දරු සෙනෙහස සමග සෙල්ලම් කළ පියෙක්…

914

සටහන හා සේයා රූ
මත්තල දිලීප් එන්. ජයසේකර

දෙමාපියන්ට දරුවන් තරම් අමිල වස්තුවක් මේ ලොව තවත් නොමැතිය. දරුවන්ටද දෙමාපිය දෙදෙනා තරම් හොඳ ආරක්ෂකයෙක් මේ ලොව තවත් නොමැතිය. දරු සෙනෙහස මවුපිය සෙනෙහස ඒ තරමටම ගැඹුරුය. මේ අන්‍යොන්‍ය සහ සම්බන්ධතාවය වර්තමානය වන විට කොතරම් දුරකට ඈත්වී ඇතිද යන්න දිනපතා ලොව පුරා අසන්නට දකින්නට ලැබෙන පුවත්වලින් අපට දැකිය හැකිය. ඇතැමෙක් දුවා දරුවන්ට වස දී මරා දමන අතර, තවකෙක් සිය දරුවන් ළිං පතුල්වලට දමා මරණයට පත් කරති. මේ අතරේ ඇතැම් පියවරු සිය දැරියන් අඹුකමට ගෙන දරුවන්ගේ මුළු ජීවිතයම අඳුරු කර දමති. ඒ තරමටම මිනිසුන් නොමිනිසුන් බවට පත්ව තිබේ. දෙමාපියන්ටද දරුවන් පිළිබඳ සිය වගකීම් අමතක වි ගොසිනි. සිරිත් විරිත් ගුණ ධර්ම බල්ලට ගොසිනි. බොහෝ දෙනෙක් මුදල් පසු පස හා ආශාවන් පසු පස පමණක් හඹායති. මේ හේතුව නිසාම මිනිසාට මිනිසත්කම් අමතක වී ගොසිනි.

අද පාඨක ඔබට කියන්නට යන මේ කතාව ද ඇඟ කිළිපොලා යන විදියේ පුවතකි .මෙහෙවු අම්මලා තාත්තලාත් මේ සමාජයේ තවමත් ඉන්නා බවට මෙය කදිම උදාහරණයකි.

සූරියවැව, බැද්දෙවැව, නුගේකන්ද පදිංචි 32 හැවිරිදි තිළින නයන සමරසිංහ එක් දරු පියෙකි. බිරිඳත් සමග කාලයක් මෙම නිවසේ පවුල් ජීවිතය ගත කළත් මීට වසර කිහිපයක සිට දෙදෙනා අතර වරින් වර පවුල් ආරවුල් ඇති වන්නට වීය. බොහෝ වෙලාවට මෙම ආරවුල් කෙලවර වූයේ පොලිස් පැමිණිලි වලිනි. තිළිණ නිරතුරුවම බිරිඳට අනියම් සබඳතා ඇති බවට චෝදනා කළ අතර බිරිඳද තිළිණට අනියම් සබඳතා ඇති බවට චෝදනා කෙරුණි. දෙදෙනා අතර වූ මේ ගැටුම හේතුවෙන් දෙදෙනාට දාව උපන් එකම දියණිය ගිරයට හසු වූ පුවක් ගෙඩියක් බවට පත් වූවාය. හයක් හතරක් නොදත් මේ දැරිය දෙමාපිය දෙදෙනාගේ රණ්ඩු සරුවල් හමුවේ අසරණ වූ අවස්ථා අනන්තය.

අම්මගේත් තාත්තගේත් රණ්ඩු සරුවල් බොහෝ වේලාවට කෙළවර වන්නේ පොලිසියෙන් නිසා දැරිය ද දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියත් ඇයට ඒ පිළිබඳව ඒ තරම් මනා වැටහීමක් නොවීය. ඒ ඇය තවමත් යන්තමින් වයස අවුරුදු 06 පසු කළ දැරියක් වීම නිසාය.

දෙමාපිය දෙදෙනා අතර වූ ගැටුම් දිනෙන් දින උත්සන්න වීය. දිනය අපේ‍්‍රලි 26ය. එදින තිළිණ වැඩ කිහිපයක් සඳහා නිවසින් බැහැරට ගියේය. සැමියා නිවසින් ගිය අවස්ථාවේ බිරිඳ රෙදි බෑගය ද සකස් කරගෙන දැරිය ද රැගෙන සූරියවැව පිහිටි බිරිඳගේ මහ ගෙදරට ගියාය. එහි ගිය තිළිණගේ බිරිඳ සිය දෙමාපියන්ට දැරිය බාර දී නිවසින් පිටව ගියේ නැවත නොඑන බව පවසමිණි. ‘අනේ අම්මේ මාව දමලා යන්න එපා’ කියමින් දැරිය හඬා වැළපෙද්දී ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරය ඇය නිවසින් පිටව ගියේ මවු සෙනෙහස යනු කුමක්ද යන්නවත් නොතේරුණු ගාණටය. වැඩට ගොස් යළි නිවසට පැමිණි තිළිණට බිරිඳත් දැරියත් පෙනෙන්නට නොමැති නිසා ඒ පිළිබඳව සොයා බැලීමේදී බිරිඳ තමන් අතහැර දමා වෙනත් පුරුෂයෙකු හා ගොස් ඇති බව දැනගන්නට ලැබුණි. තිළිණ සිය බිරිඳගේ මහගෙදරට ගොස් එහි නවතා දමා ගොස් සිටි දැරිය යළි නිවසට රැගෙන ආවේය.

daru2මවු සෙනෙහස අහිමි වූ හය හැවිරිදි සඳලි සෙනායා දැරිය පියා හා ආච්චි සීයා සමග ජීවත් වූවාය. මහ මිනිස්සුන්ගේ මේ අඬදබර පිළිබඳව මහා දැනුමත් නොතිබුණු මේ පුංචි දැරිය ද පියා හෝ ආච්චි සීයා දෙදෙනා විසින් උයා පිහා දෙන කුමක් හෝ කා බී නිවසට වී කල් ගෙව්වාය.

මේ සියල්ල අතරේ වෙනත් පුරුෂයෙකු සමග ගිය බිරිඳට කිසියම් පාඩමක් උගන්වන්නට ක‍්‍රමයක් තිළිණ කල්පනා කරන්නට වීය. සිය බාල සොහොයුරු වූ 29 හැවිරිදි චතුරංග සමග ද මේ පිළිබඳව සාකච්ඡා කෙරුණි. බිරිඳගෙන් පළි ගැනීමට ඇති හොඳම ක‍්‍රමය සිය දැරිය යැයි සිතු තිළිණ සැලසුමක් සකස් කෙරුණි. ගෑණිත් මිනිහත් අතර වූ මේ කෝන්තරයට හය හැවිරිදි සිය කුඩා දැරිය ඉත්තෙකු බවට පත් කර ගන්නට තරම් තිළිණ පහත් තත්ත්වයට පත්වීය. දිනය 2021-06-04 ය. වේලාව මධ්‍යම රාත‍්‍රිය පසුවිය. යක්කු ගස් නගින වේලාවත් පසුකරමින් සූරියවැව පොලිස් ස්ථානයේ ආලින්දයේ වූ ඔරලෝසුවේ කටු කැරකැවෙන්නට විය. වේලාව අලූයම 12.30ට ආසන්නය. මැදිවයසේ පසු වූ පුද්ගලයකු හඬමින් පොලිසියට ආවේය. රාජකාරි බාරව සිටි නිලධාරියා පැමිණි පුද්ගලයාගෙන් කරුණු විමසන්නට වීය. ”සර් මුහුණු වහගත්ත හතර දෙනෙක් බයික් දෙකකින් අපේ ගෙදරට ඇවිත් තුවක්කුවක් පෙන්නලා මගේ දැරිය පැහැරගෙන ගියා. අනේ සර් මට මගේ දරුවා ගෙනත් දෙන්න” යනුවෙන් හඬන්නට වීය. රාජකාරි බාරව සිටි නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරින් ද කලබලයට පත් වීය. මේ තරම් සූරියවැව අවට පොලිස් මුරපොළවල් යොදමින් ආරක්ෂාව සපයා ඇති මොහොතක මෙවැන්නක් සිදු වූයේ කෙසේද යන්න පොලිස් නිලධාරීන්ට ද උභතෝකෝටික ප‍්‍රශ්නයක් වීය. වහා ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මේ පිළිබඳව අවට සියලූ මාර්ග බාධක රාජකාරියේ සිටින නිලධාරීන්ව දැනුවත් කෙරුණි. දැරියගේ පියාගෙන් මෙම සිද්ධිය පිළිබඳව වූ පැමිණිල්ල ද සටහන් කර ගැණුනි. අනතුරුව සූරියවැව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරවීර මහතා විසින් සිද්ධිය පිළිබඳව ඉහළ පොලිස් නිලධාරීන් ද දැනුවත් කර පරීක්ෂණ ආරම්භ කෙරුණි.

සිද්ධිය වූ ස්ථානයට ද පොලිස් නිලධාරීන් ගොස් පරීක්ෂණ පැවැත් විණි. පැමිණිල්ලට අනුව මෙම අපරාධයේ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොමැති වීය. දැරියගේ පියාගෙන් පොලිසිය තවදුරටත් සිද්ධිය සිදු වූ ආකාරය පිළිබඳව ප‍්‍රශ්න කෙරුණි. ඒ අන් කිසිවක් නිසා නොව පැහැරගත් දැරිය කෙසේ හෝ සොයාගත වූ නිසාවෙනි. පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පැමිණිලිකරු වූ තිළිණ මෙම සිද්ධිය සිදු වූ අයුරු විටින් විට වෙනස් කරන්නට වීය. වරක් තිළිණ පොලිසියට පැවසුවේ සිව් දෙනෙකු නිවසට පැමිණ ගිණි අවියක් පෙන්වා දැරිය පැහැර ගෙන ගිය බවයි. තවත් වරෙක පොලිස් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පැවසුවේ මේ පැමිණි පුද්ගලයන් සිව් දෙනා තමන් හා දැරිය යන දෙදෙනාගේම මුව හා අත් පා ගැට ගසා පැහැර ගෙන ගිය බවත් නිවසේ සිට මිටර් 200ක් පමණ දුර ගොස් මෙම පුද්ගලයන් තමන්ව බිමට දමා දැරිය විතරක් රැගෙන ගිය බවත්ය.

පැමිණිලිකරු සිය ස්ථාවරය විටින් විට වෙනස් කිරීම හමුවේ පොලිස් විමර්ෂණ කටයුතු වෙනත් අතකට හැරුණි. සූරියවැව පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා වූ පොලිස් පරීක්ෂක සුරවීර මහතා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සැකකරුගේ නිවස පිහිටි ප‍්‍රදේශයට යවා අවට දැඩි පරීක්ෂාවකට ලක් කෙරුණි. එහෙත් පැමිණිලිකරු කියන විදියේ කිසිදු සලකුණක් සාක්ෂියක් එහි නොවීය. පොලිස් පරීක්ෂණ සිදුවන අවස්ථාවේ පැමිණිලිකරු පොලිස් නිලධාරීන්ට පැවසුවේ මෙය සිය බිරිඳගේ සැලසුමක් විය හැකි බවත් ඇය පොලිස් ස්ථානයට කැඳවන ලෙසත්ය.

පරික්ෂණ පැවැත් වූ පොලිස් නිලධාරීන් පැමිණිලිකරුගේ බිරිඳට ද දුරකතන ඇමතුමක් ගත්තේ මේ පිළිබඳව යම් හෝඩුවාවක් සොයා ගන්නටය. තිළිණගේ බිරිඳට පොලිස් නිලධාරීන් දුරකතන ඇමතුමක් ගෙන දැරිය අතුරුදන් වීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීමට පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබේ. එම අවස්ථාවේදී දැරියගේ මව පොලිසියට පවසා තිබුණේ මෙවන් කතාවකි. ”මම දරුවා පැහැර ගත්තේ නෑ සර්. මට දරුව පැහැර ගන්න ඕනකමකුත් නෑ. අනික මට දරුවා ඕන වුණා නම් මේ විදියට පැහැර ගන්න කටයුතු කරන්නේ නෑ. මං එදා ගෙදරින් පිටව ආ දවසේම දරුවා අරගෙන එන්න තිබුණා. නමුත් මට දරුවත් එපා නිසා තමයි මං දරුවත් දමලා ආවේ. ඒ නිසා සර් මං දැන් ඔතනට ආවොත් නැති ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ” යැයි ඇය පවසා තිබුණේ විමර්ෂණ නිලධාරීන්ද අන්දමන්ද කරමිණි.

දැරිය පැහැර ගැනීමට මවගේ සම්බන්ධයක්ද නැතිනම්, මේ ගැන වෙනත් දැනගන්නට තරම් වෙනත් කිසිදු හෝඩුවාවකුත් නොමැති නම් දැරියට සිදු වූයේ කුමක්ද යන්න පොලිසියට ද ගැටලූවක් වීය.

පැමිණිලිකරුගෙන් පොලිසීය යළි ප‍්‍රශ්න කරන්නට වූයේ මේ අපරාධය සම්බන්ධයෙන් කිසියම් හෝ හෝඩුවාවක් සොයා ගන්නටය. පොලිස් ප‍්‍රශ්න කිරීමේදී අදාළ පැහැර ගැනීමේ සිද්ධිය පැමිණිලිකරු විවිධ අයුරින් විස්තර කරන්නට විය. විටෙක මෙම අපරාධය පිළිබඳව ඉතා දුක්මුසු මුහුණින් විස්තර කරන පැමිණිලිකරු තවත් වරෙක මෙම සිදුවීම විස්තර කරන්නට වූයේ හරියට හින්දි චිත‍්‍රපටියක ජවනිකාවක් ලෙසිනි.

අපරාධ සිද්ධි විමර්ෂණයේ ඇති පළපුරුද්ද නිසාවෙන්ම පොලිස් නිලධාරීන් සිද්ධියේ විමර්ෂණ කටයුතු වෙනත් අතකට හැරවිය. මෙම අපරාධය තනිකරම නිර්මාණය කරන ලද ව්‍යාජ එකක් බවට සැක සිතූ පොලිස් නිලධාරීන් සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කළ දැරියගේ පියා හා ඔහුගේ බාල සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගැණුණි. පැමිණිලිකරු චූදිත බවට පත්ව අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත් දැරියගේ පියාගෙන් හා ඔහුගේ බාල සොහොයුරාගෙන් පොලිසිය දිගින් දිගටම ප‍්‍රශ්න කරන්නට වීය. පොලිස් ප‍්‍රශ්න කිරීම හමුවේ පොලිස් අත්අඩංගුවේ සිටි දැරියගේ පියා හා බාප්පා රණ්ඩු වන්නට වීය. දැරියගේ පියා මෙම සිදුවීමේ වගකීම සිය බාලසොහොයුරාගේ පිට තබද්දී බාල සොහොයුරා ද නොපිළිගනිමින් සියලූ චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන්ට වීය.

පැහැරගත් බව කී දැරියගේ පියාට පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ කට පියා සිටිය නොහැකි විය. ඔහු සියලූ විස්තර පොලිසිය හමුවේ වමාරන්නට විය. ”සර් මං මේ සියල්ල ප්ලෑන් කළේ බිරිඳට පාඩමක් උගන්වන්න හිතාගෙන සර්, බිරිඳ මා හා දරුවා දමා වෙන මිනිහෙක් එක්ක ගිහින්. ඇයව පොලිසියට ගෙන්වා ගන්න තමයි මං මේ බොරු පැමිණිල්ල කළේ. මගේ මල්ලි තමයි මේක මුහුණු පොතට දමලා මාධ්‍යයට තොරතුරු දීලා තියෙන්නේ. ඒ ගැන මං කිසිවක් දන්නේ නෑ මහත්තයෝ. දරුවා ඥාති නිවසක ඉන්නවා” යැයි එකින් එක වමාරන්නට වීය.

චූදිත පියා විසින් පළමුව 03 වන දින පෙරවරුවේ සිය දැරිය සූරියවැව ප‍්‍රදේශයේ ඥාති නිවසක නතර කර නිවසට පැමිණ 04 දින අලූයම 12.30ට පමණ පොලිසියට පැමිණ සිය දරුවා පැහැර ගත් බවට පැමිණිල්ල සිදුකර තිබේ. පැමිණිල්ල සිදුකිරීමෙන් පසු අලූයම යළි නිවසට ගිය පැමිණිලිකාර පියා උදෑසන දික්වැල්ල දොඩම්පහළ පදිංචි දැරියගේ මවගේ මාමා කෙනෙකුට දුරකතනයෙන් කතා කර දැරිය දින කිහිපයකට නිවසේ තබාගන්න පුළුවන්දැයි විමසා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ තමන් බෙහෙත් ගැනීම සඳහා හම්බන්තොට මහ රෝහලට පැමිණෙන බවත් එහිදී තමන්ට දරුවා ලබා දෙන ලෙසත්ය. ඒ අනුව සැකකාර පියා සියලූ දෙනාටම හොර රහසේ සූරියවැව ඥාති නිවසේ නවතා සිටි දැරිය හම්බන්තොට මහ රෝහල අසලට ගොස් ඥාතියාට දැරිය බාරදී දින කිහිපයකින් පැමිණෙන බව ද පවසා තිබේ.

ඒ අනුව වහා ක‍්‍රියාත්මක වූ සූරියවැව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දැරිය සඟවා තිබූ දික්වැල්ල දොඩම්පහළ ප‍්‍රදේශයට ගොස් පොලිස් ස්ථානයට රැගෙන ඒමට පියවර ගැනුණි. පියාගේ මෙම රංගනය හෙළිවීමත් සමග සිදුව ඇති වරදේ බරපතළකම චූදිතට වැටහී යන්නට වීය. ”අනේ සර් මං මේ සියල්ලම කළේ බිරිඳ පොලිසියට ගෙන්වා ගන්නයි. එහෙම නැතිව වෙන අපරාධයක් කරන්න හිතාගෙන නෙමෙයි” යැයි පොලිස් ස්ථානයේ සිට හඬා වැළපෙන්නට වීය.

බොරු පැමිණිල්ලක් සිදුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් දැරියගේ පියා හා බාප්පා සූරියවැව පොලිසිය විසින් 06 දින හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර දැරියද සුදුසු බාරකාරත්වයකට පත් කරන ලෙස ඉල්ලමින් මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය වෙංගප්පුලි මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් ආරියසේන මහතා සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප 04ක් මත නිදහස් කරන ලෙස නියෝග කෙරුණි. ඒ සැකකරුවන් අවස්ථාව ලද පළමු අවස්ථාවේදීම වරද පිළිගැනීම හේතුවෙනි. මීට අමතරව මීළඟ නඩු දිනය දක්වා දැරිය පියා බාරයේම රඳවා තබා ගන්නා ලෙසට ද නියෝග කෙරුණි. ගිනි අවි පෙන්වා සූරියවැවදි දැරියක් පැහැර ගත් බවට හම්බන්තොට දිස්ත‍්‍රික්කය පුරා පමණක් නොව මුළු ලංකාවේම අස්සක් මුල්ලක් නෑරම ප‍්‍රචාරය විමත් සමග එය ඇසූ ඇසූ අය දැඩි කම්පනයටත් සංවේගයටත් පත් විය. ඒ අන් කිසිවක් නොව මීට පෙර ද සේයා දැරිය පැහැර ගැනීම් ඇතුළු කුඩා ගැහැනු දරුවන් පැහැර ගැනීම් කෙළවර වී තිබුණේ ඉතා අවාසනාවන්ත ලෙසින් වීම නිසාය.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී රත්නවීර අඩස්සූරිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.ඒ.ඩබ්ලිව්. සුරවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ෂණ සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment