නව තරග වාර්තා 17ක් – අතිශූරතම ක්‍රීඩකයා මලිත් යසිරු

285

ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය

නව තරග වාර්තා 17කින් වර්ණවත් වූ ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ අතිශූරතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් පිරිනැමෙන සම්මානය කහවත්ත මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. වී. මලිත් යසිරු දිනා ගත්තේය.

අවුරුදු 20 න් පහළ තුන් පිම්ම ඉසව්වේදී ප්‍රදර්ශනය කළ මීටර් 15.89 ක දක්ෂතාවය පදනම් කර ගනිමින් රුසිරුට අදාළ සම්මානය පිරිනැමීමට සංවිධායකයන් වූ ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා ආයතනය පියවර ගත්තේය.

අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 100 ඉසව්ව තත්. 12.58 කින් නිම කරමින් නව කනිෂ්ඨ තරග වාර්තාවක් බිහි කිරීමට වත්තල ලයිසියම් ජාතික පාසල නියෝජනය කළ ධනංජනා ප්‍රනාන්දු සමත්වීම කැපී පෙනුණි.

2016 වසරේදී කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල නියෝජනය කරමින් පියුමිණී වීරසූරිය විසින් පිහිටුවා තිබුණු තත්පර 12.63 ක වාර්තාව ඒ අනුව බිඳ වැටුණි.

2016 වසරේ වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ එල්. බී. එස්. ධනංජය (මීටර් 15.78) විසින් පිහිටුවා තිබුණු අවුරුදු 20 න් පහළ තුන් පිම්ම ඉසව්වේ වාර්තාව අභිබවා යමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට කහවත්ත මධ්‍ය මහා විදුහලේ මලිත් යසිර සමත් විය. ඒ මීටර් 15.89 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.

අවුරුදු 18 න් පහළ බාලක මිටිය විසි කිරීමේ තරගයේ රන් පදක්කම දිනා ගත් ඒ. විමලදාස් නිදර්ශන් සටහන් කරන ලද මීටර් 35.19 ක දුර ප්‍රමාණය නව තරග වාර්තාවක් ලෙස සටහන් විය. මීටර් 32.85 ක් ලෙස පේදුරුතුඩුව හාට්ලි විදුහලේ එස්. මිතුන්රාජ් විසින් 2019 දී පිහිටුවා තිබුණු වාර්තාව ඒ අනුව බිඳ වැටුණි.

මෙවර තරගාවලියේදී සුවිශේෂ දස්කම් ප්‍රදර්ශනය කරමින් ඒ ඒ වයස් සීමාවන්හි සම්මාන ලාභී දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව පහත දැක්වේ.

අවුරුදු 16 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව එන්. පී. නෙතාරා සමාධි (දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය) උස පැනීම මීටර් 1.66

අවුරුදු 16 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා එස්. ජී. එල්. බිනුද බෝජිත (මාතර රාහුල විද්‍යාලය) කවපෙත්ත විසිකිරීම මීටර් 49.50

වයස අවුරුදු 18 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ඩී. එස්. ඒ. හංසිකා (අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය) දුර පැනීම මීටර් 5.68

වයස අවුරුදු 18 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා

කේ. එල්. ඒ. අකලංක (අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය) මීටර් 400 කඩුළු මතින් දිවීම තත්. 52.66

වයස අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව

එච්. එම්. එන්. එම්. හේරත් (බිබිල නන්නපුරාව මහා විද්‍යාලය) දුර පැනීම මීටර් 6.06

වයස අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා කේ. වී. මලින් යසිරු (කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය) තුන් පිම්ම මීටර් 15.89

වයස අවුරුදු 23 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව එස්. බී. එස්. එල්. දිසානායක (මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය) මීටර් 100 කඩුළු මතින් දිවීම තත්.14.51

වයස අවුරුදු 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා

කේ. එම්. ඩී. දර්ශන (ශ්‍රී ලක් සමාජය) මීටර් 400 කඩුළු මතින් දිවීම තත්.51.24
අනුරුද්ධ හේරත් බණ්ඩාර

පිංතූර – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment