සමාජ අපරාධ සහ කාම යෝගය

711

එක්තරා කුමරෙක් දිසාපාමොක් ඇදුරු සමීපයට ගොස් ශිල්ප හදාරා නිම වී නිවසට පැමිණෙයි. නිවසට පැමිණි ඔහුගෙන් අසාතමන්ත්‍රය ඉගෙන ගත්තේ දැයි විමසයි. එවිට එවැන්නක් නූගත් බව පවසයි. එසේනම් යළිත් ගුරු ගෙදරට ගොස් එය ද ඉගෙන ගෙන එන මෙන් දක්වයි. කුමරා ද ගුරු ගෙදරට ගොස් තම මව අසාතමන්ත්‍රය ඉගෙන ගෙන එන ලෙස දැන් වූ බව ගුරුවරයාට දැන්වීය. දිසාපාමොක් ආචාර්යවරයා මවගේ පණිවුඩය අවබෝධ කර ගෙන එම කුමරු බාර ගත්තේ ය. ගුරුවරයාගේ මව වයෝවෘද්ධය, අන්ධය, ඈට කවමින් පොවමින්, නාවමින් ඇප උපස්ථාන කළේ දිසාපා‍මොක් ආචාර්යවරයා ය. එතැන් පටන් දිසාපාමොක් ඇදුරු මෙම තරුණ කුමරුට තම වයෝවෘද්ධ අන්ධ මවගේ කටයුතු භාර කරයි. එම කුමරුද එතැන් පටන් ඒ වයෝවෘද්ධ අන්ධ කාන්තාව නාවයි. මුව සෝදවයි. අත පය පිරි මදියි. තෙල් ගල්වයි. ආහාර පාන කවයි. පොවයි. මෙසේ ඇප උපස්ථාන කරන විට එම කාන්තාව සිතනුයේ මේ කුමරුවා තමන්ගෙන් කුමක් හෝ අපේක්ෂා කරන බවයි. ගුරුතුමා කුමරුට මව කියන කරන දේ තමන්ට පවසන ලෙස දන්වා තිබුණි. දිනක් මෙම කාන්තාව තමන්ගෙන් කුමක් හෝ බලාපොරොත්තු වන්නේ දැයි කුමරුගෙන් විමසීය. කුමරු එය ගුරුවරයාට දැන්වීය. ගුරුවරයා ඒ අසා බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන්නට කුමරුට කී ය. කුමරු කාන්තාවට එසේ කියයි. කාන්තාව ද එසේනම් එය ලබා ගන්නා ලෙස කුමරුට කියයි. ගුරුවරයා නිසා එය කළ නොහැකි බව කුමරු කියයි. එසේනම් ගුරුවරයා මරන්න කාන්තාව කියයි. එය තමන්ට කළ නොහැකි බව කුමරු කියයි. එවිට එසේනම් එය තමන් කරන බව කාන්තාව කියයි. ඒ සඳහා තමන්ගේ සයනයේ සිට ගුරුවරයාගේ සයනය දක්වා ලණුවක් අදින ලෙසත්, තමන්ට හොඳ මුවහත් පොරොවක් ලබා දෙන ලෙසත් දක්වයි. කුමරු මේ සියල්ල විටින් විට ගුරුවරයාට කියයි. ගුරුවරයා හා සිසුවා එක්ව මෙම කාන්තාවට පොරොවක් දී සයන දෙක අතර ලණුවක් ඇද කාන්තාවට ඒ අනුව ගොස් තම පුතා වන ගුරුවරයා මරණ ලෙස දක්වයි. කාන්තාව ද එසේ ගොස් ගුරුවරයාට පහර දෙයි. ගුරුවරයාගේ සයනයෙහි ගුරුවරයා වෙනුවට කොටයක් තබා ඇත. පොරෝ පහර කොටයට වදින විට කාන්තාව පියවි සිහියට එයි. කාමයෙන් මුස පත් වූ කල තම පුතු පවා මරා දමන්නට සූදානම් බව මෙයින් අදහස් කරයි. කාම සේවනයෙහි ඇති දුෂ්ට ස්වභාවය අසාත මන්ත්‍රය බව අසාතමන්ත ජාතකයෙහි දක්වයි.

ස්ත්‍රියකට පුරුෂ රූපය, ශබ්දය, ගන්ධය, රස, ස්පර්ශය තරම් උසස් දෙයක් නොමැති බවත් පුරුෂයාට ද ස්ත්‍රී රූපය, ශබ්දය ගන්ධය, රස, ස්පර්ශය මේ අයුරින්ම උසස් බවත් බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායෙහි දී දක්වයි. මේ නිසාම කාමය තුළින් ලොව අන්ධව පවතී. මේ පෘථග්ජන අන්ධභාවය වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙයි. අවුරුදු විසිනවයක විවාහ දෙකක් කර ගත් අයෙක් අවුරුදු දහසයක දරුවෙකු සමග හෝටලයට ගොස් ඈ හා මත්පැන් බී නටයි. ඇය ඒ හෝටලය තුළින් වැටී හෝ පැන හෝ තල්ලු‍ කොට හෝ මරණයට පත් වෙයි. බාහිර පන්ති ගුරුවරයෙකු පාසල් සිසුන් දහසයක් දූෂණය කර ඇත. මෙවැනි ප්‍රවෘත්තිය පසුගිය දිනවල අසන්නට ලැබුණි. ස්ත්‍රී දූෂණ ළමා අපචාර පමණක් නොව සාහසික මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, සොරකම් ආදි විවිධ වූ සමාජ අපරාධයන්ට මූළය වන්නේ මිනිසුන්ගේ නොතිත් කාමාශාවන් ය. මිනිසුන් ආශාවේ දාසයන්ව වෙසෙයි. මෙවැනි සිද්ධි විටින් විට සිදු වෙයි. මේවට හේතුව වන්නේ මෙම අසාතමන්ත්‍රය නොදැනීමයි. වර්තමාන සමාජයට ද මෙම අසාතමන්ත්‍රය දැන ගැනීම වැදගත් වේ.

සමාජය තුළ පාපය ගොඩ නගන යෝග හතරක් පවතින බව අංගුත්තර නිකායේ චතුත්ත නිපාතයෙහි භණ්ඩගාම වර්ගයෙහි යෝග සූත්‍රය තුළ දක්නට ලැබෙයි. එහි යෝග හතරක් දක්වයි. ඒ කාම (කම්සැප විදීමෙහි ඇලීම) භව යෝග (භවයන් ප්‍රාර්ථනා කිරීම) දිට්ඨි යෝගය (මිථ්‍යා දෘෂ්ටියෙන් කටයුතු කිරීම. අවිද්‍යා යෝගය (අවිද්‍යාවෙන් කටයුතු කිරීම. මෙම යෝගයන්ගේ උපත, බිඳීම, මිහිර, දෝෂ, අතහැරීම ඒ ඒ වු ආකාරයෙන් වටහා නොගත් කල ඔහුට ඒ ඒ යෝගය පිළිබදව රාගයක්, ඇලීමක්, ස්නේහයක්, මූර්ජාවීමක්, පිපාසාවක්, දැවිල්ලක්, බැස ගැනීමක්, තෘෂ්ණාවක් ඇති වෙයි. මෙම රාගය, ඇලීම, ස්නේහය, මූර්ජාවීම, පිපාසාව, දැවිල්ල, බැස ගැනීම,තෘෂ්ණාව නිසා පුද්ගලයාගේ සිත දූෂ්‍ය වෙයි. එම දූෂ්‍ය වූ සිත මිනිසා පාපයට යොමු කරයි. ඒ නිසා පුද්ගල ක්‍රියාකාරකම්, වචන සිතුවිලි තමන්ටත් සමාජයටත් හානි කර දායීව උපදියි. මෙම යෝගයන්ගේ උපත දන්නවා නම්, බිඳීම දන්නවාවානම්, මිහිර දන්නවානම්, දෝෂ දන්නවානම්, අතහැරීම දන්නවානම් ඒ පිළිබදව යථාර්ථය දකියි. කාමය, භවය, දෘෂ්ටිය, අවිද්‍යාව යන මේවා අනිත්‍ය බව දකියි. අස්ථිර බව දකියි.හිස් පව දකියි. දුක බව දකියි. පිළිකුල් සහගත බව දකියි. එය තමා අයත්කොට සැලකුවක් මම මගේ ආකල්ප ගොඩ නගා ගත්ත ද ඒවා මම නොවෙමි, මගේ නොවෙමි, ඒවා මගේනම් මේ අයුරින් සිදු නොවන බව දකියි. මේ යථාර්ථ දැක්මත් සමග ඒ කෙරෙහි රාගය, ඇලීම, ස්නේහය, මූර්ජාවීම, පිපාසාව, දැවිල්ල, බැස ගැනීම, තෘෂ්ණාව ඇති නොවෙයි. එසේ වූ කල පුද්ගලයා පාපකාරී ක්‍රියාවන්හි නො යෙදෙයි.විසංයෝගය ඇති කර ගත් කළ සමාජය යහපත් වෙයි.පාපයෙන් බැහැරව සදාචාරයෙන් යුක්ත සමාජයක් බිහි වෙයි.

ඌවේ සියම් මහා නිකයේ මහා ලේඛකාධිකාරි, විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment