නිලාවැලියේ රතු වැල්ල සුද්ද කරන දේශපාලනඥයා කවුද?

553

‘‘රළ පහර ගල් කුළෙහි වැදී පුන්කළසක ලූ පොල් මලක් හැඩයට පිපී පෙණ රැළි විසුරුවයි. හිරු රන්පාට දෑත වනා අපෙන් ඈත් වන්නට සූදානම් වෙයි. බැස යන හිරුගේ රැස් දහර තැවරුණු රතු ගල් වැටිය බලා සිටිද්දීම අපූරු තඹ පැහැයක් ගනී. අපේ අත් පා ද මුහුණු ද ඒ තඹ පැහැයෙන් සායම් කළා සේය.

රිදී කාසි අහුරක් සේ උදෑසන නැටූ රළ පොකුරු දැන් රන් පැහැයෙන් වර්ණවත් ය. බැස යන හිරු රන් පැහැ අත් ඔසවා ආචාර කරන්නා සේ ය. ඈතින් පරාමලේ නම් සුන්දර දූපත අපූරුවට දර්ශනය වේ. මේ ගල්වැටියේ සිට හාත්පස බලත්ම හැෙඟන්නේ කුමක්ද?

මේ මිහිතලය නමැති අම්මාගේ පුංචි ම දරුවන් අප බවයි. ඉහළටම නැඟුනු කවරකුට වුව ද දිනක මේ රමණීය ගල්වැටියේ මුදුනට පැමිණීමට අවස්ථාව ලැබේවාය යි පතමි…’’

ධර්මසිරි ගමගේ විසින් රචිත ‘සිත නිවෙන තැන්’ සංචාරක සටහන් එකතුවේ ‘නිලාවැලි වැල්ලේ මැකී නොගිය පිය සටහන්’ මැයෙන් නිලාවැලි මුහුදු තීරයේ සුන්දරත්වය ‘රෙඞ් රොක්ස්’ නමින් හැඳින්වෙන රතු ගල් කඳුවැටිය එකතු කර තිබු අසිරිය මෙන්ම භූගෝලීය පිහිටීම ගැන අපූරුවට විස්තර කර තිබිණි. එමෙන්ම 1982 වර්ෂයේදී එළිදැක්වූ ‘සිත නිවෙන තැන්’ ග‍්‍රන්ථයේ ‘නිලාවැලි වැල්ලේ මැකී නොගිය පිය සටහන්’ කතාංගය පසුකාලීනව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 8 ශ්‍රේණිය සිංහල පොතට ඇතුළත් කර තැබීම ද විශේෂත්වයකි.

‘නිලාවැලි විවේක නිකේතනයේ සිට සැතපුම් තුනක් පමණ ගිය තැන කුඩා මාළු වාඩියක් වෙයි. වාරකන් කාලයේත් නිර්භයව මුහුදු යන ධීවරයන් ගෙනෙන අලූත් මාළු උදෑසන දහයට, එකොළහට පමණ එතනදී ලබාගත හැකිය. මා රසවත් මුහුදු මාළු ආහාර වේල ගෙන ඇත්තේ යාල වන තීරය කෙළවර පිහිටි පටනංගල ධීවර වාඩියේදී ය. දෙවැනි රසවත්ම ආහාරවේල ගත්තේ නිලාවැලියේ මේ විවේක නිකේතනයේදීය. දහවල් ආහාරයෙන් පසු ස්වල්ප මොහොතක් විවේක සුවයෙන් පසු වූ අපි සවස පහට පමණ රෙඞ් රොක්ස් බලා පිටත් වීමු. මුහුදු වෙරළ දිගේ ස්වල්ප දුරක් ගොස් යළි ගොඩබිමේ කුඩා කන්දකට ගොඩවීමෙන් රතු ගල් වැටිය තෙක් යා හැකි කෙටි මඟ නෙත්ති කුමාර අපට පෙන්වීය…’

‘නිලාවැලි වැල්ලේ මැකී නොගිය පිය සටහන්’ තැබීමට එදා ධර්මසිරි ගමගේ මහතාට මඟපෙන්වන්නා වූ නෙත්ති කුමාර අද අපට මඟ පෙන්වන්නා වී සිටිනුයේ රෙඞ් රොක්ස් සුන්දර වෙරළ තීරයේ පාංශකූල කතාව සටහන් තැබීමටය. ඒ කතාව පෙළගැසෙනුයේ මෙසේය.

නිලාවැලියේ රතු වැල්ල සුද්ද කරන දේශපාලනඥයා කවුද?

මෙරට අති සුන්දර ස්ථානයක් ලෙස හැඳින්වෙන රෙඞ් රොක්ස් වෙරළ තීරය පිහිටා තිබෙන්නේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ කුච්චවේලී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. ත‍්‍රිකුණාමලය, පුල්මුඬේ ප‍්‍රධාන මාර්ගයේ 26 වැනි කිලෝ මීටර් කණුව අසලින් මහ සාගරය දෙසට මීටර් 900 ක් යන විට රෙඞ් රොක්ස් වෙරළ තීරය හමු වේ. මුහුදට නෙරා ගිය ස්වභාවික රතු ගල් වැටියකින් උස් වූ රෙඞ් රොක්ස් දිය නෑමට ආරක්‍ෂිත වෙරළ තීරයකි. එමෙන්ම සිත් නිවන අති සුන්දර වෙරළ තීරයකි. 1980 දශකයට පෙර සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබූ නිලාවැලි සිට පුල්මුඬේ මුහුුදු තීරයේ සුන්දරම ප‍්‍රදේශය රෙඞ් රොක්ස් වෙරළ තීරයයි. ඇතැම් සංචාරකයින් කටුනායක ගුවන්තොටුපළට පැමිණි විගස පළමු පැනය ලෙස රෙඞ් රොක්ස් වෙරළ තීරයට යන ගමන් මාර්ගය විමසන බව ප‍්‍රසිද්ධ කතාවකි. එමෙන්ම 1980 දශකයේදී තරුණ සේවා සභාවට අයත් මෙරට විශාලතම පුහුණු කඳවුර පැවතියේ ද මේ වෙරළ ආසන්නයේ බව වාර්තා වේ. ත‍්‍රස්තවාදී යුද ගැටුම් ආරම්භවීමත් සමඟ එම පුහුණු කඳවුර අතහැර දැමීමට තරුණ සේවා සභාව කටයුතු කර තිබේ. එමෙන්ම මේ වෙරළ තීරයේ ඇති වැලි නිධිය ලොව වටිනාම ඛනිජ සම්පතක් බව ද වාර්තා වේ. පුරාවිද්‍යාත්මක සහ පාරිසරික වටිනාකමක් සහිත ස්ථානයක් බව ද වාර්තා වේ. එවැනි සුවිශේෂී වටිනාකම් සහිත රෙඞ් රොක්ස් වෙරළ තීරය දැන් වැලි ජාවාරම්කාරයන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව ප‍්‍රදේශවාසීන් කියන කතාවය. ඒ කතා අතරින් නෙත්ති කුමාරගේ හඬ අපි මෙසේ වචන කළෙමු.

‘‘පහුගිය යහපාලන රජය කාලයේදීත් මේ ස්ථානයේ මහා පරිමාණයෙන් වැලි කැණීම් පටන් ගන්නකොටම ප‍්‍රදේශයේ ස්වාමීන්වහන්සේ, පරිසර සංවිධාන එකතු වෙලා විරුද්ධත්වය ප‍්‍රකාශ කරලා කැණීම නතර කළා. මේ රජය යටතේ පහුගිය ජූලි මාසයේ මේ ස්ථානයේ වැලි කැණීම් පටන් ගත්තා. ඒත් දවස් පහක්වත් කැපුවේ නෑ. නතර කළා. පහුගිය දිනවල නැවත කැණීම් පටන් ගත්තා. දැන් දවස් පහළොවක්, විස්සක් එක දිගට බැකෝ යන්ත‍්‍ර තුනකින් මහා පරිමාණයෙන්ම කැණීම් කරනවා. දවසකට වැලි ලෝඞ් හතළිහකට වැඩි සංඛ්‍යාවක් පටවනවා. වැලි පටවගෙන යන ටිපර් නැවත එනකොට සෝදලා ඉවතලන වැලි ගෙනත් වළවල්වලට දානවා. ඒත් කැණීම් කරන විශාල වළවල් වහන්න ඒ ගේන වැලි ප‍්‍රමාණවත් නෑ. මේ වැලි කැපීමට විරුද්ධව පහුගිය දවස්වල ප‍්‍රදේශවාසීන් එකතු වෙලා උද්ඝෝෂණයකුත් කළා. ඒත් කැණීම් තවමත් සිද්ධ වෙනවා. කපන වැලි ගෙනියන්නේ පුල්මුඬේ ඛනිජ වැලි ආයතනයට. ඒත් වැලි කපන්නේ ඛනිජ වැලි ආයතනයෙන් නෙමෙයි. ප‍්‍රබල ව්‍යාපාරිකයෙක් කොන්ත‍්‍රාත් අරගෙන කැණීම් කරගෙන යන බවක් තමයි ආරංචි වෙන්නේ…’’ නිලාවැලි වැල්ලේ මැකී නොගිය පිය සටහන් තැබීමට එදා ධර්මසිරි ගමගේ මහතාට මඟ පෙන්වන්නා වූ නෙත්ති කුමාර නැමැති භද්‍ර තරුණයා අද වියපත්ය. වයස අවුරුදු හැටකි. මාතර ප‍්‍රදේශයේ උපත ලද හේ කුච්චවේලි ප‍්‍රදේශයට පැමිණ ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ 1983 වර්ෂයේ ත‍්‍රස්තවාදයේ් ගිනි ඇවිළීමට පෙරය. 1985 වර්ෂයේ ජුනි පළමු වැනිදා කුච්චවේලි පොලිසියට කොටි ත‍්‍රස්තවාදීන් පහරදීමත් සමඟ ගම් බිම් අතහැර දකුණට පැමිණි නෙත්ති කුමාරලා නැවත කුච්චවේලියට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය. නිලාවැලියේ පැරැණිතම සිංහල ව්‍යාපාරිකයාගේ අදහස් විමසීමෙන් අනතුරුව රෙඞ් රොක්ස් වෙරළ තීරය කැණීම් කිරීම සම්බන්ධයෙන් කුච්චවේලි ප‍්‍රාදේශීය සභාවේ සභාපති එම්. මුබාරක් මහතාගෙන් අපි කරුණු විමසා බැලූවෙමු. මේ සභාපතිවරයා කියන කතාය.

‘‘රෙඞ් රොකස්් වෙරළ තීරය සංචාරක පාරාදීසයක්. මේ සුන්දර වෙරළ තීරය විනාශ කරනවට අපි විරුද්ධයි. ප‍්‍රදේශයේ ජනතාවත් විරුද්ධයි. ප‍්‍රදේශවාසීන් නිතර අපිට කියන්නෙත් මේ වැලි ජාවාරම නතර කරන්න කියලා. ඒත් මේ වැලි කැණීම ඛනිජ වැලි සංස්ථාවේ කැමත්ත ඇතිව කරගෙන යන බවක් තමයි පෙන්න තියෙන්නෙ. සාමාන්‍යයෙන් වැලි කැණීම් කරන්න ප‍්‍රාදේශීය සභාවේ නිර්දේශය ගන්න ඕනෑ. දැන් අවුරුදු තුනක කාලයක ඉඳලා මේ වෙරළ තීරයේ වැලි කැණීම් කරන්න ප‍්‍රාදේශීය සභාවේ නිර්දේශය අරගෙන නෑ. ඒ නිසා මේ වැලි කැණීමට විරුද්ධව ත‍්‍රිකුණාමලය අධිකරණයේ නඩුවක් පවරා තියෙනවා. ඒත් තවම වැලි කැණීම් සිද්ධ වෙනවා. ඉදිරියේදී මේ වැලි ජාවාරමට එරෙහිව ප‍්‍රදේශවාසීන් පාරට බහී…’’ යහපාලන රජය කාලයේ ද රෙඞ් රොක්ස් වෙරළ තීරයේ වැලි නිධිය නිධානයක් කරගෙන පිට රටවලට විකුණගෙන කන විට ප‍්‍රදේශයේ ස්වාමීන්වහන්සේලා සහ පරිසර සංවිධාන ඊට එරෙහිව විරුද්ධත්වය ප‍්‍රකාශ කරන විට මුස්ලිම් සමාජය තුළින් හඬක් නොනැගුණු තරම්ය. මේ අවස්ථාවේදී රෙඞ් රොක්ස් ආරක්‍ෂා කරගැනීමට මුස්ලිම් ප‍්‍රජාව තුළින් මතු වන හඬ ඇසෙන විට අපගේ මනසෙ ඇදෙනුයේ මිදි වල්ලයි, නරියගෙයි කතාවය. එමෙන්ම යහපාලනයේදී පමණක් නොව ඊට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලය දක්වා පැවති රජයන් තුළ රෙඞ් රොක්ස් ඛනිජ වැලි නිධිය කුණු කොල්ලයට පිටරටවලට විකුණාගෙන කෑ බව සැබෑය. ඒ බව සහ රෙඞ් රොකස්් වෙරළේ වටිනාකම සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවෝ විස්තරාත්මකව අපට පැහැදිළි කළහ. යහපාලනයේදී මෙන්ම මේ පාලනයේදීත් පක්‍ෂ පාටවලට ගැති නොවී පරිසර විනාශයන් සහ ජාතික උරුමයන් ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් නිර්භයව හඬ නඟන උන්වහන්සේ සම්බන්ධයෙන් අපට ඇත්තේ මහත් ගෞරවයකි. මේ පෙළගැසෙන්නේ ඒ ගෞරවනීය හඬය.

නිලාවැලියේ රතු වැල්ල සුද්ද කරන දේශපාලනඥයා කවුද?

‘‘නිලාවැලි රෙඞ් රොක්ස් වෙරළ තීරය කියන්නේ මෙරට සුවිශේෂී සුන්දර ස්ථාන හතෙන් එකක්. 8 වසර සිංහල පොතෙත් රෙඞ් රොක්ස් වෙරළ තීරයේ සුන්දරත්වය ගැන සඳහන් කර තියෙනවා. ඒ වගේම මේ ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් මෙන්ම පාරිසරික වටිනාකමක් සහිත ස්ථානයක් හැටියටත් නම් කරලා තියෙනවා. 1983 වර්ෂයේදී ඔය වැලි කපන භූමිය ගැසට් කරලා තරුණ සේවා සභාවට දීලා තියෙනවා. දැන් ඔය භූමිය තියෙන්නේ තරුණ සේවා සභාව යටතේ. එම භූමිය තරුණ සේවා සභාවට අයත් බවට අධිකරණ තීන්දුවකුත් අරගෙන තියෙනවා. ඒ වගේම කුච්චවේලි ප‍්‍රදේශයේ වැලි කැණීම් කරන්නේ පුල්මුඬේ මිනරල් සෑන්ඞ් ලිමිටඞ් ආයතනයෙන්. එම ආයතනය යම්කිසි වැලි කැණීමක් කිරීමට පෙර පුරාවිද්‍යා හානිපූර්ණ වාර්තාවක් සහ පාරිසරික හානිපූර්ණ වාර්තාවක් ලබාගත යුතුයි. රෙඞ් රොක්ස් වෙරළේ වැලි කැණීමට එම වාර්තා ලබාගෙන නෑ. අදාළ ආයතනවල බලධාරීන් කියන විදිහට රෙඞ් රොක්ස් වැලි කැණීම් සිදු කරන්නේ පර්යේෂණ කටයුතුවලට. පර්යේෂණයක් සඳහා කැණීම් කටයුත්තක් සිද්ධ කිරීමට භූ විද්‍යා හා පතල් සමීක්‍ෂණ කාර්යාංශයේ පර්යේෂණ අංශයෙන් අවසරය ගන්න ඕනෑ. ඒ අවසරය අරගෙනත් නෑ. මේ කිසිම වාර්තාවක් නැතිව මාස හතරකට පෙරත් මේ භූමියේ වැලි කැණීම් කරන්න හදනකොට අපි විරුද්ධ වෙලා නතර කළා. දැන් නැවත පටන්ගෙන මහා පරිමාණයෙන් කැණීම් කටයුතු කරගෙන යනවා. නීති විරෝධී මේ කැණීම සම්බන්ධයෙන් පරිසරය සම්බන්ධ අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසීමේදී ඒ අය කිව්වේ ‘මේක කරන්නේ ප‍්‍රබල දේශපාලනඥයෙක්. ඒ බයට අදාළ නිළධාරීන් නීතිය ක‍්‍රියාත්මක කරන්නෙත් නෑ. මට මැදිහත් වෙන්නත් බෑ…’ කියලා. මේ වැලි කැපීම කරගෙන යන්නේ කොන්ත‍්‍රාක්කාරයෙක්. ඒ සඳහා කුච්චවේලි ප‍්‍රාදේශීය සභාවෙන් අවසර අරගෙනත් නෑ. මේ වැලි කැපීම කරගෙන යන්නේ සම්පූර්ණ නීතිය අතට අරගෙන. ඒ සඳහා ප‍්‍රබල ඇමැතිවරු දෙදෙනකුගේ ආරක්‍ෂාව තියෙනවා. ඒ වගේම මේ වැලි කැණීම යට අතිවිශාල මුදල් ගනුදෙනුවක් තිබෙන බවට සැක කරනවා. දැන් මේ වැලි කැණීම සාධාරණීය කරගන්න කැබිනට් පත‍්‍රිකාවකින් අනුමැතිය ලබාගන්න යන බවත් ආරංචියි. මේ අය නීතියට පිටින් කරන සෑම කටයුත්තක්ම කැබිනට් පත‍්‍රිකාවකින් අනුමත කරගන්නවා. කැබිනට් පත‍්‍රිකාවක් විද්‍යානුකූල නෑ. රෙඞ් රොක්ස් වෙරළ තීරයට කරන මේ විනාශය සුළු පටු නෑ. අති දැවැන්ත සාපරාධී ක‍්‍රියාවක්. රෙඞ් රොක්ස් වෙරළේ ඛනිජ වැලි ලෝකයේ දුර්ලභ නිෂ්පාදන රාශියක්ම සෑදීමට ගන්නා ප‍්‍රධාන අමුද්‍රව්‍යයක්. ප‍්‍රධාන ගංගා ද්‍රෝණිවලින් ගලාගෙන එන වැලි, දිය වැල් හරහා මේ භූමියට එකතු වෙනවා. මේක අපේ රටට ලැබුණු දුර්ලභ සම්පතක්. රට සංවර්ධනය කිරීමට ලැබුණු මිණි, මුතු හා වටිනා සම්පතක්. 2013 අවුරුද්දේ විගණන වාර්තාවේ සඳහන් ආකාරයට නිවැරැදි කළමනාකරණයකින් යුක්තව වසර තුනක් ඛනිජ වැලි පිටරටවලට විකිණීම කළොත් අපේ රට ලබාගත් ණයවලින් ටි‍්‍රලියන දහතුනක් ගෙවා අවසාන කරන්න පුළුවන්. ඒත් තට්ටු මාරුවට කාලෙන්, කාලයට පත්වෙන ආණ්ඩුවල ඛනිජ වැලි සංස්ථාව භාර වෙන ඇමැතිවරු, අදාළ නිලධාරීන් මේ ජාතික සම්පත බූදලයක් කරගෙන කුණු කොල්ලයට පිටරටවලට විකුණනවා. මේ රජය යටතේදීත් ඒකම වෙනවා. අදාළ ඇමැතිවරුන්ගේ හිතවතුන්ට කොන්ත‍්‍රාත්තුව ලබා දීලා ඒ මහා ජාතික සම්පත මංකොල්ල කනවා. පහුගිය ආණ්ඩුව කාලයේදී රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයා ඔය ස්ථානයේ වැලි කැණීම් කරන්න හදනකොට අපි විරුද්ධ වුණා. ඒ අවස්ථාවේදී මෛත‍්‍රිපාල ජනාධිපතිවරයා මැදිහත් වෙලා ඒ කැණීම් කටයුතු නතර කළා. ඒ විතරක් නෙමෙයි ‘මේක පුරාවිද්‍යා ස්ථානයක්. වැලි කැණීම් කරන්න එපා’ කියලා අදාළ ඇමැතිවරයාව විශේෂයෙන් දැනුවත් කළා. ජාතික සම්පත්, පාරිසරික සම්පත් ආරක්‍ෂා කරගැනීමට අපි ගෙනාපු ආණ්ඩුවම දැන් විනාශකාරී ගමනක් යනවා…’’ පෙළගැසෙන කතාව හොඳටම පැහැදිළිය.

රටට සම්පතක් වූ ඛනිජ වැලි කැණීම් කිරීමේ ගැටලූවක් නැත. මේ රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩගැනීම සඳහා විශේෂ මිල එකතු කිරීමේ නිෂ්පාදන ක‍්‍රියාවලියකින් පසු ඛනිජ වැලි විදේශීය රටවලට අපනයනය කළ යුතුය. එහෙත් එම කටයුත්ත සිදු කළ යුත්තේ පරිසරයට හානියක් නොවන ආකාරයටය. ඒ තුළින් ලැබෙන සම්පූර්ණ ආදායම රජයට ලැබෙන ආකාරයටය. එහෙත් වාර්තා වෙමින් පවතින ආකාරයට රෙඞ් රොක්ස් වැලි නිධිය කැණීම් කරන්නේ ප‍්‍රබල ඇමැතිවරු දෙදෙනකුගේ හිතවත් කොන්ත‍්‍රාත්කාරයෙකි.

අප කම්පනයට පත් වී සිටිනුයේ පහුගිය රජය යටතේදී නිලාවැලි රෙඞ් රොක්ස් වෙරළේ වැලි කැණීමට විරුද්ධව සිංහල බෞද්ධ මිනිසුන්ගේ පපු කැවුතු ගිනියම් වෙන්න ජාති ආලයෙන් කෑමොර දුන් දේශපාලනඥයන්ගේ අනු දැනුම පිටම වැලි නිධිය විනාශවීම ගැනය. එමෙන්ම එදා අන්‍ය ආගමික දේශපාලනඥයකු යටතේ රෙඞ් රොක්ස් වැලි නිධිය කැණීම් කරන විට ඊට එරෙහිව නැඟී සිටි ප‍්‍රදේශයේ ස්වාමීන්වහන්සේලා සිංහල බෞද්ධ දේශපාලනඥයන් යටතේ අද එම වැලි නිධිය විනාශ වන විට මුනිවත රැකීම ගැනය. අපගේ සිත මහා වේදනාවකින් රිදුම් දෙන්නේ නිලාවැලි මුහුදු තීරයේ රෙඞ් රොක්ස් කඳුවැටියේදී එදා ධර්මසිරි ගමගේ අත්විඳි මානසික සුවය අපගේ දරුවන්ට විඳගැනීමට නොලැබෙන නිසාය. මුදල් ජීවිතය කරගත් කාපාලූ කොන්ත‍්‍රාත්කාරයො ඒ මනස්කාන්ත මුහුදු තීරය පමණක් නොව, මේ රටම විනාශ කර පිටරටවලට විකුණන දිනය දුර ඈතක නැති බව පෙර සිට සිහි තබාගැනීම, සැබෑ ජාති ආලයක් ඇති මිනිසුන්ට දරාගැනීමට පහසුය.

තරංග රත්නවීර
ත‍්‍රිකුණාමලය
සමන් මල්ලවාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment