ඩුබායි එක්ස්පෝ ප‍්‍රදර්ශනයේදී ශ‍්‍රී ලංකා කුටියට ඉහළ ප‍්‍රතිචාර

165

ඩුබායි හි මේ දිනවල පැවැත්වෙන ‘එක්ස්පෝ 2020 ’ප‍්‍රදර්ශනයේ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන කුටිය පසුගිය දින 23ක කාලය තුළ 11000කට වැඩි පිරිසක් නරඹා ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම ඩුබායි එක්ස්පෝ ප‍්‍රදර්ශනයේ ශ‍්‍රී ලංකා මණ්ඩපයේ සාර්ථකත්වය ඉතා කෙටි කාලයක් තුළ, සීමිත සම්පත් හා මූල්‍ය ප‍්‍රතිපාදන ඇතිව ලද දැවැන්ත ජයග‍්‍රහණයක් බව ද එම අධිකාරිය පවසයි.

එක්ස්පෝ 2020 ප‍්‍රදර්ශනය මේ මස පළමුවෙනිදා සිට 2022 මාර්තු දක්වා පැවැත්වේ. අක්කර 1083ක කාන්තාර බිම් කඩක පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය සඳහා රටවල් 192ක් සහභාගි වේ. මෙම ඩුබායි එක්ස්පෝ ප‍්‍රදර්ශනය අවස්ථානුකූල, සංචලතාව හා තිරසාරත්වය යන තේමා ඔස්සේ අංශ 3කට වෙන් කර තිබේ. එක්ස්පෝ ගම්මානයේ අවස්ථා අංශයෙහි වර්ග මීටර් 212ක කලාපයක ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන මණ්ඩපය පිහිටා ඇත. ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය සමග ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, ශ‍්‍රී ලංකන් ගුවන් සේවයද මේ සඳහා එක්ව තිබේ. ඩුබායි කොන්සාල් කාර්යාලය, මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයද මේ සඳහා සිය පූර්ණ සහයෝගය පළ කළ බව සංචාරක අධිකාරිය කියයි.

ඩුබායි එක්ස්පෝ ප‍්‍රදර්ශනය සඳහා ශ‍්‍රී ලංකාව සූදානම් වීම ආරම්භ කළේ 2018 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙනි. ඒ සඳහා අපේක්ෂිත වියදම රුපියල් මිලියන 580ක් වූ අතර උද්ගත වූ වසංගත තත්ත්වය හා ආර්ථික හේතු මත අපනයන සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමට නොහැකි විය. ඒ අනුව 2021 දෙසැම්බර් මසදී ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට මෙහි මූලිකත්වය ගැනීමට ආරාධනා කෙරිණි. එහෙත් ප‍්‍රදර්ශනය පැවැත්වෙන සම්පූර්ණ මාස 06ක කාලය සඳහා ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට වෙන් කර ඇත්තේ රු. මිලියන 155.5ක පළමු වියදම් ඇස්තමේන්තුව හා සසඳන කල ඉතාමත් සුළු වූ වියදමක් බව ද එම අධිකාරිය සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

advertistmentadvertistment
advertistmentadvertistment