අස්ථිර වස්තූන් අතැර ස්ථිර සතුට ළගාකර ගනිමු

91

ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් ද, දුර්ගුණ ඇති තැනැත්තා යහ ගුණයෙන් ද, මසුරු තැනැත්තා දීමෙන් ද, බොරු කියන්නා සත්‍යයෙන් ද ජය ගත යුතුයි. ක්‍රෝධ සිතුවිලි ඇති වූ විට හෝ ක්‍රෝධ කරන්නකු සිටින විට ඔබට ජයගත හැකි වන්නේ ක්‍රෝධ නොකිරීමෙන් හෙවත් මෙත් සිතුවිලි ඇති කර ගැනීමෙන් ය. තමන් තුළ ඇති නපුරු ගති නැති කර ගැනීමට හෝ නපුරු ගතිගුණ ඇති තැනැත්තන් ජය ගැනීමට නම් යහගුණ ඇති කර ගත යුතුය. තමන් සතු දේ දීමෙන් මසුරුකම ජය ගත යුතුය. ජය ගත හැකිය. බොරුව ජයගත හැකි වන්නේ එයින් වැළකී සත්‍යය කතා කිරීමෙන් ය. මේ අනුව ක්‍රෝධය මෛත්‍රියෙන් ද නපුරු ගති යහගුණවලින් ද මසුරුකම දානයෙන් ද බොරුව සත්‍යයෙන් ද ජය ගැනීමට අපිත් උත්සාහ ගනිමු.

තමන්ට තමා පහනක් කර ගන්නව. වීර්යය වඩා නුවණැතියකු වන්න. කෙලෙස් මළ සහිත රාගය දුරු කොට ජාති ජරා ආදියට නොපැමිණෙන්න. තමන් කරන හොඳ වැඩ තුළින් තමන්ගේ ජීවිතය ආලෝකවත් කර ගත යුතුය. තමන්ට පිහිට තමන්ම බව සලකා උත්සාහයෙන් කටයුතු කොට නුවණැතියකු වීමට ද රාගාදී කෙලෙස් නැති කිරීමේ කෙලෙස් රහිත පුද්ගලයකු වීමට ද මෙයින් උපදෙස් දී තිබේ. මේ සියල්ල කරගත යුත්තේ තමන් විසින් වන බැවින් වීර්යය උපදවා ගෙන නුවණැතියකු වීමටත් කෙළෙස් මළ දුරුකර ගැනීමෙන් සියලු දුකින් මිදීමටත් උත්සාහ ගනිමු.

සැවැත්නුවර ආසන්නයේ ගවයන් මරා විකිණීමෙන් හා ගවමස් කෑමෙන් ජීවත් වූ පවිටු මිනිසෙක් විය. ගවයන්ට දෙන දරුණු වධ හිංසා ඉවසිය නොහැකිව සිටි ඔහුගේ පුතා පියාගෙන් වෙන්ව තක්‍ෂිලා නුවරට පැන ගියේය. එක්තරා රන්කරුවකු සමීපයේ සේවය කළ ඔහු සුළු කාලයක් තුළදී දක්‍ෂ රන්කරුවෙක් ද විය. තම ස්වාමියාගේ සිත් දිනා ගැනීමට සමත් වූ මේ තරුණයාට රන්කරුවාගේ දියණිය ද ආවාහ කර දෙන ලදි.

ස්වෝත්සාහයෙන් දියුණු වූ ඔහු මහලු වියේදී තම දූ දරුවන් සමඟ නැවතත් සැවත් නුවරට පැමිණියේය. දූ දරුවෝ ද උත්සාහයෙන් කටයුතු කොට දියුණුවට පත් වූහ. දූ දරුවෝ එකතුව මහලු පියා වෙනුවෙන් බුදු පාමොක් මහ සඟනට දානයක් පිරිනැමූහ. එහිදී පියා දහම් අසා සෝවාන් විය. පියා වෙනුවෙන් දූ දරුවෝ නැවත නැවතත් මහ දන් පිරිනැමීමට අමතක නොකළහ. මෙම දානය පිළිගැන්වීම් අරබයා බුදුරජාණන් වහන්සේ ඉහත කී ගාථාවෙන් දහම් දෙසූ සේක. අනාගාමී වූ පියා බඹලොව ඉපිද පිරිනිවන් පෑවේය.

තමා විසින් ම කරන ලද පාපයෙන් තමන් කෙලෙසෙයි. තමන් පව් නොකළ හොත් තමාම පිරිසිදු වෙයි. පිරිසිදුවීම හා අපිරිසිදුවීම පවතින්නේ තමන් අතේමය. අනෙකෙකුට තවත් කෙනෙතු පිරිසිදු කළ නොහැකිය. කෙනෙකු තම ජීවිතය කිළිටි කරගන්නේ තමන් විසින්ම කරනු ලබන පාපකාරී ක්‍රියාවන්ගෙනි. තමන් පාපයෙන් වැළකෙන්නේ නම් පිරිසිදු අයෙකු විය හැකිය. මේ අනුව පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම හෝ පිළිබඳ වගකීම රැඳී ඇත්තේ තමන් වෙතමය. එබැවින් සියල්ලන් විසින් කළ යුත්තේ තමන්ම තම පිරිසිදු බව රැක ගැනීමය. වෙනත් කෙනෙක් තවත් කෙනෙක් පිරිසිදු කරන්නේ නැත. ඒ අනුව අප කළ යුත්තේ පාපකාරී ක්‍රියාවන්ගෙන් වැළකීමට තරයේ සිතට ගැනීමයි.

සිත කය වචනය යන තුන්දොරින් වැරදි නොකිරීමට ද යහපත් දේ කිරීමට ද කෙලෙසුන්ගෙන් සිත පිරිසිදු කර ගැනීමට ද සියලු බුදුවරු අනුශාසනා කරති. එම අනුශාසනා පිළිපදින අප විසින් පාපකාරී ක්‍රියාවලින් වැළකිය යුතුය. කුසල ක්‍රියාවන්හි යෙදිය යුතුය. එසේම ලෝභ, දෝස, මෝහ යන කෙලෙසුන්ගෙන් මිදී සිත පිරිසිදු කර ගත යුතුය. ලොව පහළවන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව මෙයයි.

ධනය, බලය, කීර්ති, ප්‍රශංසා ආදිය තාවකාලික සතුට ලබාදෙන මාර්ගයන් මිස නියම සතුට ලබාගත හැකි එකම මාර්ගය දියුණු කරන ලද සිතය. සතුට යනු කිසියම් මානසික තත්ත්වයක් නිසා එය ලබා ගත යුත්තේ දියුණු කරන ලද මනසින්ම ය. සිතෙන්මය. මානසික ශාන්තිය ලැබිය නොහැකි යැයි සමහරුන් සිතතත් එය සම්පූර්ණයෙන් ම වැරදි සිතුවිල්ලකි. සිත පිරිසිදු කිරීමෙන් අධ්‍යාත්මික ශාන්තිය ලබාගත හැකිමය. විනාශ වන, අස්ථිර ලෝකීය වස්තුන් අතහැර දැමීමෙන් ස්ථිර නොමියෙන සතුට ලබාගත හැකිය.

දඩල්ල, වාලුකාරාම වෙහෙරවැසි
ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment