දිවි රඟමඬලින් බැස ගිය ගෝරිං මුදලාලිගේ සගයා

659

ආචාර්ය ඩී. බී. නිහාල් සිංහයන් සිනමාවට දායාද කළ ‘වැලිකතර’ චිත්‍රපටයේ ගෝරිං මුදලාලි ලෙස රංගධර ජෝ අබේවික්‍රමයනුත්, සහකාර පොලිස් අධිකාරි ලෙස සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත් කළ විශිෂ්ට වූ රඟපෑම් අප මතකයට එද්දී ‘වැලිකතර’ හි එදා රඟපෑ ඔහු පිළිබඳවද අපට සිහිපත් වෙයි. ගෝරිං මුදලාලි ගේ සගයා ලෙස වැලිකතරේ ඔහු යන එන හැම තැනකම ගිය හෙතම ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රමයි.

ගාල්ල, හීනටිගල උපන් බුද්ධි වික්‍රමගේ සම්පූර්ණ නම බුද්ධිසේන දයාරත්න වික්‍රමය. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ බුද්ධි වික්‍රම ජී. ඩී. එල්. පෙරේරා ගේ කලා පෙළ පාඨමාලාවටත් ධම්ම ජාගොඩ රංගන ශිල්පී ශාලිකා පාඨමාලාවටත් තවත් විදේශීය නාට්‍යකරුවන් වරින් වර එකල මෙරට පැවැත්වූ රංගන වැඩමුළුවලටත් මහත් අභිරුචියකින් සහභාගි වී රංගනය හැදෑරුවෙකි.

දිවි රඟමඬලින් බැස ගිය ගෝරිං මුදලාලිගේ සගයා

ජී. ඩී. එල්. එදා වේදිකාවට ගෙන ආ මඟුල් මතය නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණි. මනරංජන වැඩ වර්ජන, කොටබරි යුද්දේ, දූවිලි ශ්‍රී වික්‍රම, තොටුපළ ආදී වේදිකා නාට්‍ය රැසක රඟපෑ බුද්ධි සිනමාවට පිවිසියේ 1965 තිරගතවූ ජී. ඩී. එල්. අධ්‍යක්‍ෂණය කළ සාමා චිත්‍රපටයෙනි. වැලිකතර, ටයිටස් තොටවත්තගේ හාරලක්‍ෂය, සාරංගා, අන්තිම රැය ආදී චිත්‍රපට ගණනාවකද රඟපෑ බුද්ධි එක මවකගේ දරුවෝ, කුමාරිහාමි, දූ දරුවෝ, අඹ යහළුවෝ, තාරාදේවී, ගම්පෙරළිය, සුසීමා ආදී ටෙලි නාට්‍ය රාශියක ද ප්‍රේම් ගිෆ්ට්, වෝටර් ආදී ඉංග්‍රීසි චිත්‍රපටවලද “ගුඩ් මැරෙජ්” ප්‍රංශ චිත්‍රපටයේත් රඟපෑවේය.

දිවි රඟමඬලින් බැස ගිය ගෝරිං මුදලාලිගේ සගයා

බුද්ධි වික්‍රම ඉකුත් දිනෙක අපට හමුවූ මොහොතක ඔහු සමග පිළිසඳරක යෙදෙන්නට අපට ඉඩහසර ලැබිණි.

වැලිකතර චිත්‍රපටය පිළිබඳ මතකය සිහි ගන්වමින් කතාබහට එක්වූ හෙතෙම සිනමාවට දායක වූ අග්‍රගන්‍ය සිනමාවේදී ඩී. බී. නිහාල්සිංහ මහත්මයා වැලිකතර රූගත කරපු වකවානුව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. වැලිකතර ජවනිකා මෙරට උතුරු පළාතෙත් දකුණේ ගාල්ලෙත්, කොළඹ, ගල්කිස්ස ප්‍රදේශවලත් රූගත වුණා. අපේ රටේ මහා නළුවන් දෙදෙනා අතර රංගනයේ තියුණු තරගයක් දැක්ක චිත්‍රපටය හැටියට වැලිකතර හැඳින්විය හැකිය. ගාමිණී සහ ජෝ කළ ඒ තියුණු රඟපෑම් සදාකාලික වටිනාකමක් අපේ සිනමා තිරයට එක් කළා. නිහාල්සිංහ මහත්මයා සිනමාස්කෝප් කැමරාව කර උඩ තියාගෙන වැලිකතර රූගත කළා. වැලිකතර අද වුව නැරඹුවහොත් එහි ප්‍රබල වූ කැමරාකරණය දකින්නට පුළුවන්. වැලිකතර චිත්‍රපටයේ ‘ගෝරිං මුදලාලි’ ගේ සගයා ලෙසයි මම රඟපෑවේ.

දිවි රඟමඬලින් බැස ගිය ගෝරිං මුදලාලිගේ සගයා

ටයිටස් තොටවත්ත මහත්මයාගේ ‘හාර ලක්‍ෂය’ චිත්‍රපටය මට කවදාවත් අමතක කරන්න බැහැ. එහි කෙටි කාලයක චරිතයක් වුවත් විශාල අවධානයක් මා කෙරෙහි යොමුවන්නට එය හේතු වුණා. හාරලක්‍ෂයට පසුබිම් වුණේ ට්‍රර්ප් ක්ලබ් මංකොල්ලයයි. මේ කොල්ලයේ පළමුව පඩි සල්ලි කොල්ලයක් සිදුවුණා. එහිදී එක් අයෙකු මියගියා. ඒත් කොල්ලය වැරදුණා. සල්ලි බෑගය කොල්ලකෑවේ මම. එදා එහි සල්ලි බෑගය වෙනුවට තිබුණේ තක්කාලි බෑගයක්. තක්කාලි බෑගය තමයි සල්ලි බෑගය කියල මම රැගෙන ගොස් තිබුණේ. ඊට පසුවයි දෙවන වරට හාරලක්‍ෂය කොල්ලකන කොල්ලය සිදුවුණේ. එය සාර්ථක වුණා. සත්‍ය සිදුවීම් පෙළක් එම සිද්ධි වූ ස්ථානවලදීම රූගත වුණා. එදා චිත්‍රපටයක දර්ශන තල විශ්වවිiාල වගේ. අලුත් පරපුරකට ඉගෙන ගන්න ගොඩක් දේ එතැන තිබුණා. අපිට සරසවියක් වුණේ එම දර්ශන තලයි. ඒත් අද අලුත් පරපුරට එහෙම ඉගෙන ගන්න පසුබිමක් තිබෙනවාද? උනන්දුවක් තිබෙනවාද කියන එකත් ප්‍රශ්නයක්.

ජී. ඩී. එල්. පෙරේරා මහත්යා ‘සාමා’ චිත්‍රපටය, රේඛාව වගේ එළිමහනේ රූපගත කළේ. එදා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයත් ඇවිත් අපිව ධෛර්යමත් කරමින් කරපු නිරහංකර කැපවීම මේ මොහොතේ සිහිපත් වෙනවා.

දිවි රඟමඬලින් බැස ගිය ගෝරිං මුදලාලිගේ සගයා

සිනමාවේ යුග කිහිපයක සිනමාකරුවන් හා රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සමග කටයුතු කිරීමේ භාග්‍යය බුද්ධි වික්‍රමයන්ට ලැබිණි. විජය කුමාරතුංග රඟපෑ මුල්ම චිත්‍රපට අතර එන රෝමියෝ ජුලියට් හි මම රඟපෑවා. ඩග්ලස් රණසිංහත් එහි රංගනයක නිරත වුණා.

‘අන්තිම රැය’ චිත්‍රපටයේ ගංජා හේන බලාගන්නා පුද්ගලයකු ලෙස ගාමිණී ෆොන්සේකාගේ විශිෂ්ට අධ්‍යක්‍ෂණය යටතේ මම රඟපෑවා. මෙම චරිතයේ හැටියට අන්තිමේ මාව ඝාතනය වෙනවා.

චිත්‍රපට මෙන්ම වේදිකා නාට්‍ය 15 කට වැඩි සංඛ්‍යාවක මට රඟපාන්න ලැබුණා. මගේ අතීතය ගැන මම අවංකවම සතුටු වෙනවා. මෑතකදී බුද්ධි වික්‍රම රෝගාතුරව බයිපාස් සැත්කමකට මුහුණ දුන්නේය. මෙහිදී මගේ ජීවිතය බේරාදුන්න වෛද්‍යවරු සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලය වගේම තවත් උතුම් පුද්ගලයකු අමතක කරන්න බැහැ. ඒ ජයන්ත ධර්මදාස මහත්මයායි. එතුමා සිනෙස්ටාර් පදනම යටතේ ඇරඹූ රක්‍ෂණයෙන් රුපියල් ලක්‍ෂයක ප්‍රදානයක් මට ලැබුණා. ඊටත් වඩා ගොඩක් උපකාර මට ලබාදුන්නා. දෙවි කෙනෙක් වගේ එතුමා කලාකරුවන්ට දෙන මහා ශක්තිය කෘතවේදීව සිහිපත් කරනවා. එතුමාට එහෙම දේවල් කරන්න වුවමනාවක් තිබෙන එක කලාකරුවන්ගේම වාසනාවක්.

බුද්ධි වික්‍රම අද සිනමා තිරය තුළ දක්නට නැත. ඒ ගැන ඔහු පැවසුවේ මෙවන් දුක්බර වදනකි. අද පරපුර අපෙන් ඵලක් නොගැනීම ගැන ඇත්තේ කනගාටුවක්. අද සිනමාව තුළ ජ්‍යෙෂ්ඨ හා අත්දැකීම් බහුල ශිල්පීන්ට තිබෙන අවස්ථා විරලවීමත් දුකක්. ඒත් කවුරුන් හෝ ඉල්ලීමක් කළොත් මම හැකි උපරිම සහය දෙනවා යනුවෙනි. අද පරපුරට දෙන අවවාදය ගැන මම බුද්ධි වික්‍රමයන්ගෙන් ඇසූවිට පැවසුවේ මම මුලින් කිව්වා වගේ රඟපෑම භාවනාවක් වගේ දෙයක්. චරිතයකට පිවිසෙන විට ඊට වඩා හොඳට ඊළඟ නිර්මාණයකදී රඟපාන්න හිතන්න ඕනෑ. චිත්‍රපට නැරැඹීම විතරක් නෙවෙයි කියවීම, හැදෑරීමටත් හැකි අන්දමින් උනන්දු වෙන්න ඕනෑ.

පෙරේදා දිවි ගමනට සමුදුන් බුද්ධි වික්‍රම රංගවේදියාගේ අවසන් කටයුතු ඊයේ (6 දා) සවස සිදු කෙරිණි. ඔහු කුෂ්ලානි වික්‍රම දියණියගේ පියාණන්ද විය. බුද්ධි වික්‍රමයන්ට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment