දිවයින පත්‍රයේ ලන්ඩන් ගිය බණ්ඩා දැයෙන් සමුගනී

130

මේ ලිපි පෙළ අවසාන කරන ලද්දේ ලන්ඩන් ගිය බණ්ඩා ඔබෙන් සමුගනී යනුවෙන් සටහන් කරමිනි. නැවත ලංකාවට පැමිණි සූරිය ගුණසේකර මහතා විවිධ මාතෘකා ඔස්සේ දිනපතා ‘දිවයින’ට සහ ‘ඉරිදා දිවයින’ට ලිපි සැපයූයේය. විශේෂයෙන්ම එවක රට පුරා ඇවිළී ගිය කොටි ත්‍රස්තවාදයට මුහුණ දෙමින් සිටි හමුදාවට පන්නරයක් විය හැකි දේශප්‍රේමය කුළු ගන්වන ලිපි මගින් මේ යුද්ධය පරාජය කළ හැකි යැයි යන මතය ජනතාව වෙත කා වැද්දීමටද දෙමළ නිජබිම් මිථ්‍යාව සුණු විසුණු කිරීමටද ගත් වෙහෙස අපමණය.

මෙයට හතළිස් එක් වසරකට ප්‍රථම නව ආරක පුවත්පතක් ලංකාවේ පාඨකයන් අතට පත් විය. 1982 පෙබරවාරි 04 වන දින නිදහස් දිනයේ දිවයින නමින් එම පුවත් පත එළි දැක්විණ. බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාවට නිදහසක් ලැබී වසර තිස්නවයක් සපිරෙන මොහොතක දිවයින පත්‍රය එළි දක්වන්නට හේතු වූ කාරණා කීපයක්ම තිබෙන්නට ඇත. මෙම යුගය 1970- 77 සවෘත ආර්ථික කළමනාකරණයෙන් මිදී විවෘත ආර්ථික ප්‍රතිපත්තියකින් රට හැසිරවීම සඳහා මුල්ගල් තැබූ අවස්ථාවකි. එවැනි මොහොතක උපාලි විජයවර්ධන වැනි ලෝ පතළ ව්‍යාපාරිකයෙකු අතින් පුවත් පතක් බිහිවීම අහම්බයක් ලෙසට නොදකිමි. ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලබමින් සිය ව්‍යාපාරික ක්ෂේත්‍රය ජගත් තලයේ පුළුල් කරමින් සිටි අවදියක දේශීය වශයෙන් ඇති වන විපර්යාසයන් දෙස සංකල්පීයව නොබලා දුර දක්නා නුවණින් ඔහු බලන්නට ඇතිවාට නිසැකය.

ශත දහයේ පත්තරය යනුවෙන් හැඳින්වූ සිළුමිණ පුවත්පත නිදහස ලැබෙන්නට ප්‍රථම කළ ශාස්ත්‍රීය කාර්ය භාරය නව ආරකින් ජනතාව අතට පත් කිරීම උපාලි විජයවර්ධන මහතාගේ අභිලාශය වන්නට ඇතිවාට නිසැකය. ඔහුගේ පරම්පරාවේ යුතුකමක් විලස එම කාර්ය භාරය වඩා තියුණු විලසකින් ඉටු කිරීම පිණිස සමත් කර්තෘ මණ්ඩලයක සේවයද ඔහු ලබා තිබුණි. දිවයින බැබළුණේ ප්‍රවෘත්ති පළ කිරීමෙන් පමණක් නොවේ. විශේෂයෙන්ම ශාස්ත්‍රීය අතිරේක නිසාවෙන් යයි සිතමි. අසූව දශකයේ ජාතික සටන් ඇවිලූ වේදිකාව වූයේ දිවයින ශාස්ත්‍රීය අතිරේකයයි. පණ්ඩිත සිරි තිලකසිරි මහතා ලියූ මෙවන් අරගල මෙරට සිදු විය නම් ලිපිපෙළ මාගම් තෙන්නකෝන් ඇන්. ටී. කරුණාතිලක වැනි ලේඛකයන්ගේ විවිධ අත්දැකීම් මෙම අතිරේකයේ ඉදිරිපත් වීමෙන් දිවයින ලද පිළිගැනීම අදටත් එලෙසම වලංගුය. නීතිඥ උභය වීරසිංහ මහතා සමග ඩී. ජී. හපුතන්ත්‍රී මහතා කළ පියවි ඇසින් නීතිය දෙස බැලීමක් නම් ලිපිය මානව හිමිකම් පොලිසිය හා නීතිය යන විෂයයන් පිළිබඳව ජනතාවගේ තේරුම් ගැනීම වෙනතකට හරවන්නක් විය. ඩී. ජී. හපුතන්ත්‍රී යනු හපුතන්ත්‍රී ගේ දොන් දයානන්ද ගුණසේකර මහතාය. වර්තමානයේ දී සෑම කෙනෙකුම ඔහු දැන සිටින්නේ ආචාර්ය සූරිය ගණසේකර යන නමිනි.

දිවයින පත්‍රයේ ලන්ඩන් ගිය බණ්ඩා දැයෙන් සමුගනී

ගුණසේකර මහතා දිවයින පත්‍රයේ මුල් කාලවකවානුවේ දී සිංහල වෛද්‍ය ක්‍රම කෘෂිකර්මය ආදී විෂයයන් ගැන කළ විග්‍රහයන් එකල ජාතික චින්තනයෙන් සවිමත් වන පරපුරට මහඟු මග පෙන්වීමක් විය. බොරුපන වෙදමහතා සමග කළ සංවාදය තුළින් සිංහල වෙකමේ අක්මුල් සෙවීමට ගත් ප්‍රයත්නය තුළින් රට පුරා විසිරී සිටි දේශීය වෛද්‍යවරුන් හට අභිමානයක් ඇති වූ බව නිසැකය. බිංගිරිය රාජමහා විහාරාධිපති හිමියන් වූ පූජ්‍ය මලගනේ අත්ථදස්සී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සමග කල ගුරුවරයෙක් නොවන ගුරුවරයෙකුගේ කතාව තුළින් ප්‍රකට වූයේ ගැමියන් ගුරුකම දකින ආකාරයයි. විශේෂයෙන්ම ගමට මග පෙන්වන ජාතියේ මුරදේවතාවන් වූ භික්ෂූන් වහන්සේ වෙතින් මතු කළ හැකි අගය කළ යුතු වටිනාකම් ඉස්මතු කරලීම එහිදී වැදගත් වන්නට ඇත. එසේම නිකවැරටියේ මුදියන්සේ තෙන්කෝන් නොහොත් අගමැති තෙන්නකෝන් මහතා සමග දේශීය ගැමි ඥානය ඉස්මතු කරලීමට ගත් උත්සාහය මෙරට ජාතික චින්තන සංවාදයේ මෑතකාලීන ප්‍රබෝධය ඇති කරලීමට අතිශයින්ම ඉවහල් විය. ගුණසේකර මහතා වසර හයක් එංගලන්ත සංචාරයක නිරත විය. ඔහුගේ භාර්යාව වෛද්‍යවරියක් වීමත් ඇය සේවය කරන ලද්දේ එංගලන්තයේ වීමත් මේ ගමනට හේතු විය. එංගලන්තය මහ දෙවොලකැයි සිතා සිටින ශ්‍රී ලාංකිකයන්ට ඒ දෙවොලේ තිර මෑත් කර සැබෑ දෙවියන් වැඩ සිටින්නේ කොතනකද යන්න මේ කාලය තුළදී ඔහු පෙන්වා දුන්නේය. ලන්ඩන් ගිය බණ්ඩා නම් මාතෘකාව යටතේ පළවූ ඒ ලිපි සමුච්චය රචනා කළේ සූරිය බණ්ඩාර නොහොත් ගුණසේකර මහතාය. ඒ ලිපි අතර වැදගත්ම ලිපියක් ලෙසට හැඳින්වීමට හැකි වූයේ ජාත්‍යන්තරය ඉදිරියේ දේශීයත්වය දණින් වැටිය යුතුද යන ලිපියයි. මේ ලිපි පෙළ අවසාන කරන ලද්දේ ලන්ඩන් ගිය බණ්ඩා ඔබෙන් සමුගනී යනුවෙන් සටහන් කරමිනි. නැවත ලංකාවට පැමිණි සූරිය ගුණසේකර මහතා විවිධ මාතෘකා ඔස්සේ දිනපතා ‘දිවයින’ට සහ ‘ඉරිදා දිවයින’ට ලිපි සැපයූයේය. විශේෂයෙන්ම එවක රට පුරා ඇවිළී ගිය කොටි ත්‍රස්තවාදයට මුහුණ දෙමින් සිටි හමුදාවට පන්නරයක් විය හැකි දේශප්‍රේමය කුළු ගන්වන ලිපි මගින් මේ යුද්ධය පරාජය කළ හැකි යැයි යන මතය ජනතාව වෙත කා වැද්දීමටද දෙමළ නිජබිම් මිථ්‍යාව සුණු විසුණු කිරීමටද ගත් වෙහෙස අපමණය.

1942 දී පිළියන්දල දී උපත ලද ගුණසේකර මහතා සිය තරුණ වියේ දී රජයේ ඉහළම විභාගයක් වූ සිවිල් සේවා විභාගයට ඉදිරිපත්ව සමත් වී ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරියෙකු විය. අගලවත්තේ ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරිවරයා වශයෙන් සේවය කරන සමයේ එවක ප්‍රකට ඇමැති වරයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ළඟින්ම ඇසුරු කරලීමට ඔහුට හැකි විය. සිලෝන් නැතිනම් සිංහලේ යනුවෙන් හැඳින්වූ රට ශ්‍රී ලංකාව කළේ මන්දැයි ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතා දිනක් මහපාරේ කොටයක් උඩ වාඩිවී කතාබස් කරමින් සිටි මොහොතක පැවසූ හැටි ගුණසේකර මහතා රස කරමින් නිතරම අන් අයට මතක් කර දෙයි. එකල දිවයින පත්‍රයට ලිපි සැපයීමේ දී ඔහු ගේ අදිටන වූ වූයේ පාඨකයාගේ රස උද්දීපනය කිරීමයි. හුදෙක් ශාස්ත්‍රීය කරුණු මත පමණක් පිහිටා නීරස ලේඛනයක් ඉදිරිපත් කරලීම වෙනුවට නැවත නැවත කියවා රස බැලීමට හැකි ලේඛනයක් සැම විටම ඔහු ඉදිරිපත් කළ බව මතකයට නැගේ. ලන්ඩන් ගිය බණ්ඩා ලිපි පෙළ ඊට කදිම උදාහරණයකි. දිවයිනේ පළවූ සංවර්ධන ලිපි කීපිය ගොනුකොට කළ සංවර්ධන ඇදිහිල්ල කෘතිය මෙන්ම මෙරට ඉතිහාසයේ විවිධ පැතිකඩ පිළිබඳ නවමු අදහස් ඉදිරිපත් කරමින් පාඨක ලෝකයේ ආන්දෝලනාත්මක කුතුහලයන් ඇති කිරීමට පසු කාලීනව ග්‍රන්ථ කීපයක්ම පළ කරන ලද්දේය. සිය ශාස්ත්‍රීය සේවයද සමාජ සේවයද ජාතික මෙහෙවරද නිමා කරමින් ආචාර්ය සූරිය ගුණසේකර මහතා 2023 ඔක්තෝබර් 08 දින අපෙන් සමුගෙන ගියේ සිය උපන් දිනයට දින දහයක් ඉතිරි කර තබමිනි. දිවයින පත්‍රයේ ජනප්‍රියතම ලේඛකයෙක් වූ විශාල තරුණ කැළකට මග පෙන්වූ ජාතිය පුබුදු කළ ආචාර්ය සූර්ය ගුණසේකර මහකාට අමා මහ නිවන් සුව පතමි.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment