ඩාවින්සි – ආන්ජලෝ ඇවිද ගිය පාරේ සිංහල අකුරුවලින් මූර්ති අඹන බලපිටියේ දුමින්ද

189

මිල්ල සොයා ගොස් ඉතාලි ලඳගෙන් කලාවරම් ලැබිලා

යුරෝපා කොමිසමේ වරප්‍රසාද මටත් හිමිවීම සතුටක්…

දුටු විට කවුරුනුත් දෙපාරක් බලන්නට පෙළෙඹෙන, සුදු ජාතිකයකු යැයි වරදවා වටහාගන්නා, එමෙන්ම කඩවසම් පෙනුමක් ඇති අජන්ත දුමින්ද ජයසූරිය නම් වන ඔහුගේ කතාවට සවන් දී සිටින විට විටෙක මට මහා පුදුමයක් සිතේ. ඒ මෙවන් වාසනාවන්තයන්ද ලොව සිටින නිසාය. එසේම, ඔහුගේ නොපසුබස්නා උත්සාහය සහ ජීවිතය ජයගන්නට ඔහු දරා ඇති වෙහෙස, විඳි ගැහැට පමණක් නොව, නිර්මාණවේදියකු වන්නට ඔහු කර ඇති පෙර කුසල් මහිමය මෙන්ම, ඒ සඳහා කර ඇති කැපකිරීමේ තරම ගැනද ඔහුගේ කතාවෙන් මට පසක් වන කාරණාය. තාත්තා මෙලොවින් සමුගනීමෙන් පසු පවුලේ ජීවන බරට උර දෙමින් අම්මා සහ සහෝදර, සහෝදරියන් රකිනු වෙනුවෙන් පාසල් සමයෙන් පසු හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවන්ට සම්බන්ධව කටයුතු කරන අජන්ත අනතුරුව කොරියාවේ රැකියාවකට ගොස් සෑහෙන තරම් මුදලක් උපයාගන්නා අතර විටෙක මේ සියල්ල අතහැර දමා ඉතාලියට යන්නට හිතුවක්කාර තීරණයක් ගන්නේ “තරුණ මදයටත්” වඩා දෛවය විසින් ඔහු ඒ වෙත කැන්දාගෙන යන්නට ආරාධනා කර ඇති නිසා යැයි මට සිතේ.

2002 ඔක්තෝබරයේ කොරියාවේ සිට ඉතාලියට ගොඩ බසින අජන්ත, ඒ ගිය ගමනට වඩා ඒ ගමන නොගිහින් සිටියා නම් හොඳයි ලෙස සිතමින් පසුතැවෙමින් වසර 4 ක පමණ කාලයක් ඉතාලියේ රැඳී සිටින්නේ රැකියා විරහිතව හා ඉතාලියේ රැඳෙන්නට බලපත්‍රයක් හදාගන්නටවත් නොහැකිව උපන් සංවේගයෙන් යුතුවය.

නමුත්, අජන්තගේ දෛවය ලියැවෙන්නේ ඉතාලියේ ගෙවුණු වසර 4 ක ඒ දුෂ්කර, එමෙන්ම සිත් පීඩා මැද ගෙවීගිය කාලය නිමාවෙමින් පවතින එක්තරා දිනයකය. ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමේ සිහිනයක සිටි අජන්තට යළිත් ශ්‍රී ලංකාවට එනවා වෙනුවට, මහා කලාකරු ලියනාඩෝ ඩාවින්සි, මයිකල් ආන්ජලෝ වැනි ලෝක ප්‍රකට කලාකරුවන් තම නිර්මාණ කාර්යයන් සිදු කළ හා එවන් කලා ඇසුර අත්විඳි, මෙන්ම එවන් කලාකරුවන්ගේ අල්ලාප සල්ලාපයෙන් ඔදවත් වූ ඉතාලියේ රෝම අගනුවර පිහිටි “වියා ජුලියා” . (Via Giulia) වැනි වීදියකම තමන්ටම කියා කලාගාරයක් තනාගෙන මුර්ති කලාකරුවකු ලෙස එහි මුර්ති අඹමින් එම කලාවේ යුරෝපීය ආරයේ හිනිපෙත්තටම නගින්නට අවස්ථාවක් උදාවේ යැයි අජන්ත එදා කිසිලෙසකින් හෝ සිතන්නට නැත.

නමුත්, ශ්‍රී ලාංකිකයන් බහුතරය පමණක් නොව, ඔහු උපන් බලපිටියේවත් ඔහුගේ යහළු මිත්‍රයන් පවා අදටත් ඔහු වර්තමානයේ ලොව නියෝජනය කරන්නේ කවර භූමිකාවක්ද යන්න හරිහැටි හඳුනා නොගත් මොහොතක අජන්ත දුමින්ද ජයසූරිය නම් මේ කලාකරු, ඉතාලියේ රෝම අගනුවර, ලක්සන්බර්ග්, ජර්මනිය, පැරිසිය (ප්‍රංශය) ඇතුළු යුරෝපා කොමිසමේ රටවල් 27 ක කලාලෝලීන් ඔහු හඳුනාගෙන සිටින්නේ විශිෂ්ඨ (යුරෝපීය) මූර්ති ශිල්පියෙක් ලෙසිනි.

ඩාවින්සි - ආන්ජලෝ ඇවිද ගිය පාරේ සිංහල අකුරුවලින් මූර්ති අඹන බලපිටියේ දුමින්ද
අජන්ත – සාරා

බලපිටියේ ඉපිද, හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධව සූපවේදියකු ලෙස කටයුතු කරමින් සිටි අජන්ත, කොරියාවේ රැකියාවට යන්නේත් සූපවේදී රැකියාව තවදුරටත් ඉගෙන ශ්‍රී ලංකාවේ එවන් කර්මාන්තයක් කිරීමේ බලාපොරොත්තුවෙන් මිස කිසිදා තමන් අත ගසාවත් නැති මූර්ති කලාවක් හෝ චිත්‍ර කලාවක් කරන්නට නොවේ. කොරියාවේදී ඔහුට කරන්නට හමුවන්නේද රයිස් කුකර් තුළ ඇති හොට් ප්ලේට් පින්තාරු කිරීමේ රැකියාවකි. නමුත් දෛවය ඔහු ඉතාලියට කැඳවාගෙන යන අතර, අවසන ඔහු මූර්ති කලාකරුවකු බවට පත්වන්නේ ඒ පිළිබඳව ජර්මනියේ සහ ඉතාලියේදී එම කලාවට අයත් උසස් අධ්‍යාපන ආයතන තුළ මනාව ශිල්පය උගෙන ගනිමිනි. නොපසු බට උත්සාහයෙන් යුතුව තම අරමුණ ජයගත් කෙනෙක් හැටියට පමණක් නොව, ඒ උත්සාහය තුළින් තම යසස වඩවාගත් නිර්මාණවේදියකු ලෙස අද අජන්ත දුමින්ද ජයසූරිය මේ ලොව හිනිපෙත්තේ වැජඹෙන කලාකාරයෙක් බවට පත්කරන්නේ ඔහු කියන පරිදි ඔහුගේ දෛවය වෙනස් කළ ඉතාලි ජාතික තම බිරිඳ “සාරා කෝර්ති ජයසූරිය” විසිනි.

ඇයගේ ඉල්ලීමකට අනුව, ලක්සම්බර්ග් හි පිහිටි “සාරා.අජන්ත” පදිංචි නිවසට යාබද නිවසක මූර්ති කලාවේ නියුතු අසල්වැසි මූර්ති ශිල්පියකු වූ “රිනේ විරෝද්” ගේ කලා කටයුතු සඳහා බිරිඳ සාරාගේ ඉල්ලීමට අනුව අත්උදව්වට යන අජන්ත, මූර්ති කලාවට අත්පොත් තබන්නේ මෙහිදීය. සුපසාස්තරයේදී එළවළු හා පලතුරු වලින් අගනා කැටයම් කර පලපුරුද්දක් තිබුණත් දුමින්ද ජයසූරියට කම්බි කූරු එක්කර එය බදාමයකින් වසා මූර්තියක් කිරීමේ පළපුරුද්දක් තිබුණේම නැත. නමුත් අත්උදව් අතර තුර “රිනේ” ගේ ඉල්ලීමට අනුව අජන්ත විසින් කරන ලද නැවක (හෝ ඔරුවක) අනුරුව සහිත මුල්ම මූර්ති නිර්මාණය නොසිතූ පරිදි රිනේ, තම බිරිඳ සාරා හා අසල්වැසියන් ආකර්ෂණය කරගත් නිර්මාණයක් වූ බැවින් බිරිඳ සාරා, අජන්තට වැඩිදුර මූර්ති නිර්මාණය සඳහා අවස්ථාවක් ලබාදෙන්නට කතිකා කරගත්තාය. ඒ අනුව මූර්ති ශිල්පී රිනේ ගෙන් අජන්තට ශිල්පය දෙන්නට කරන ලද ඉල්ලීම රිනේ ප්‍රතික්ෂේප කළේය. මෙනිසා සාරා විසින් 2011 වසරේදී පැරිසියේ Trier Academy and Beaux Arts වෙත අජන්ත යොමුකරනු ලැබුවාය. එහිදී මූර්ති කලාවේ ශිල්ප ක්‍රම සම්පූර්ණයෙන්ම පාහේ ඉගෙන ගත් අජන්ත, ක්ලේ, සෙරමික්, පේපර්, ෆයිබර් වැනි ද්‍රව්‍ය ඇසුරෙන් සිදුකරන මූර්ති කලාව ප්‍රගුණ කළේය. එසේම, එහිදී ප්‍රථම වරට “සජීවී නිරුවත් කාන්තා රූප” දෙස බලාගෙන කරනු ලබන නිර්මාණ ඇතුළු ස්වතන්ත්‍ර නිර්මාණ රැසක් සඳහා දායකවෙමින් යුරෝපීය ආරයේ මූර්ති කලාව ප්‍රගුණ කරන්නට හේ සමත් විය.

අනතුරුව මූර්ති ප්‍රදර්ශන ආරම්භ කරන අතර තුර, මේ කාලයේම පැරිස් නුවර Fine Art Academy ආයතනයට ඇතුළුව මහාචාර්ය “පිලිප් සෙනේ” (Philippe Seene) යටතේ 2014 දී තව දුරටත් මූර්ති ශිල්පය සියුම් ලෙස අධ්‍යයනයේ යෙදෙන අජන්ත එහිදීද කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස “සජීවී නිරුවත් ගැබිණි රුවක්” දෙස බලාගෙන ඉතා අඩු කාලයකින් මූර්තිමත් කිරීමෙන් දක්ෂතා පෙන්වා ඇත. මහාචාර්ය “පිලිප් සෙනේ” (Philippe Seene) අජන්තගේ අවසන් “ෆයින් ආර්ට්” ගුරුවරයා වන බවද මෙම අධ්‍යයන ආයතනයෙන් තමන් මූර්ති කලාවේ බොහෝ දෑ උගත් බවද අජන්ත කියයි.

අනතුරුව තමන්ගේ ආරකින්ම පේපර් (කඩදාසි) හා ප්ලාස්ටර් ඔෆ් පැරිස් (පැරිස් බදාම), තිරිඟු පිටි, ගම් හා තෙල් මිශ්‍රිත මූර්ති ශිල්පය සිදුකරමින් යුරෝපය පුරා අජන්ත දුමින්ද නම් නාමය ප්‍රචලිත කරගන්නේ යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසක සිදුකරන ලද මූර්ති ප්‍රදර්ශන තුළිනි. නන්නාඳුනන රටවලට ගොස් අධ්‍යාපනය හදාරා මූර්ති කලාවේ ලොව බබලන “පොරක්” කිරීම සඳහා තමන්ට සම්පූර්ණ උදව්ව, උපකාරය, දිරිමත් කිරීම පමණක් නොව, විය හියදම් දරමින් තමන් රැකබලාගත්තේ තම බිරිඳ “සාරා” මිස අන්කිසිවකුත් නොවේ යැයි අජන්ත පවසයි. එනිසා තමන් “සාරා” ට ණයගැති බවද, සාරා නොසිටින්නට තමන් මේ වන විට විටෙක කොහේ හෝ හෝටල් ක්ෂේත්‍රයේම රැකියාවක් කරන අයකු වීමට ඉඩ තිබුණු බවද අජන්ත පවසන්නේ සාරා වෙනුවෙන් හදපිරි ප්‍රණාමය පිරිනමමිනි.

අජන්ත දුමින්ද ජයසූරියට බිරිඳ “සාරා” හමුවීම වෙනම කතාවකි. එය කියවන්නට වුවමනාම කතාවකි. කොරියා රස්සාවේ සිට ඉතාලියට පැනගත් “තරුණ මදයට” ඔහු ඕනෑවටත් වඩා පසුතැවිලි විය. කොටින්ම අවුරුදු 4 ක ඉතාලි “පනිෂ්මන්ට්” එකෙන් හොඳටම බැට කා සිටි ඔහු අන්තිමේ එහි කළේ කුලී කඩයක අත්උදව් රස්සාවකි. දිනක් සවසක මේ කුලී කඩය වසා දමා කඩයේ යතුර ගිහින් දිය යුතු වූයේ අසල නිවසකටය. අජන්ත මේ කාලයේ කඩවසම් ඉලන්දාරියෙකි. කඩේ වසා යතුර අදාළ නිවසට භාරදී (ආයුබෝවන් කියා . බොන්ජෝනෝ) පැමිණි දවසක මේ නිවසට පැමිණ සිටි අසල්වැසි තරුණියකගේ හිත මේ කඩවසම් තරුණයා වෙත යොමු විය. එකෙනෙහිම හැඩකාර අජන්ත ගැන ඇයට සිතක් පහළවූවාය. අනතුරුව ඇය දින කිහිපයක්ම අජන්තව සේව්වාය. ඇයගේ පැතුම සඵල වී ඇයට අජන්තව මුණගැසෙන්නට අවස්ථාවක් උදාවූවාය. නමුත් ඉතාලි රස්සාවේ අන්තයටම කලකිරී සිටි දවස් කිහිපය එය වූ බැවින් හා අජන්තට ඉතාලියේ රැඳී සිටින්නට නීත්‍යනුකූල බලපත්‍රයක් පවා නොමැතිව සිටි මේ මොහොතේ අජන්ත සාරා ගේ ප්‍රේමවන්ත බව හා විවාහ යෝජනාව ඔහු දුටුවේ තම හිස මත කඩාවැටුණු තවත් “මරාලයක්” ලෙසිනි. අජන්ත සාරාට කිව්වේ තමන් ශ්‍රී ලාංකිකයකු බවත්, අඩුම තරමින් ඔහුට ඉතාලියේ ඉන්නට බලපත්‍රයක්වත් නැති බවත් හා තමන් ආපසු යන්නට සිටින බවත්ය. එහෙත් තමන්ට විවාහ යෝජනාවක් ගෙනෙන “සාරා” ඒ වන විටත් “යුරෝපා කොමිසමේ” ඉහළ තනතුරක් දරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් බව අජන්ත දැන සිටියේ නැත. සාරා එක්වරම කීවේ විවාහයෙන් පසු තමන් අජන්තට ඉතාලි බලපත්‍රය (පේපර්ස්) අරන් දෙනනම්, අපි විවාහ වෙමු කියාය.

මෙවන් තීන්දු . තීරණ, කතා.බහ, ආදර.බස්, හමුවීම්.වෙන්වීම් අවසානයේ දෙපස මව්වරුන්ගේ කැමැත්ත, ඉතාලි නෑයින්ගේ සැක සංකා මැද මනාල පාර්ශ්වයේ කවුරුනුත් නැතිව අජන්ත වයස අවුරුදු 39 දී සාරා සමග ඉතාලියේදී විවාහ දිවියට 2006 වසරේදී අත්සන් තබන්නේ බිරිඳ සාරා පිළිබඳව උපන් ස්නේහය හා අපිරිමිත විශ්වාසය දරාගෙනය. එහෙත් ඒ ඉතාලියේ ජීවත් වන්නට බලපත්‍රයක්වත් (පේපර්ස්) නැත්තෙකු පරිදිය. එනමුත් 2006 වසර සිට 2013 වසර දක්වා අවුරුදු 7 කට අජන්තට ඉතාලියේ ජීවත් වීමට සාරාගේ මැදිහත්වීමෙන් ඉන් අනතුරුව බලපත්‍රයක් ලැබෙන්නේ අජන්තගේ හදේ උපන් සතුට උතුරා යමිනි. එපමණක් නොව, සාරා ගේ ස්වාමියා ලෙස, ඔහුට හිමිවන “යුරෝපීයන් කොමිසමේ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද” සියල්ලක් අජන්තට එදින පටන් හිමිවූ බව අජන්ත කියන්නේ හද පිරි සතුටකිනි. එතැන් පටන් සාරා . අජන්ත ප්‍රේමය දලුලා වැඩෙන අතර, අජන්ත සාරා සමග පදිංචියට යන්නේ “ලක්සන්බර්ග් රටේ නිවසකටය. ඔහු මූර්ති ශිල්පී “රිනේ විරෝද්” ගේ අත්උදව්වට යන්නේ මෙසේ ලක්සන්බර්ග් නිවසේ කල් ගතකරන විටය. යුරෝපා සංගමයට අයත් රටවල් 27 ක සංචාරය කිරීමේ රාජ්‍යතන්ත්‍රිකත්වය බිරිඳ සාරා නිසා අජන්තට හිමිවන නිසා ඔහු සැබෑ වාසනාවන්තයකු යැයි සිතීම වරදක්ද…? පැරිස් අයිෆල් කුලුන යටින්, Raphael” Leonardo” Michelangelo වැනි විශිෂ්ඨයන්ගේ පහස ලැබූ තැන් ඇතුළු සමස්ත යුරෝපය පුරා ගෙදර මෙන් ඇවිද යමින් වින්දනය කරන අජන්ත, අවසානයේ සාරා ගේ උදව්වෙන්ම මූර්ති ශිල්පියකු ලෙස කෙල පැමිණීම දෛවෝපගත සිදුවීමක් නොවන්නේද…?

අපට අජන්ත දුමින්ද ජයසූරිය මුණගැසෙන්නේ මේ දිනවල ඉතා කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටිද්දීය. ඔහු උපන් ගාල්ල . බලපිටියේ පිහිටි නිවසට තම සෙනෙහෙබර මව බලන්නට පැමිණ සිටින අජන්ත තවත් ටික දිනකින් ආපහු රෝමය බලා පිටත්ව යන්නේ බිරිඳ සාරා විසින් සැලසුම් කර, ආරාධනා පත්‍ර පවා යවා ඇති “වියා ජුලියා” හි පැවැත්වෙන මීළඟ මූර්ති ප්‍රදර්ශනය ආරම්භ කරන්නටය.

ඩාවින්සි - ආන්ජලෝ ඇවිද ගිය පාරේ සිංහල අකුරුවලින් මූර්ති අඹන බලපිටියේ දුමින්ද
ඩාවින්සි - ආන්ජලෝ ඇවිද ගිය පාරේ සිංහල අකුරුවලින් මූර්ති අඹන බලපිටියේ දුමින්ද

“මගේ ගම බලපිටිය. මම පාසල් ගියේ මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයට, බලපිටිය කනිෂ්ඨ විද්‍යාලයට හා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට. තාත්තා ජෝජ් බර්ටි ජයසේකර මහ බැංකුවේ වැඩකරපු හින්දා තමයි පළමුව මොරටුවේ ඉස්කෝලේ ගියේ. මගේ අම්මා සෝමා ජයසූරිය. අම්මා, සහෝදර සහෝදරියන් බලන්න තමයි මම මේ පාර ආවේ. බිරිඳ සාරා මේ පාර ආවේ නෑ. අපි විවාහ වෙලා 2006 ලංකාවට ඇවිත් මාස කීපයක් ලංකාවේ හිටියා. නමුත් ඒ කාලයේ රටේ යුද වාතාවරණය තිව්‍ර වුණා. ඒ තත්ත්වය උඩ යුරෝපා කොමිසමෙන් ගුවන් යානයක් පැමිණ සාරා ත් මමත් ආපහු ඉක්මනින් යුරෝපයට අරන් ගියා.

කොහොම හරි මම පාසලෙන් පස්සේ “හොටෙල් ට්‍රඩ්” එකට ගියා. කළුතර ටැංජරීන් හෝටලයේ “කිචන් හෙල්පර්” රස්සාව මුළින්ම කළා. ඒ අතර මම සූපසාස්ත්‍රය ඉගෙන ගත්තා. නුගේගොඩ “හොටෙල් ස්කූල්” ගියා. 1994 දී අම්බලන්ගොඩ මගේම කුඩා රෙස්ටෝරන්ට් එකක් කළා. ගෙදර ළඟ ජූස් බාර් එකක් කළා. පස්සෙ සූපසාස්ත්‍රය වැඩිදුර ඉගෙන ගන්න තමයි මම 1999 කොරියාවට යන්නේ. ඒත් කළේ වෙන රස්සාවක්. ඒකෙන් සල්ලි හම්බකළා. ගෙදරටත් එව්වා. ඔය ඉන්න අතර තමයි ඉතාලි සිහිනයක් ආවේ. කොරියාවේ යාළුවෝ යන්න එපා කියද්දී මම ඉතාලියට ගියේ. ආයෙමත් එන්න ඉන්නකොට තමයි මේ දෛවෝපගත සිද්ධිය වුණේ. දැන් ඉතින් සතුටින් ඉන්නවා. මම හිතන්නේ මේ ලෝකේ සතුටින්ම ඉන්න කෙනා මමයි කියල. මේ සේරටම මුල බුදු දහම. මම මට වරදින හැම වෙලේම බුදුන්ගේ පිහිට පතනවා. ඒ වගේම ඒ පිහිට මට ලැබෙනවා. ලැබිල තියනවා. අදටත් මගේ රෝමයේ වැඩපළේ සහ ස්ටූඩියෝ එකේ පිරිත් දානවා. බුදුන්ට, සීවලී හාමුදුරුවන්ට, සතර වරම් දෙවිවරුන්ට නමස්කාර කරනවා. බුදුපිළිම තියල වඳිනවා. පිරිත් නූල්, පිරිත් පැන් තියනවා. කොරෝනා කාලය ඉතාලියට ඉතා නරක කාලයක් වුණා. නමුත් මගේ ආරක්ෂාව ලැබුණේ පිරිත් පැන්වලින්. පිරිත් බලයෙන් කියල මම හිතනවා. කොවිඩ් පොසිටිව් වුණු මම පිරිත් පැන් බලයෙන් නෙගටිව් වුණා. ඒක මගේ විශ්වාසය.

මම මස්, මාළු හෝ කිසිම මාංශමය ආහාරයක් ගන්නේ නෑ. මත්ද්‍රව්‍ය, දුම්වැටි පාවිච්චි කරන්නේ නෑ. ඒ පිහිට මට තියනවා. මගේ බිරිඳත් එහෙම තමයි. මම නැති වුණත් අදත්, හැමදාමත් එයා බුදුන්ට පහන් තියනවා, පිරිත් දානවා. ඇත්තටම නිර්මාණක් කරන්න මත්ද්‍රව්‍ය ඕන කියල කවුරු හරි කියනවනම් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. මම ඒකට එරෙහිව තර්ක කරනවා. මම තනිකරම නිර්මාණ කරන්නේ, ජීවිතය ජයගත්තේ අධ්‍යාත්මික ශක්තියෙන්, බුදුන්ගේ ශක්තියෙන්’ අජන්ත කියයි.

“මම විවිධ අත්හදා බැලීම් යටතේ මූර්ති කලාව කරගෙන යනවා. ඒ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ගැන මම තාමත් හදාරනවා. ළඟදී ශ්‍රී ලංකාවේදී පාන් පිටි, බයින්ඩර් ගම් හා එළවළු තෙල් භාවිතයෙන් කළ මූර්තියක් ගැන මම හදාරලා ඒක අත්හදා බැලීම් කළා. ඒක සාර්ථකයි. මම නිතරම කරන්නේ අර්ධ රන්වන් පාර දරන “බ්‍රරන්ස්” වර්ණයේ මූර්ති. ඒවාට තමයි යුරෝපීයයන් කැමති. තව පත්තර කඩදාසිවලින් මිනිස් රූප, අශ්ව රූප මූර්ති කරනවා. ඒ සඳහා මම බොහෝවිට යොදාගන්නේ සිංහල අකුරු තියන ලංකාවේ පත්තර. ඒවා විවිධ වර්ණයෙන් යුක්ත නිසා සහ රවුම් හැඩති අකුරුවලින් යුක්ත නිසා ඒවාට විදේශිකයෝ කැමතියි. ඉතිං මට සතුටුයි මම දැන් යුරෝපයේ ජීවත්වන කෙනෙක් වුණත්, තාම මම මගේ රටේ අනන්‍යතාව ලෝකෙට කියනවා ඒකට මට මගේම කලා මාධ්‍යයක් තියන නිසා.” අජන්ත කියයි.

අජන්ත නොහොත් ගමේ උදවිය කියන විදිහට අජිත් (අයියා) අපට සම්බන්ධ කර දුන්නේ බලපිටියේ රවී ද සිල්වා සහ ඔහුගේ සොයුරු ජයමින්ද සිල්වා සොයුරන් විසිනි. ඔවුන් දෙදෙනාටම ස්තුතිය පළ කරන අතරම අජන්ත තමන් විසින් යුරෝපයේ සිදුකරන්නට යෙදුණු ප්‍රදර්ශන ගැනද කියන්නට අමතක නොකළේය. ඒ අනුව මේ වන විට ඔහු හා බිරිඳ එකතුව ප්‍රදර්ශන 20 කට වැඩි ගණනක් හා නිර්මාණ 200 කට වැඩි

ගණනක් සිදුකර ඇති බව අජන්ත කියයි. යුරෝපා සංගම් මූලස්ථානය, ඇතුළු ස්ථාන ගණනාවක මෙසේ ඔහු ප්‍රදර්ශන පවත්වා ඇත. ඒ කෙසේ වෙතත් රෝමයේ “වියා ජුලියා” වීදියේ ඇති “දුමින්ද” කලාගාරයේ නිරන්තරයෙන් අජන්ත දුමින්දගේ කලා කෘති දිනපතා ප්‍රදර්ශනය කෙරෙන අතර, ඊට යාබද කාමරයේ ඇති වැඩපළේ ඔහු විසින් නිරන්තරයෙන් මූර්ති කලාව කරගෙන යනු ලබයි.

“ලක්සම්බර්ග් ඉන්න ගමන් රෝමයෙන් අපි දෙන්නා කුඩා කඩ කාමරයක් මිලදී ගත්තා අපේ ස්ටූඩියෝ එකට. එහෙම කරගෙන ඉන්න ගමන් තමයි අපිට හිතුණේ සියලු ආකාරයේ කලාවන්ට තෝතැන්නක් වගේ ප්‍රසිද්ධ රෝමයේ “වියා ජුලියා” වීදියෙන් ස්ථානයක් ගන්න ඕන කියලා. ඉතිං සාරාත් මමත් කතාකරල බලල තමයි මේ ස්ථානය කුලියට ගත්තේ. අපිට හරි ආඩම්බරයි මෙතන අපේ කියල කලාගාරයක් හා වැඩපළක් තියන එකට. මොකද ලියනාඩෝ ඩාවින්සිලා, මයිකල් ආන්ජලෝලා වගේ විශිෂ්ඨයෝ පාගපු පොළොවක්නෙ මේක. මෙතනින් අපට යම් ආදායමක් ලැබෙනවා.් ශ්‍රී ලංකාවේ මගේ මූර්ති “මියුසියම්” එකක් අරින්න බලාපොරොත්තුවක් තියනවා” යැයි අජන්ත දුමින්ද ජයසූරිය නම් යුරෝපීය මූර්ති කලාවේ කෙල පැමිණි නිර්මාණකරුවා බලපිටිය මාදු ගඟ අද්දර සිට අප සමග පැවසුවේ පිට දිගට වැටෙන ශ්වේත පැහැති තම දිගු වරලස මෙන්ම ඔහු ඇඳ සිටි නිල් පැහැති කර කැපූ ටී ෂර්ටයේ ඉදිරිපස මුද්‍රණය කර ඇති, ඔහු මූර්ති ශිල්පියකු බවට පත්කළ තම ප්‍රථම මූර්තියේද රූපයක් අපට ඇස ගැටෙන්නට සලස්වමිනි.

කතා බහ . ජගත් කණහැරආරච්චි
ඡායාරූප . රවී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment