බ්‍රවුන්ස් හෝටෙල්ස් ඇන්ඩ් රිසොට්ස් හි තාල බෙන්තොට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව, බෙන්තොට ජෛව කඩොලාන පද්ධතිය ආරක්ෂා කිරීම අරමුණු කරගත් සුවිශේෂී සංරක්ෂණ වැඩසටහනක් පසුගියදා එළිදක්වන ලදී.

ශ්‍රී ලංකාවට ආවේණික, වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සැබෑ කඩොලාන විශේෂයක් වන රත මිල්ල ශාකය (Lumnitzera littorea) සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෑතක් වනතුරුම මාදු ගඟ රැම්සාර් තෙත්බිමට සීමාවී ඇතැයි විශ්වාස කෙරුණු රත මිල්ල කඩොලාන ශාකය මේ වන විට බෙන්තොට මෝය හා දෙද්දුව කලපු ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන තිබේ. මීට සියවසකට පමණ පෙර රත මිල්ල කඩොලාන ශාකය අවසන් වරට වාර්තා වූ එම ප්‍රදේශවල අවුරුදු 10ත් 20ත් අතර වයසැති එම ළපටි ශාක 100 ක් පමණ හඳුනාගෙන ඇත.

මෙම සුවිශේෂී පරිසර පද්ධතියේ වැදගත්කම පිළිබඳව එහි පැමිණෙන්නන් දැනුවත් කරන තොරතුරු සංඥාපුවරු මාලාවක් බෙන්තොට කඩොලාන පරිසරයේ පසුගියදා එළිදැක්වීය.

“මෙම වැඩසටහන තුලින් රත මිල්ල කඩොලාන විශේෂයේ පුනර්ජනනයට තීරණාත්මක සහායක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ අපගේ සහයෝගීතාව ඔස්සේ මෙම අගනා පරිසර පද්ධතිවල දිගුකාලීන පැවැත්ම සුරක්ෂිත කිරීම උදෙසා කැපී පෙනෙන වෙනසක් ඇති කිරීම වෙනුවෙන් අපි කැපවී සිටිමු. අඛණ්ඩ ප්‍රයත්නයක් සහ ප්‍රජා සහභාගීත්වය තුළින් ඉදිරි පරම්පරාව උදෙසා සාරවත් කඩොලාන පද්ධතීන් සුරක්ෂිත කෙරෙන තිරසර අනාගතයක් වෙනුවෙන් අපට කටයුතු කළ හැකිවේ” බ්‍රවුන්ස් හෝටෙල්ස් ඇන්ඩ් රිසොට්ස් ප්‍රධාන විධායක නිලධාරී එක්සත් විජේරත්න මහතා පැවසීය.

බ්‍රවුන්ස් හොටෙල් ඇන්ඩ් රිසෝට්ස් ප්‍රධාන විධායක නිලධාරී එක්සත් විජේරත්න මහතා කඩොලාන භුමියේ රතමිල්ල ශාකය පිළිබඳ තොරතුරු සංඥා පුවරු එළිදක්වන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment