ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාවෙන් කොළ එළියක්

95

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍යකරණ සහතිකයක් ලබාදී ඇති බව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා ඊයේ (20) පැවසීය.

ශ්‍රී ලංකාව ද ඒ සම්බන්ධව දැනුවත්ව තිබෙන බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය.

වර්තමාන ආර්ථික තත්ත්වය හා පවතින අභියෝග පිළිබඳ ඊයේ (20) නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව කීවේ ය.

ඉන්දියාව ඒ අයගේ මූල්‍යකරණ සහතිකය ලබාදීමත් සමග චීනයේ අනුමැතියත් මේ සම්බන්ධයෙන් ඉක්මනට ලබා දුන්නොත් මූල්‍ය අරමුදලේ මීළඟ විධායක සභා රැස්වීමට එය ඉදිරිපත් කළ හැකි බවත් එය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2023 මාර්තු මාසයේ දී බවත් ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නොමැති බවයි.

රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම ගැන අදහස් දක්වමින් මෙසේ ද කීවේ ය.

අපි තාවකාලිව ණය නොගෙවන බව ප්‍රකාශ කරල තමයි ජාත්‍යන්ර මූල්‍ය අරමුදලට මේ අවස්ථාවේ ගියේ. අපි මුහුණ දුන් තත්ත්වයත් එක්ක මේ කාලසීමාව ඇත්තට ම ප්‍රමාදයක් නෙවෙයි. ඉතා ඉක්මණින් අප බලාපොරොත්තු වන ඉලක්කවලට යනවා. මෙය ඉතා සාර්ථක තත්ත්වයක් කියල කියන්න පුළුවන්. අපි මීට පෙර 16 වතාවක් අයිඑම්එෆ් ගියේ යා යුතු වෙලාවෙ එත් මේ වෙලාවෙ. ඒත් මේ වෙලාවෙ අපි අයිඑම්එෆ් ගියේ යා යුතු වෙලාවේ නෙවෙයි. යා යුතු වෙලාව පසුකරල වසරකටත් වැඩි කාලයක් ගියාට පසුවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment