේම තවත් ජල සම්බන්ධතා 58866ක් අවදානමට ලක් විය හැකි බව ද කළුආරච්චි මහත්මිය කීවාය.

හම්බන්තොට, කුරුණෑගල, බණ්ඩාරවෙල, මොනරාගල, මහනුවර, අම්පාර, අනුරාධපුරය, මාතර, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක 10 තුළ ඇති ජල මූලාශ්‍රය මෙසේ අවදානමකට ලක්ව ඇති බව ද ඇය කීවාය.

ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගත හැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවත් සඳහන් කළ කළුආරච්චි මහත්මිය මෙම අවස්ථාවේදී පාරිභෝගික ජනතාවගේ සහය ඉතා වැදගත් බවත් කීවාය.

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළ විශාල ජල ඉතිරියක් ඇති කරගත හැකි බවත් පාරිභෝගික ජනතාව මුහුණදී ඇති අපහසුතාවයන් පිළිබඳ කනගාටු වන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ද, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ඉංජිනේරු වසන්ත ඉලංගසිංහ මහත්මිය ද එක්වූවාය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment