දැඩි ලෙස තර්ජනයට පත් රතමිල්ල බෙන්තර ගඟෙන් හමුවෙයි

852

ලෝකය පුරාවට කඩොලාන විශේෂ 54ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21ක් පමණ මෙම කුඩා සුන්දර දිවයින තුළ වාර්තා වේ. මෙම විශේෂ අතුරින් බෙහොහොමයක් විශේෂ රට වටා හොඳ ව්‍යාප්තියක් පෙන්වන අතර විශේෂ කිහිපයක් වියළි කලාපයට පමණක් සීමාවී ඇත.

දැඩි ලෙස තර්ජනයට පත් රතමිල්ල බෙන්තර ගඟෙන් හමුවෙයි

වාර්තාවන කඩොලාන විශේෂ අතුරින් රතුපුංකණ්ඩ (Ceriops decandra) සහ රතමිල්ල (Lumnitzera littorea) යන කඩොලාන දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇත. මේ අතරින් වඩාත්ම තර්ජනයට පත්වූ ශාකය වන්නේ රතමිල්ල වන අතර එයට හේතුව මෙම ශාකයේ ව්‍යාප්තිය මෙන්ම ගහණය ඉතා කුඩා වීමයි.

මෙම විශේෂය Combretaceae කුලයට අයත් අතර ජලාබුජ ප‍්‍රරෝහණය නොපෙන්වන කඩොලාන ශාකයකි. මෙම ශාකය ආසියාතික රටවල සහ උතුරුදිග ඕස්ටේ‍්‍රලියාවේ බහුලව හමු වූ නමුත් මේ වනවිට මිනිසාගේ විවිධ නොමනාකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇත. චීනය ඇතුළු ඉන්දු බටහිර පැසිපික් (Indo- West –Pacific) කලාපයේ මෙම ශාකය වඳවීමේ තර්ජනයට පත් ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ද මෙම ශාකය 1997 – 2012 සහ 2020 ජාතික රතු දත්ත වාර්තාවන්හි දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. මෙතෙක් කලක් මෙම ශාකය මාදුගඟට පමණක් සීමා වූ ශාකයක් ලෙස හඳුනාගත් අතර මේ වන විට මෙම ශාකය බෙන්තර ගඟ ආශ‍්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන් ද සොයාගැනීමට පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. මෙම කණ්ඩායම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ශිෂ්‍යයෙක් වන මධුශංක, කඩොලාන පර්යේෂකයෙකු මෙන්ම පරිසර අමාත්‍යාංශයේ සේවයේ නියුතු ආචාර්ය මනෝජ් ප‍්‍රසන්න සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය කිත්සිරි රණවන යන අයයි.

advertistmentadvertistment
advertistmentadvertistment