නවීකරණය කළ අගමැති කාර්යාලය විවෘත කෙරේ…

293

නවීකරණය කරන ලද කොළඹ, මල් පාරේ පිහිටි ‘සිරිමතීපාය’ අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (20 දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා කාර්යාල පරිශ‍්‍රයේ තැන්පත් කර ඇති බුද්ධ ප‍්‍රතිමාවට මල් පූජා කිරීමෙන් අනතුරුව රාජකාරී ආරම්භය සංකේතවත් කළේය.

නවීකරණය කරන ලද කාර්යාලයේ ප‍්‍රදර්ශනයට තබා ඇති ඡුායාරූප නැරඹූ ජනාධිපතිවරයා කාර්යාල පරිශ‍්‍රය නිරීක්ෂණය කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව හිටපු අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අධීක්ෂණය යටතේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්දිරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.

නවීකරණය කළ අගමැති කාර්යාලය විවෘත කෙරේ...

ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ‍්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් මෙම දෙමහල් මන්දිරය වර්ෂ 1916 දී ඉදිකර තිබේ. ඒ මහතාගේ අභාවයෙන් පසු වර්ෂ 1960 දී පවුලේ සාමාජිකයන් විසින් එය රජයට පවරා දෙනු ලැබිණ.

අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය එකල සිරිමතීපායෙහි පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 1978 දී එවකට අගමැති රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් සිරිමතීපායෙහි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවන ලදී.

වසර සියයකට වඩා අධික ‘සිරිමතීපාය’ පැරණි සැලසුමට අනුවම පූර්ණ නවීකරණයට ලක් කර ඇත්තේ වසර 44කින් පසුව ය.

නවීකරණය කරන ලද අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා හිටපු අග‍්‍රාමාත්‍ය ලේකම්වරුන් සමග ඡායාරූපයකට පෙනී සිටියේය. අනතුරුව සමරු පොතෙහි සටහනක් ද තැබීය.

ඇමැති ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග‍්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද හිටපු අග‍්‍රාමාත්‍ය ලේකම්වරු ද රාජ්‍ය නිලධාරිහු සහ ඇල්බට් අර්නස්ට් ද සිල්වා පවුලේ ඥාතීහු ද තවත් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment