දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් කරන සංවර්ධන හා සුබසාධන සම්බන්ධ යෝජනා ජනවාරි 31ට පෙර ලබාදෙන්න – අගමැති දිනේෂ් ගුණවර්ධන

44

මෙම වසරේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් සිදුකෙරෙන සංවර්ධන හා සුබසාධන කටයුතු සම්බන්ධ යෝජනා මෙම මස 31 වැනිදාට වන විට ලබාගැනීමේ කටයුතු අවසන් කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 11දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඇතුළු පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් සහභාගී වූහ.

එහිදී අගමැතිවරයා සියලුම ආණ්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේ මෙම වැඩ පිළිවෙළ ජූලි මස 31 වැනිදාට පෙර අවසන් කළ යුතු බවයි.

එම වැඩපිළිවෙළ අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් විශේෂ කැබිනට් අනුකමිටුවක්ද පත්කර තිබේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි යන ඇමතිවරුන් හා රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

මෙම සංවර්ධන හා සුබසාධන වැඩපිළිවෙල සඳහා වෙන්ව ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,250කි. කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 1,090, ගම්පහ 1,033,කලුතර 574, මහනුවර 689, මාතලේ 287, නුවරඑළිය 460, ගාල්ල 516, මාතර 402, හම්බන්තොට 402, යාපනය 322, කිළිනොච්චිය 80, වව්නියාව 115, මන්නාරම 115, මුලතිව් 115, මඩකලපුව 287, අම්පාර 402, ත්‍රිකුණාමලය 230, කුරුණෑගල 860, පුත්තලම 459, අනුරාධපුරය 517, පොලොන්නරුව 287, බදුල්ල 516, මොනරාගල 344, රත්නපුරය 631, කෑගල්ල 517 වශයෙන් එම මුදල් වෙන්ව ඇත.

පළාත් පාලන ආයතන ප්‍රතිපාදන, පළාත් සභා ප්‍රතිපාදන, මධ්‍යම රජයේ අරමුදල් වශයෙන් එම මුදල් වෙන්කෙරේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ සියලුම දිස්ත්‍රික්කවලට සංවර්ධන කටයුතු සමානව සිදුකිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. භූමිය හා ජනජීවිතය සංවර්ධනය කිරීමේ කටයුතු බාධාවලින් තොරව සිදුකිරීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මීට වසර දෙකකට පෙර රට දැඩි ආර්ථික අවධානමකට මුහුණ දී තිබුණි. අගමැතිවරයා පවසන්නේ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් මේ වනවිට රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙන බවයි. එබැවින් එම ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන ගොස් රජයේ සංවර්ධන ඉලක්කය ජය ගැනීමට සියලුමදෙනා තවදුරටත් කැපවී කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී බස්නාහිර පළාත වැඩි බරක් දැරීමට සිදුවන බවද අගමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් සඳහන් කළේ සංවර්ධන කමිටුවලට මුදල් වෙන්කිරීමෙන් සංවර්ධන කටයුතු සඳහා තමන්ට මුදල් නොලැබෙන බවට විපක්ෂය දැනටමත් චෝදනා කර තිබෙන බවයි. එහෙත් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට සහභාගීවී සංවර්ධන යෝජනා ඉදිරිපත් කිරීමෙන් පක්ෂ විපක්ෂ සියලුම දෙනාට අදාළ මුදල් ලබාගත හැකි බවද සඳහන් කළේය.

මේ වනවිට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන බැවින් එම ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබූ සංවර්ධන ව්‍යාපෘතිද මෙම වැඩපිළිවෙළටම අනුගත වන බවද කීවේය. දැනට මෙහි නියාමන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කර තිබෙන බවද ඇමතිවරයා මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment