නිවසක් ඉදිකිරීමට පෙර භූමිය බලවත් කළ යුතුය

120

ඉඩමක් මිලයට ගැනීම යනු උපන් භූමියේ බිම් කොටසක් නීතිමය වශයෙන් අත්පත් කර ගැනීමයි. භූමියේ අයිතිය පොදුවේ සෑම සත්ත්වයකුටම උරුම වුවද නීතිමය අයිතියක් නොමැති වූ විට මෙය මගේ ඔප්පුව හිමි භූමිය යනුවෙන් ප්‍රකාශ කළ නොහැක. මෙයට ශත වර්ෂ ගණනාවකට පෙරාතුව නම් ජනගහනය අල්පවූ නිසා භූමියේ හිමිකාරිත්වයට ගැටලු නොවීය. බත් පිඟානට, ආප්ප වට්ටියට, පවා ඉඩමේ නීතිමය අයිතිය බාරදුන් කාල පැවත තිබේ. පරම්පරාගතව පරම්පරාවට මෙලෙස ඉඩම්වල නීතිමය හිමිකාරිත්වය වෙනස් වෙමින් නීතිමය හිමිකම හුවමාරු වේ. නීතිමය වශයෙන් මහපොළොවෙන් පුංචිම හෝ බිම් කොටසක් තමන්ට හිමිවීමටත් පෙර කුසල් ශක්තියක් පැවතිය යුතුය. හොර ඔප්පු හදා අනුන්ගේ භූමි අත්කර ගත් අයට තම දෙමාපිය ඥාතීන්ගේ ඉඩම් අසාධාරණව තම නමට හරවා ගත් අයට මුදල් පොලියද දී අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අසාධාරණයට ගත් අයට මේ ආත්මයේ තමන්ගේම නීතිමය අයිතියට ඉඩමක් නෙලැබෙනු ඇත.

කෙසේ වුවද ඉඩමක් මිලයට ගත් සැනෙන් මේ මගේ ඉඩම මට ඕනෑ දෙයක් කරන්න පුලුවන් යැයි සිතීම නිවැරැදි නොවේ. තමන්ටම නීතිමය අයිතිය පැවතුනද අධ්‍යාත්මිකව මෙම ඉඩම හිමිවිය යුතුය. ඒ සඳහා තමන්ට භූමිය බලගැන්වීමක් කරගත යුතුය. ඒ සඳහා නිසි හෝරාවක්, කිසි දිශාවක්, නිසි ආකාරයට ගෙන තමන් මිලයට ගත් භූමියට ප්‍රථමයෙන් ප්‍රවිශ්ට විය යුතුය. නමුත් වන්නේ කලින් දිනයේ ඉඩමක් මිලයට ගෙන පසු දින පවුලේ අය ඥාති හිතවතුන්ද රැගෙන ඉඩමට ඇතුළුවී හාවෙකු, ඉත්තෑවෙකු ඉන්නවා නම් ඌවද අල්ලා මස් කර බයිට් එකක් දමා මත්පැන් බෝතල් කීපයක් බී තමා මිලයට ගත් ඉඩමේ සිට පරුෂ වචන කියා කෑ ගසා බජව් දමා අසීමිතව සතුටුවීම පමණි. මෙය වර්තමානයේ බෙහෝ ස්ථානවල සිදුවන දෙයකි. නමුත් පුරාණයේ සිට පැවත එන වාස්තු විද්‍යාත්මක ක්‍රමයන්ට අනුව භූමියකට ප්‍රවිශ්ටවීම සඳහා ශුභ දිනයක් තෝරාගත යතුය. එහිදී ඉරිදා, අඟහරුවාදා දින ප්‍රථම භූමි ප්‍රවිශ්ටයට ගන්නේ නැත. ඉඩමට ප්‍රවිශ්ටවීමට ඉතාම ශුභ දින වන්නේ බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දින වන අතර සඳදු,සෙනසුරාදා, මධ්‍යම වේ. ශුභ දිනයකදී රාහු කාලය අතහැර ඉඩමට ප්‍රවේශවිය යුතු අතර ඉඩමේ ප්‍රවේශ දිශාව විය යුත්තේ ඊශාන හෝ නිරිත දිශාවයි. සමහර විට මෙම දිශාවේ ගේට්ටුව නොතිබිය හැක. මක් නිසාද ඊශාන, නිරිත ගේට්ටුව සඳහා ශුභ නොවීමය. නමුත් ඉඩමේ ප්‍රථම ප්‍රවිශ්ටවීම සඳහා ශුභ වන්නේ ඊශාන හා නිරිත දිශාව පමණි. ඒ අවස්ථාවේදී එම දිශාවන්ගෙන් එක් දිශාවක තාවකාලිකව එදිනට පමණක් ඇතුල්වීමට හැකි පරදි කඩුල්ලක් දමා ගත යුතුය.

මෙම ප්‍රථම භූමි ප්‍රවිශ්ටය සඳහා පවුලේ අය පමණක්ම එනම් බිරිඳ, දරුවන් තම දෙමාපියන් අනිවාර්යෙන්ම සහභාගි විය යුතු අතර සෙසු පිරිස එදිනට අනවශ්‍යවේ. ඉඩමට ප්‍රවිශ්ටවීමට ප්‍රථම ගම්භාර දෙවියන්ට හා ගමට අධිපති දෙවියන්ට පින් අනුමෝදන් කළ යුතුයි. ප්‍රථමයෙන්ම දකුණු කකුල පෙරට ගෙන භූමියේ තබන්න. මෙය කළ යුත්තේ ඉඩමේ නව හිමිකරු විසිනි. ඊශාන දිසාවෙන් ඉඩමට ප්‍රවිශ්ට වනවා නම් නිරිත දිශාව බලාගෙනද, නිරිත දිශාවෙන් ඇතුල්වෙනවා නම් ඊශාන දිශාව බලාගෙනද ඉතාම මෛත්‍රී සිතින් තම ඉෂ්ට දේවතාවන් සිහිකර පවුලේ පිරිස සමගින් එම ඉඩමේ මධ්‍ය ලක්ෂය හෙවත් ගිනි කතුරට පැමිණෙන්න. එම ගිනි කතුරට පැමිණීමට පෙර ඉඩමට තැබූ ප්‍රථම දකුණු පයට පෑගුණු පස් මිටක් විවාකයෙක් නම් තම බිරිඳට කලින් පිළියෙළ කරගත් රතු ලේන්සුවක් හෝ රතු රෙදි කඩකට පස් මිටක් ගත යුතුය. අවිවාහකයෙකු නම් තම මවට සුදු රෙදි කැබැල්ලකට එම පෑගුණු පස් මිට දිය යුතුය.

ගිනි කතුරට පැමිණීමෙන් පසුව එම ස්ථානයේ බිම හිඳ දකුණු අතින් 07 වරක් දක්ෂිණාවෘතව බිම ස්පර්ශ කරමින් ඉෂ්ට දේවතාවන් සිහිකරමින් ඊශාන දිශාව බලා පස් මිටක් ගෙන කලින් පස් රැගෙන ආ සුදු හෝ රතු රෙදි කඩට එම පස් මිටද දමන්න.

ඉන්පසුව හුන්තැනම සිටිමින් පස් පොට්ටනියට ගැට 03 ක් දමන්න. ඉන්පසු නැගිට පස් පොට්ටනිය දෑත මතට තබා ඊශාන දිශාව බලාගෙන ගම්භාර දෙවියන්ගෙන්, ශිව දෙවියන්ගෙන්, එම ප්‍රදේශය භාර දෙවියන් සිහිකරමින් පින් දෙමින් තමන්ට මෙම භූමියේ හිමිකරු ලෙසින් භූමිය හා තමන්ට සීහුම් කර ගන්න. භූමි ඥාතීන්ට, අතාල, පාතාල, බහිරවයන්ගෙන් තමන් මෙම භූමියේ අනාගතයේ නිවසක් සදනවා යැයි පවසා අවසර ඉල්ලන්න. ඉන්පසු භූමියේ වාස්තු පුරුෂයා උදෙසා ඔහුගෙන් අවසර ඉල්ලා ආශිර්වාද ලබා ගැනීම උදෙසා කලින් ගත් පස් පොට්ටනිය එදින ඉක්මයෑමට පෙරාතුව ගසාගෙන යන ජලාශයකට ගොස් සියලු දෙනා ජලයට බැස ඉඩමේ මුහුණත ඇති දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව බලා භූමියේ සියලු දොස් දුරුවේවායි සිතා එම පොට්ටනිය ජලය මත තබා ආපසු ඒ දෙස නොබලා පැමිණෙන්න. මෙය තමන් එම භූමිය හා අධ්‍යාත්මිකව සම්බන්ධ වන මුල්ම වාස්තු පූජාව වේ.

● භූමියේ ශල්‍ය පරීක්‍ෂාව

භූමියක් මිලයට ගෙන එම භූමියට ප්‍රවිශ්ට වීමෙන් අනතුරුව එම භූමියේ නිවසක්, ව්‍යාපාර ස්ථානයක් පරීක්‍ෂා කිරීමේ කටයුත්තක් පවතී. භූමියේ පවතින දෝෂ භූමිදෝෂ යනුවෙන් හඳුන්වයි. මෙම දෝෂ පෙනෙන දෝෂ වගේම නොපෙනෙන දෝෂයන් වශයෙන් වර්ග කෙරේ. සමහර භූමිවල ශල්‍ය දෝෂ වශයෙන් මෙයට වසර සිය ගණනකට එපිට වළ දැමූ මනුෂ්‍ය, සත්ත්ව, ඇටකටු, එම භූමිවල පවතී. කෙසේ වුවද, ශල්‍ය, යටවුණු, වළ දැමූ භූමි මේ පොළොව තලේ අඟලින් අඟල පැවතිය හැකිය. මනුෂ්‍ය පරිනාමයේ පටන් අද දක්වාම සෑම සත්ත්වයකුගේම ඇටකටු අහසේ නොව පවතින්නේ මෙම පොළොව අභ්‍යන්තරයේය.

නමුත් ගැටලුව වී ඇත්තේ මෙම ශල්‍ය තවමත් සමහර භූමිවල සක්‍රීයව පැවතීමයි. පසුගිය දිනවල නිවාස ඉදිකිරීම සඳහා මා විසින් කරන ලද පරීක්‍ෂාවන් වලදී ව්‍යාපාරික ස්ථානයකට පරීක්‍ෂා කළ භූමියක ඉදිරිපිට බලවත් ආකාරයට ශල්‍ය දෝෂ පැවතුනි. ඒ වගේම නිවසක් ඉදිකරන නගරබද පිහිටි භූමියකද ඒ ආකාරයෙන් ශල්‍ය දෝෂ පැවතුන අතර කලින් කී ස්ථානයේ තරමට බලවත් නොවුණි. කෙසේ හෝ එම භූමි දෙකේම ශල්‍ය දෝෂ ඉවත්කර ඉදිකිරීම් ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන්ම ශල්‍ය පවතීද? නැද්ද? යන වග දැනගැනීම අවශ්‍යවේ. එහිදී භූමියේ හිමිකරු භූමියේ ගිනිකතුර හෙවත් මධ්‍ය ලක්ෂයට පැමිණ ඊශාන දිසාව බලා ගම්බාර දෙවියන්ගෙන්, භූමි ඥාතීන්ගෙන් අවසර ලබාගත යුතුය. එනම් මම භූමියේ නිවසක් ඉදිකිරීමට සූදානම් වෙමි. ඔබ වහන්සේගේ ආරක්ෂාව, අවසරය මාහට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි යනුවෙන් සිතා භූමි ඥාතීන්ගේද අවසරය ඉල්ලා සිටිය යුතුය. එසේ අවසරය ඉල්ලා දක්ෂිණාවෘතව 07 වරක් කැරකිය යුතුය. ඉන්පසු හෙතෙම නෙත් පියාගෙන කැමැති දිශාවකට යා යුතුවේ. ඒ යන අතරේ 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 කැමැති සංඛ්‍යාවක් කිවිය යුතුය.එසේ කියන විට ඉරට්ටේ සංඛ්‍යාවක් හා ගිනිකොණ දිශාවට පියවර මැන්නා නම් එම භූමියේ අනිවාර්යෙන්ම ශල්‍ය පවතී. ඔත්තේ සංඛ්‍යාවක් පවසා ඊශාන දිශාවට හෝ නිරිත දිශාවට ගමන් කළා නම් එම භූමිය ඉතා වාසනාවන්ත නිවසක් සෑදීමට සුදුසු භූමියකි. අනෙකුත් දිශාවන් වන උතුර, නැගෙනහිර, දකුණ, දිශාවන් ද ශුභ වන අතර වයඹ බටහිර දිශා මධ්‍යස්ථ වේ. මේ ශල්‍ය පරීක්‍ෂා කරන එක් ක්‍රමයකි. තවත් ක්‍රමයක්ද පවතී. කෙසේ වුවද ශල්‍ය පැවතුනා යැයි නිවසක් ඉදිකිරීමට නතර කිරීමට අවශ්‍ය නැත. ඒ සඳහා ශල්‍ය දෝෂ ඉවත්කිරීමේ ක්‍රම අනුගමනය කර නිවස ඉදිකිරීම කළ හැකිය.

නිවසක් ඉදිකිරීමට පෙර භූමිය බලවත් කළ යුතුය

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment