තැන්පත් ගාස්තුවට 11%ක පොලියක් ජනවාරියේ සිට විදුලි පාරිභෝගිකයන්ට – නීතිපති උසාවියට පොරොන්දු වෙයි

151

රට පුරා විසිරී සිටින ලක්‍ෂ 68කට ආසන්න විදුලි පාරිභෝගිකයන් විසින් විදුලි සැපයුම් ලබාගැනීමේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තැන්පත් කර ඇති රුපියල් කෝටි 2100කට ආසන්න තැන්පත් ගාස්තු සඳහා සියයට 11.67ක වාර්ෂික පොලියක් කඩිනමින් ගෙවීමට පියවර ගන්නා බව වගඋත්තරකාර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ඊයේ (13 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

විදුලිබල පනත යටතේ ගෙවිය යුතු එකී පොළිය 2023 වසර වෙනුවෙන් ගෙවීමට මේ වනවිටත් සියලු පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

විදුලි හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ, එම සංගමයේ ලේකම් ප්‍රසාද් භාතිය අමරකෝන් හා එම සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ එස්. තුරෙයිරාජා, ගාමිණි අමරසේකර හා යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි. එකී පොලී මුදල මෙම වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට පියවර ගෙන ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ල හමුවේ වැඩිදුරටත් පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන් පරිදි එකී ගෙවීම් නිසියාකාරව සිදුවන්නේ දැයි සොයා බලා අධිකරණයට වාර්තා කිරීම සඳහා එම නඩුව ලබන මාර්තු 21 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

ලංකා විදුලිබල මණ්ඩල පනතේ 28(3) වගන්තිය යටතේ නව විදුලි සම්බන්ධතා ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් අයකර ගනු ලබන තැන්පතු මුදල් සඳහා මාසිකව පොලියක් ගෙවිය යුතු වුවත් එලෙස නොගෙවීමෙන් තමන් ඇතුළු විදුලි පාරිභෝගිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ යැයි ද පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබිණි. දැනට තමන් ඇතුළු මෙරට විදුලි පාරිභෝගිකයන් එලෙස ගෙවා ඇති තැන්පත් ගාස්තු අනුව එක් පාරිභෝගිකයකුට මසකට අවම වශයෙන් රුපියල් 600-700ක පමණ පොලී මුදලක් අයවිය යුතු බව ද පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබිණි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment