දිවි පරදුවට තබා කොල්ලකරුවන් මෙල්ල කර මංකොල්ලය වැළකූ තඹුත්තේගම වීරයා ‘දිවයින’ට කතා කරයි

967

බැංකුව ළඟ මෝටර් රථයක් අසල බිම වැටී තිබූ මුදල
අයකු අහුලනු දැකීමෙන් කොල්ලයක් බව සැණෙන් වැටහුණා
තුවක්කුවක් අතැතිව සිටි කොල්ලකරුට පළමුව පහර දී ඔහු බිම දමා දෙදෙනාම අල්ලා ගත්තා

බැංකුව අසල මෝටර් රථයක් ළඟ බෑගයක් අතැතිව සිටි අයකු බිම තිබූ මුදල් කොල රැසක් අහුලමින් සිටිනු මම දැක්කා. එතැන මුදල් කොල්ලයක් සිදුවන බව හඳුනාගත් නිසා හනික එතැනට මම කඩාවැදුණා. වහා පතුරන් තුවක්කුවක් අතැතිව සිටි පුද්ගලයාට ප්‍රබල පහරක් එල්ල කර බිම දැමුවා යැයි පෙරේදා 26 වැනි දින තඹුත්තේගම සම්පත් බැංකුව අසල සිදු වූ රුපියල් ලක්‍ෂ 223 ක මුදල් මංකොල්ලය මැඬලීම සම්බන්ධව ජීවිත තර්ජනය නොතකා ඒ සඳහා ඉදිරිපත් වූ පොලිස් සැරයන් 42313 බුද්ධික කුමාර මහතා තම අත්දැකීම අපට විස්තර කළේය. ඔහු මෙසේද කීය.

දිවි පරදුවට තබා කොල්ලකරුවන් මෙල්ල කර මංකොල්ලය වැළකූ තඹුත්තේගම වීරයා ‘දිවයින’ට කතා කරයි

තඹුත්තේගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් 42313 බුද්ධික කුමාර වන මා 26 වැනිදා තඹුත්තේගම පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් සිටියදී මගේ යතුරුපැදියට ඉන්ධන ලබාගැනීම සඳහා තඹුත්තේගම ඉන්ධනහලට ගොස් ඉන්ධන ලබා ගෙන නැවත පොලිස් ස්ථානය කරා එන ගමන් තඹුත්තේගම මූලික රෝහලට හැරෙන මංසන්ධියේදී මා දුටුවා තඹුත්තේගම සම්පත් බැංකුව අසල දී කාරයක් අසල බෑගයක් අතැතිව ඇති අයකු කාරය අසල මුදල් කොල රැසක් අහුලමින් දඟළමින් සිටිනවා. වැඩිදුරටත් සොයා බැලීමේදී තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ගුණවර්ධන ස්ටෝර්ස්හි අධිපති ලසන්ත ගුණවර්ධන මහතාගේ අතේ තිබූ බෑගය යමකු ඇද දමමින් දඟලනවා දුටුවා. මට විගස වැටහී ගියා මෙහි මුදල් කොල්ලයක් සිදුවන බව. මා මගේ යතුරුපැදිය පසෙක දමා එදෙසට ගියා. මොහොතකින් මුදල් යැයි සැකකරන බෑගය සමඟ යමකු තවත් අයකු සමඟ යතුරුපැදියෙන් පිටවී යෑමට උත්සාහ කළා. මා දුටුවා එක් පුද්ගලයකු අතැතිව කෙටි පතුරන් තුවක්කුවක් තිබුණා. මට කර කියා ගැනීමට වෙනත් දෙයක් නොවූයෙන් ජීවිත තර්ජනය ද නොතකා පලා යෑමට තැත් කළ යතුරුපැදිය උපක්‍රමශීලීව පෙරළා දැමුවා. ඒ ගමන්ම මගේ ජීවිතයට තර්ජනය තිබියදීත් පතුරන් තුවක්කුව අතැති පුද්ගලයාට ප්‍රබල පහරක් එල්ල කොට තුවක්කුව මා භාරයට ගත්තා. එමගින් මගේ ආරක්‍ෂාවට ඔහුට පහරවල් කීපයක් එල්ල කොට ඔහු බිම හෙළුවා. ඒ සමඟම අනිත් පුද්ගලයා ද මගේ භාරයට ගැනීමට හැකි වුණා. මේ සම්බන්ධව අවට ප්‍රදේශවාසීන් සහ මාද පොලිසියට දැනුම් දී මගේ සහායට පොලිස් නිලධාරීන් ගෙන්වා ගත්තා. යතුරුපැදිය පණගන්වා යෑමට උත්සාහ කිරීමේදී බිම වැටුණ පුද්ගලයා ළඟ තිබූ මුදල් බෑගය මා බැංකුව තුළ සිටිය නිලධාරීන්ට ආරක්‍ෂාව සඳහා භාර දුන්නා යැයි ද පැවසීය.

තඹුත්තේගම – සී. එම්. ආරියපාල

advertistmentadvertistment
advertistmentadvertistment