දෙවසරකට පසුව සත් සාමාජික රග්බි කෙළි බිම හෙට සිට සක්‍රීය වෙයි

79

රග්බි දක්ෂයන්ගේ හැකියාවන් උරගා බැලෙන අන්තර් සමාජ සත් සාමාජික පිරිමි සහ කාන්තා රග්බි පාපන්දු තරගාවලිය හෙට (08 දා) සහ අනිද්දා (09දා) කොළඹ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පියවර ගෙන තිබේ.

ගෝලීය වසංගතයක් බවට පරිවර්තනය වී තිබුණු කොවිඩ් – 19 ව්‍යසනයෙන් අනතුරුව මෙරට සත් සාමාජික රග්බි තරග මාලාවක් ක්‍රියාත්මක වන්නේ දෙවසරකට පසු වීම ද විශේෂත්වයකි.

දේශීය කෙළිබිම තුළ ඉදිරියෙන් පසු වන සියලුම ක්‍රීඩා සමාජ මෙන්ම ත්‍රිවිධ හමුදා කණ්ඩායම් මෙවර තරගාවලියට එක්ව සිටීම හේතුවෙන් ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන මූලික වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙණ අවසාන වටය දක්වාම අතිශය තියුණු හා උණුසුම් මුහුණුවරක් පවතිනු ඇතැයි අනුමාන කළ හැකිය.

ශ්‍රී ලංකා රග්බි සම්මේලන සභාපති රිස්වි ඉල්ලියාස් මහතා මෙන්ම ලේකම් නිසාම් ජමාල්ඩීන් මහතා ඇතුළු කමිටුවක් විසින් සංවිධානය කර ඇති මෙවර තරගාවලිය නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුව සිටී.

මෙම වසරේ මුල් භාගය තුළ ක්‍රියාත්මක කරන ලද ලීග් තරගාවලිය ආශ්‍රිතව ශූරතාව තහවුරු කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි විය.

ඉන් අනතුරුව දේශීය රග්බි පිටියේ අන්තර් සමාජ මට්ටමින් තරගාවලියක් දක්නට නොලැබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තරගාවලියත් සමගින් රග්බි කෙළි බිමට නව ජවයක් එක්වණු ඇතැයි අනුමාන කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment