දේශපාලන වැසිකිළිය සහ වැසිකිළි දේශපාලනය

1394

(මහ බැංකුව ගැන අදහසක්)

පවුල යනු දේශපාලන ඒකකයක් බව කාල් මාක්ස් කියා තිබේ. ග්‍රීක දාර්ශනිකයකු වූ ප්ලේටෝගේ මතය ද මෙයම විය. ශිෂ්ටාචාරයට පැමිණි මනුෂ්‍යයා ක්‍රමානුකූල ලෙස සංස්ථාපිත ජීවිතයක් ගතකරන්නට පටන්ගත් සමයේ සිටම ඔහු කෙරෙන් දේශපාලනික ලක්‍ෂණ මතුවිය. මෙහිදී අප දේශපාලනය ලෙස හඳුන්වන්නේ ඡන්දය ඉල්ලන්නට යෑම හෝ ඡන්දය දීමට යෑම නොවේ. පවුල තුළ බලය තහවුරුකර ගැනීමටත් ස්වකීය ප්‍රජාව අතර තැනක් ලබාගැනීමටත් මනුෂ්‍යයා විසින් කටයුතු කරන ආකාරය එකල දේශපාලනය ලෙස හැඳින්වීමට පුළුවන. එබැවින් දේශපාලනය මනුෂ්‍යයාගේ ජීවිත තුළින් බැහැර කළ හැකි නොවේ. අද වනවිට මේ කියන දේශපාලනය වැසිකිළිය ද ඇතුළුව සෑම තැනකටම රිංගා ඇත. මහ බැංකුව දේශපාලනීකරණය කිරීමෙන් වැළකී සිටින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පසුගියදා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. අද අපගේ කතුවැකිය එකී ඉල්ලීම සම්බන්ධයෙන් වැයකරනු ලැබේ.දේශපාලනය මූලික වශයෙන් අපගේ ඇඟ තුළ ඇතත් එය රජයේ ආයතන වෙත ගෙනයෑමෙන් විශාල ඇබැද්දියක් හටගනී. විශේෂයෙන් රටේ ආර්ථිකයේ කේන්ද්‍ර කොටගත් මහ බැංකු වැනි ආයතනයක් බලයේ පවතින ආණ්ඩුවේ ගොට්ටන් විසින් පාලනය කරනු ලැබුවොත් එමගින් රටට සම්පූර්ණයෙන් කෙලවී යයි. උදාහරණයක් වශයෙන් ඇමරිකන් ඩොලරය රු. 200 ත් 203 ත් අතර පවත්වාගෙන යෑම සඳහා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ කිහිප දෙනෙක් ගත් උත්සාහයක් නිසා පසුගිය කාලයේදී රටට ඩොලර් බිලියන 5.5ක් පාඩු වූ බව කෝප් කමිටුව ඉදිරියේදී හෙළිවිය. රුපියල පාවීමට නොදී ස්ථිර අගයක රඳවා තබාගැනීමට එදා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වැඩි ඡන්දයෙන් ගත් තීරණය ඉතාම හිතුවක්කාර සහ මුරණ්ඩු තීරණයකි. එමගින් පාඩු වූ ඩොලර් බිලියන 5.5 ආපසු ලබාගැනීමට කිසිදු ආකාරයකින් නොහැක. උදාහරණයක් වශයෙන් ඇතැම් අවස්ථාවලදී වැරැදි තීරණ ගත් උදවියගේ දේපළ පවරාගෙන ඒවා වෙන්දේසි කර අලාභය පියවා ගත හැකිය. එහෙත් ඩොලර් බිලියන 5.5 සිද්ධියට අදාළ වැරැදි තීරණ දුන් අයගේ සියලු දේපළ විකුණලාවත් එම මුදල් යළිත් ලබාගත නොහැක. සමහර විට ඔවුන් විසින් ස්විස් බැංකුවල හෝ ඩුබායි රාජ්‍යයේ බැංකුවල තැන්පත් කළ මුදලක් තිබුණොත් ඒවායින් පාඩුවෙන් යම් කොටසක් පිරිමසා ගත හැකිය. එහෙත් ආර්ථික අපරාධකාරයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට හැකි සවිමත් නීති තවමත් මේ රටේ නැත. චීනය සහ උතුරු කොරියාව වැනි රටවල් මෙවැනි අවස්ථාවලදී කරන්නේ අපරාධකරුගේ සියලු දේපළ රාජසන්තක කර ඔහුට වෙඩිතබා මැරීමය.

මහ බැංකුව යනු ස්ථිර වශයෙන්ම ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගත යුතු තැනකි. යහපාලන ආණ්ඩු කාලයේදී මෙම ආයතනයේ පාලනය අර්ජුන මහේන්ද්‍රන්ට බාරදීමෙන් විශාල අර්බුදයක් හටගත්තේය. මහ බැංකුවේ දැනට සිටින ප්‍රමුඛතම ප්‍රධානියෙක් එකල ජනාධිපතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන රහසේ හමුවී බැඳුම්කර වංචාව පිළිබඳ පැය 3ක් තිස්සේ හෙළිදරව්වක් නොකළේ නම් එය සදාකාලික රහසක් සේ යට යෑමට ඉඩ තිබේ. අර්ජුන මහේන්ද්‍රන් යනු තනිකරම යූඑන්පී ප්‍රධානීන්ගේ හිතවතෙකි. සිංගප්පූරු පුරවැසියකු වූ හෙතෙම මෙරටට ගෙන්වා මහ බැංකුවේ අධිපතිකම භාරදෙන ලදී. එතැන් සිට මහේන්ද්‍රන් ක්‍රියාකළේ යූඑන්පී ප්‍රධානීන්ගේ අභිමතය පරිදිය. අන්තිමට බැඳුම්කරය මාට්ටුවී වැඩේ අලවූ කල්හි අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට පැන ගිය අතර ඔහු කිසිකලෙකත් ලංකාවට ආවේ නැත. ඔහු අදටත් නිරුපද්‍රිතව සිංගප්පූරුවේ වාසය කරයි. ඔහු ජීවත්වන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහල අසල තිබෙන තට්ටු නිවාසයකය. ඔහු සිංගප්පූරු පුරවැසියකු බැවින් මෙරටට ගෙන්වා ගැනීමට ද නොහැකිය. ඔහු රටින් පැන යන්නේ ද යහපාලන ආණ්ඩුවේ යූඑන්පී පාර්ශ්වයේ ප්‍රධානීන්ගේ අනුග්‍රහයෙනි.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලද්දේ 1950 දීය. එය පිහිටුවීම සඳහා ඇමරිකන් අර්ථශාස්ත්‍රඥයකු වූද ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත පද්ධතියේ සාමාජිකයකු වූද ජෝන් එක්ස්ටර් මෙරටට ගෙන්වන ලදී. ආරම්භයේදී මේ ආයතනය රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට මහත්සේ උපකාරී විය. සුද්දන් මෙරට හැරයන විට නිධන් අරමුදල යනුවෙන් අරමුදලක් පිහිටුවා තිබිණ. මෙය විශාල මුදල් සංචිතයකි. රටේ ආර්ථික අමාරුකම් ඇතිවූ විට මෙම අරමුදලින් මුදල් ලබාගැනීම අරමුණ විය. ජෝන් එක්ස්ටර් මේ අරමුදල් තරකිරීමට මහත්සේ දායක විය. මුදල් මණ්ඩලය නමැති ඒකකය පිහිටුවන ලද්දේ ද ඒ කාලයේදීය. 1977 දී ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වුණු විට රට විවෘත ආර්ථිකයකට යොමු කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස නිධන් අරමුදල කඩා එහි මුදල් වියදම් කරන ලදී. නිධන් අරමුදල වැනි සංචිත පුරාණ සිංහල රජවරුන් විසින් ද පවත්වාගෙන යන ලදී. එකල මෙම අරමුදල සමන්විත වුණේ රත්‍රං සහ මැණික් වලිනි. රටේ ආර්ථික අර්බුදයක් හටගත් විට මෙම රත්‍රං හා මැණික් කොටසින් කොටස විකුණා මුදල් ලබාගැනීමට හැකි විය. ජේ. ආර්. ජයවර්ධන නිධන් අරමුදල කඩන විට එවකට තිබූ මුදල් මණ්ඩලයේ කිහිප දෙනෙක් විරුද්ධ වූහ. එහෙත් ජේ. ආර්. කිසි කෙනකුගේ විරෝධය ගණන් ගන්නා කෙනෙක් නොවේ. ඒ වනවිටත් ජෝන් එක්ස්ටර් ජීවතුන් අතරය. ඇමරිකාවේ විශ්‍රාම සුවයෙන් වාසය කළ මේ මනුෂ්‍යයා තමන් විසින් සුරක්‍ෂිත කළ නිධන් අරමුදල රටේ ජනාධිපති විසින් කඩාගෙන කන විට කුමක් හිතන්නට ඇතිද? ජෝන් එක්ස්ටර් 2006 දී මිය ගියේය. ඔහු මිය යන්නේ බැඳුම්කර වංචාවට පෙරය. එය ඔහුගේ වාසනාවකි. කක්කුස්සියට පවා දේශපාලනය රිංගා ඇති බව මේ වැකිය ආරම්භයේදී අපි සඳහන් කළෙමු. අද මහජන වැසිකිළි විවෘත කිරීමට දේශපාලනඥයෝ පැමිණෙති. ආණ්ඩුවේ සල්ලිවලින් හදා ආණ්ඩුවෙන් පවත්වාගෙන යන වැසිකිළියකට සම්බන්ධකම් ඇත්තේ ශරීරයෙන් පශ්චාත් භාගයට පමණි. එවැනි තැනක් පවා විවෘත කිරීමට දේශපාලනඥයන් පැමිණෙන විට දේශපාලනය නමැති සංකල්පයේ වටිනාකම අසූචි පිඬක් හා සමාන වේ. මේ ගැන මීට වඩා කීමට දෙයක් නැත.
 

advertistmentadvertistment
advertistmentadvertistment