ජාන්නි රොදාරි වැන්නන්ගේ සාහිත්‍ය දරුවන් වෙතට සමීප කරන්න, ඔබේ අතේ දුරින් මජිකාමේන්තේ ඇත

149

ලෝකයේ ඇතිවූ බොහෝ යුද්ධ සඳහා ඇරඹුම් වෙඩි උණ්ඩය පුපුරාගියේ යුරෝපයේ යම් තැනකින් බව කීමේ වරදක් නැත. එහෙත් ජාන්නි රොදාරි, ඉතාලි ළමුනට යුද්ධ විරෝධී වීමට නිරන්තරයෙන් ම කියා දුන්නේය.

මෙයට සති කිහිපයකට පෙර, මජිකාමේන්තේ නම් කාව්‍ය එකතුව සිංහලට පරිවර්තනය කර ඉදිරිපත් කරමින් ඉතාලියේ වසන, හිල්මි සුපුන් හා තරුෂ පෙරේරා පිය පුතුන් විසින් ජාන්නි රොදාරි නම් සම්මාන ලාභී, ඉතාලි ජාතික ආදරණිය ළමා සාහිත්‍යකරුවා සිංහල සාහිත්‍ය ලොවට හඳුන්වා දෙනු ලැබී ය. ජාන්නි රොදාරිගේ 103 වන ජන්ම සංවත්සරය ඔක්තෝබර් 23 දිනට යෙදී තිබිණි.

ළමා සාහිත්‍ය යනු ළමුන් විසින් පමණක් සිදු කරන දෙයක් නො වන්නාසේ ම ළමා සාහිත්‍ය කියවිය යුත්තේ දරුවන් විසින් ම පමණක් ද නො වේ. විෂය නිර්දේෂිත විභාග උගුලක හසුකර තිබෙන ශ්‍රී ලාංකීය ළමා පරපුර වෙත ජාන්නි රොදාරි පන්නයේ විශිෂ්ට විදේශ සාහිත්‍යයක් අධ්‍යාපන බලධාරීන් විසින් හඳුන්වා දීමේ ඉඩ කඩ ඉතා පටු ය. කළ හැකි වන්නේ සිය දරුවන් තුළ ඉහළ පෞරුෂයක්, යහපත් ආකල්පත්, වඩා ප්‍රබල සමාජානුයෝජනයක් පතන වැඩිහිටියන් විසින් ජාන්නි රොදාරි වැන්නන්ගේ සාහිත්‍ය සිය දරුවන් වෙතට සමීප කරවීමයි. ඒ සඳහා දැන් ඔබේ අතේ දුරින් මජිකාමේන්තේ ඇත.

දේශයක ළමා පරපුර, සිතන පතන ආකාරය මත එම දේශයේ අනාගතය ලියැවී තිබේ. එම දේශයේ ළමෝ සිතන්නේත් පතන්නෙත් වැඩිහිටියන් ඔවුනට පෙන්වා දෙන රාමුගත ජීවිත ක්‍රම හරහා ය. අප සමාජයේ බොහෝ වැඩිහිටියන්ගේ උත්සාහය, ඔවුන්ගෙ ජීවිතයේ මග හැරුණ සිහින ඇරියස් සිය දරුවන් හරහා මුදුන් පමුණුවා ගන්නට ය. එවැනි සෑම දරුවෙකුව ම පොළොඹවන්නේ සමාජයේ උසස් යයි සමාජය විසින් සම්මත කරගෙන ඇති වෘත්තින් කෙරෙහි ළමුන් දැක්වීම ය. එම සිහින තුළ ඇති මිථ්‍යාව විස්තර කිරීමට මේ ඉඩ හසර යොදා නොගනිමි.

එහෙත් පෞරුෂ අභිමුඛ අධ්‍යාපනයක කේන්ද්‍රය වන්නේ සංස්කෘතික පුද්ගලයෙකු ලෙස දරුවා වර්ධනය කිරීම සහ පුහුණු කිරීමය. එය මුළු මහත් ජන සමාජයක වගකීමකි. එබැවින් ඉතාලිය වැනි රටකින් අප රට වෙත මාසිකව ගලා එන විදේශ මුදල් සංචිත සේ ම එම සංස්කෘතියේ යහපත් ගති ලක්ෂණ හා ඉගැන්වීම් ද අප සමාජයට එක සේ වැදගත් ය. අධ්‍යාපනය යනු දැනුම හා කුසලතා ප්‍රගුණ කිරීමේ ක්‍රියාවලිය ඉක්මවා ගොස් දරුවෙකුගේ පෞරුෂය වර්ධනය කිරීමේ ක්‍රියාවලියකි. බටහිර රටක හා අප රටේ සම වයස් දරුවකුගේ පෞරුෂ වර්ධනය කෙතරම් වෙනස් දැ යි අපි අත්දැකීමෙන් දනිමු.

මේ කාරණය ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර පමණක් පවතින තත්ත්වයක් නොව. අප සමාජයේ මුල් බැස ගෙන ඇති පසුගාමී මානසික තත්ත්වයේ ප්‍රතිඵලයකි. අල්ලට සිඟාවක් රස නැති කැවිලි කකා… ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා යනුවෙන් උගත් අප, (මෙම උගැන්මේ කාලෝචිත බව විමසනු විනා ඒ කෙරෙහි අපවාදයක් අප්‍රසාදයක් අපට නැත.) ඉදිරි වැඩයයි වටහා ගත්තේ කුමක් ද? එහෙත් එම සමකාලීන ඉතාලි සමාජය ජාන්නි රොදාරිගෙන් උගෙන ගත්තේ කුමක්ද යන කාරණය විමසා බැලීම කාලෝචිතය.

කියවීමේ ශක්තිය
මම කැමතියි
හැමෝම කියවන්නන් වෙනවට
ඒ ලේඛකයෙකු කවියෙකු වීමට නොව
කිසිවෙකු කිසිවෙකුගේ
වහලෙකු නො වී සිටීමට – 29 කවිය

Slave හෙවත් වහලා යන වදන සිංහල සමාජයේ කියැවෙන දේශපාලන සැහැල්ලුවෙන් මිදුන අතිශය වේදනාවක් දරා සිටින වදනකි. Slave කෙනෙකුට සිය ශරීරයට කිසිදු අයිතියක් නැත. සිතන්නට හෝ හැඟීම් ප්‍රකාශ කිරීමට හෝ වේදනාවට කෙඳිරි ගෑමට හෝ ඉඩක් නැත. තම සියලු හැකියාවන්, ශක්තීන් හා නිදහස යෙදිය යුත්තේ වහල් හිමියා වෙනුවෙනි. වහල් හිමියා වෙනුවෙන්, ළමයින් (වහල් පැටවුන්) හැදීම වැදීම පමණක් නොව සටන් කිරීමට හා ජීවිතය කැප කිරීමට පවා සිදු වෙයි. ඒ වෙනුවෙන් ඔහුට හෝ ඇයට විළි වසා ගැනීමට රෙදි කඩමාල්ලක් හා යන්තම් කුස පුරවා ගන්නට පමණක් අහරක් ද ලැබේ. වහල් බවින් මිදීමට වහලුන් ශත වර්ෂ ගණන් සටන් කළහ. එබැවින් බටහිර සමාජයේ කිසිවකුට කිසිවකුගේ වහලෙකු වීමේ උවමනාවක් නැත. එවැන්නක් ඇසීම පවා ඔවුනට බිය උපදවයි. වහලෙකු නො වී සිටීමට ඉගැනීම යනු සමාජයිය සාක්ෂරතාව ලබාගැනීම නොවේද? ජනමාධ්‍යයට, දේශපාලකයාට හෝ වත්මන් සමාජ මාධ්‍යයට පවා කෙනෙක් පහසුවෙන්ම ගොදුරු වන්නෙත් ඒවායේ වහලුන් බවට පත්වන්නෙත් එකී කියවීම නොමැති බැවින් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සිලබස් එකේ නැති විභාගෙට එන්නේ නැති අමතර දේ ඉගැනීමට කාලය ගත කිරීමට අකමැති දරු පරපුරක් සිටින අප සමාජයේ දරුවන් දත යුත්තේ ඉගැනීම පාසල් ගමනින් නතර නොවන බවය. මුළු ජීවිතය ම තක්සලාවක් බව ඔවුනට කියා දිය යුත්තේ ය. එවිට විභාගය අවසන් වූ දවසට ජනමාධ්‍ය ඔස්තාර්ලා විසින් අහුලා ගන්නා වොයිස් කට් නිව්ස්වලට කම්පා නො වී සිටීමට හැකිවනු ඇත.

මේ පාසල වූ කලී
මුළු මහත් ලෝකයයි
එය විශාලයි
දෑස් ඇර බලන්න
ඔබත් සමතෙකු වනු ඇතිය – 1 වන කවිය

ඉතාලිය මෙන් විශාල භූමියක් සහිත රාජ්‍යයන් සහ වතිකානය, වැනි කුඩා භූමියක් හිමි රාජ්‍යයන් ද යුරෝපය තුළ පවති. ලිබරල්වාදීන් මෙන් ම පැසිසිට්වාදින් සමාජවාදීන් මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදීන් ද යුරෝපයේ ආණ්ඩු කරති. නාමිකව හෝ රජුන් රැජිණියන් ද සිටිති. කඳු මෙන්ම තැනිතලා බිම් ද වෙති. මෙනයින් බලන විට යුරෝපය තුළ භාෂා, ආගම්, සංස්කෘතික විවිධත්වය ඉතා පුළුල් ය. එම විවිධත්වය තුළ ඒකීයත්වය පවත්වා ගැනීමේ වැදගත් බව ජාන්නි රොදාරි ළමා මනසට කියාදෙන අපූරුය. “අහස සැමට” යන කවිය ඒ සඳහා නිදසුනකි. එහි අවසාන කොටස මෙසේය.

ඉතින් මට කියා දෙන්න
ගද්‍යයෙන් හෝ පද්‍යයෙන්
අහස තනි යායක්ව පවතිද්දි
මහපොළොව කැබලි වූයේ මන්ද (2 වන කවිය)

ලෝකයේ ඇතිවූ බොහෝ යුද්ධ සඳහා ඇරඹුම් වෙඩි උණ්ඩය පුපුරාගියේ යුරෝපයේ යම් තැනකින් බව කීමේ වරදක් නැත. එහෙත් ජාන්නි රොදාරි, ඉතාලි ළමුනට යුද්ධ විරෝධී වීමට නිරන්තරයෙන් ම කියා දුන්නේය. ඉහත දැක් වූ කවියද ඒ සඳහා නිදසුනකි. “වර්ෂාවට පසු” නම් කවිය ද, “කළ යුතු දේ සහ නොකළ යුතු දේ” යන කවිය ද ඒ නිදසුන් අතරට එක් කළ හැක.

පැරණි මති මතාන්තර, ආප්තෝපදේශ කල් ඉකුත් වන බවත්, අලුත් ලොවට නවීන සිතුවිලි ජනිත කිරීම අවැසි බවත් ළමා පරපුරට අලුතින් සිතන්නට පොළඹවන කවියක් ලෙස හිතෝපදේශ මැයෙන් එන කවිය අප සිත් ගනී. සිරිමත් මගේ සකි, ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු වැනි අප සාහිත්‍යයේ හමු වන හිතෝපදේශ කාව්‍ය ද නැවත කියවන්නට සිත් වන්නේ මෙවැනි අලුත් කියවීම් හමුවන විටය.

නිරෝෂ ප්‍රනාන්දු
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment