තරගාවලියේ සියලු තරග ජයගැනීම අපේක්‍ෂාවයි

131

20-20 නායක වනිඳු බංග්ලාදේශය බලා පිටත්වෙමින් කියයි

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දු වාර 20-20 තරගාවලියේ සියලු තරග ජය ගැනීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා පන්දු වාර 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය කණ්ඩායම සමග ඊයේ (29 වැනිදා) බංගලාදේශය බලා පිටත්වෙමින් මාධ්‍ය හමුවේ පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අලුයම බංග්ලාදේශය බලා පිටත්ව ගිය අතර පන්දු වාර විස්සයි විස්ස තරගාවලියට අමතරව, තරග තුනකින් යුත් එක් දින තරගාවලියකට සහ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකටද ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ දී සහභාගි වීමට නියමිතය.

“ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලානයට පෙර අපිට තිබෙන්නේ මෙම විස්සයි -20 තරගාවලිය පමණයි. එම නිසා මෙම තරගාවලිය හොඳින් ක්‍රීඩා කර තරග 3ම ජයගගෙන කණ්ඩායමක් ලෙස ලෝක කුසලානයට ඒ ආත්ම විශ්වාසය පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සැසඳීමේදී අපි දන්නවා අපි කෙතරම් ඉහළින් ඉන්වාද කියා. අපගේ සුපුරුදු ක්‍රීඩා රටාවට ළඟා විය හැකි වුවහොත් අපිට ලෝකයේ ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකියි. එසේම කණ්ඩායමක් ලෙස සෑම අවස්ථාවකම අපි ඒ විශ්වාසය තබාගත යුතුයි. අපි සෑම අවස්ථාවකම කණ්ඩායමක් ලෙස බලන්නේ ප්‍රේක්ෂකයන් සතුටින් තැබීමට මෙන්ම රට ජයග්‍රහණය කරවන්නේ කෙසේද යන්නයි. ඒ අනුව කණ්ඩායමක් ලෙස අපිට හැකි උපරිමයෙන් ක්‍රීඩා කිරීම බලාපොරොත්තුවයි” යනුවෙන් වනිඳු හසරංග ප්‍රකාශ කළේය.

එක් දින තරග අංශයෙන්ද මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ස්ථානයක පසුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් එහිදී මාධ්‍ය හමුවේ පැවැසීය.

“මෙම තරගාවලියේදී හොඳින් දස්කම් දැක්විය හැකි වෙතැයි මම සිතනවා. එසේම අපගේ පුහුණුවීම්වලදීත් පසුගිය තරගාවලිය ගැන සළකා බැලුවත් අපි හොඳ තැනක ඉන්නවා. එසේම මෙම තරගාවලියේදී විස්සයි -20, එක්දින සහ ටෙස්ට් යන ආකෘති සියල්ලටම මුහුණදිය යුතුයි. ඒ අනුව කණ්ඩායමේ බොහෝ දෙනෙක් බංග්ලාදේශයේ ක්‍රීඩා කර තිබෙන නිසා එහිදී හොඳින් දස්කම් අතරට පිවිසීමට හැකි වේ යැයි සිතනවා. එසේම පිතිකරුවන් සුපුරුදු රිද්මයට ළඟා වීම ගැන සතුටුයි.” කුසල් වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාද එහිදී අදහස් පළ කර සිටියේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment