වැරදිකරුවන්ට කල්යල් බලා දඬුවම් දෙන ජගන් මාතාව

690

හිංදු භක්තිකයන් මහත් වූ භක්ත්‍යාධරයෙන් පුද පූජා පවත්වන මහා තෙදැති බලැති චන්ඩ රෞද්‍ර යක්‍ෂයන් පිරිවරාගෙන නීල වර්ණ ශරීරයෙන් යුතුව නපුරු ගොරැති චන්ඩ නාගයින් ආභරණ සේ පළඳමින් දෙනෙතින් ගිනි රශ්මිය විහිදුවාලමින් ගිනි පලිහක්ද නර හිසක්ද අත දරා අසුර කඳක් මත පා තබාගෙන බියකරු සාහසික දේව ස්වරූපයෙන් අට දිශාවටම බැල්ම හෙළා සිටින කාලි මෑණියෝ ජාති භේදයකින් තොරව දැන දැන වැරදි කරන විශේෂයෙන්ම අසරණයින් අහිංසකයින් තලා පෙළන දුර්ජන අධම පාපතරයන්ට කල් යල් බලා නිසි දැඩි දඬුවම් ලබාදේ.

කාලි මෑණියන් යනු මේ මහා භද්‍ර කල්පයට අධිපති දෙවඟනය. මේ මහා භද්‍ර කල්පයේ බුදුවූ කකු සඳ, කෝනාගම, කාශ්‍යප හා ගෞතම යන බුදුන්වහන්සේලා දවස ඉපිද අසීමිත ලෙස පුන්‍යකර්ම සිදුකර එම බුදුන් වහන්සේලා වෙතින් බුදු වීමට විවරණ ලැබූ උත්තමාවියකි. එසේම කාලි මෑණියන් තමන් බුදු බව ලබන ආත්මයේ තමාට පුරුෂ ආත්මයක් ලැබෙන ලෙසද ප්‍රාර්ථනා කළ බව කියවේ.

කාලි මෑණියන් අතීතයේ සිදුකළ අනන්ත වූ කුසල මහිමයෙන් මව් කුස පිළිසිඳ නොගෙන ඕපපාතිකව උපත ලද බවද සඳහන්ය. විශේෂයෙන් කාලි මෑනියන් සැබෑ අහිංසකයන්, සත්‍යවාදී, ගුණ ගරුක, යහපත් පුද්ගලයන් හට නිකරුනේ නිරපරාදේ යම් අයුක්තියක්, අසාධාරණයක්, හිංසාවක්, පීඩාවක්, ලැජ්ජාවක්, රැවටීමක්, මුළා කිරීමක්, වංචාවක්, චරිත ඝාතනයක්, බොරු චෝදනාවක් වැනි යමක් සිදුවූ කල එවැනි පහත් අධම දෑ සිදුකරන දුර්ජන, අධම, එලොවක් මෙලොවක් නොඅදහන පාපතරයන්ට නිසි දැඩි දඬුවම් කල් යල් බලා ලබාදී යුක්තිය, සාධාරණය පසිඳුවාලන දේවතාවියකි. තවද ලෝක විනාශ වළකා සොභාදහම රැකි උත්තමාවියක් නිසාවෙන් ජගත් මාතාව ලෙසද කාලි මෑනියන් හඳුන්වනු ලබයි.

නීල වර්ණ වූ ශරීරයකින් භයංකර පෙනුමකින් යුතුව නරයන් පුදන බලිහා බිලි පුදගෙන වැඩ සිටින කාලි මෑණියන්ට පිරිවර සේනා කිහිපයකි. ඒ අතර කාලි හක් කට්ටුව විශේෂය. එම කාලි හත් කට්ටුව මෙසේය. මහා කාලී, ප්‍රේත කාලි, වඳුරු කෑලි, රීරි කාලි, ගිනි කාලි, ලේ කාලි, සොහොන් කාලි, මෙම කාලි හත් තට්ටුව භද්‍ර කාලී මෑනියන් වෙතින් පිහිට ලබාගත් යක්‍ෂ සේනාධිපතිනියන් වේ. මෙකී කාලි හත්කට්ටුවට පරිබාහිරව දූත පිරිස් ලෙස කටයුතු කරන යක්‍ෂණියන්ද වේ. එම යක්‍ෂණියන් විවිධවූ නම්වලින් පත්‍ර කාලි ලෙස හඳුන්වයි. මේ සියල්ලටත් පරිබාහිරව විවිධ වූ නම් වලින් සාමාන්‍ය යක්‍ෂණියෝ සේවිකාවන් ලෙස කාලි මෑණියන්ට සේවය කරයි. මේ අයුරින් භද්‍ර කාලි මෑණියන් යක්‍ෂ සේනාධිපතිනියන් මෙන්ම විවිධ නිල තල දරණ යක්‍ෂණියන් පිරිවරා වැඩ සිටී. විශේෂයෙන් කාලි හත්කට්ටුවේ සොහොන් කාලිය ඉතා දරුණුය. එතුමිය අමු සොහොන තම නිවහන කරගෙන වැඩ සිටී. මෙම සොහොන් කාලිය භද්‍රකාලී මෑණියන්ගේ ප්‍රධාන යක්‍ෂ සේනාධිපතිනිය ලෙසද බහුතරයක් පිළිගනී. සාමාන්‍යයෙන් මෘත දේහයක් නිවසින් සොහොනට ගෙන ගිය පසු එම නිවසේ මෘත දේහය තැන්පත් කර තිබූ ස්ථානයේ ලිපක් බැඳ පොල් කිරි ඉතිරිවීම සිදුකරයි. මෙසේ සිදුකරන්නේ සොහොන් කාලිය හෙවත් මංගර යක්‍ෂණිය පිදීමටය. මෙම ක්‍රියාව තුළින් යක්‍ෂ ප්‍රේත ආදී දෝෂවලින් නිවසත් නිවැසියනුත් ආරක්‍ෂාවේය යන්න සම්මත පිළිගැනීමයි.

කාලි මෑණියන් කෝප වුවහොත් එම කෝප ගින්න නිවීමට සමතෙක් තුන් ලොවෙහිම නොමැත. එනිසා භද්‍රකාලි මෑණියන් වෙතින් පිහිට සරණ උපරිම වශයෙන් ලැබීමට නම් ධාර්මිකව, සිල්වත්ව පස් පවින් වැළකී අවම වශයෙන් දින 3 කට කලින්වත් නිර්මාංශව පේවී දිය නා පිරිසිදුව බුදුන් වැඳ තිසරණ සරණ ගොස් දෙවියන්ට පිං දී භද්‍ර කාලී මෑණියන්ටද පින් අනුමෝදන් කර එතුමිය පතන පුරුෂ ආත්ම භාවයන් ලොව්තුරු බුදු බවත් ලැබේවායි පතා අව පාර්ශ්වයේ පූජාවක් තබා රතු මල් මාලා ආදිය පළඳවා දනින් වැටී තමන්ගේ සත්‍ය සර්ව සාධාරණ වූ දුක් ගැනවිල්ල නොසඟවා පැවසීමේදී භද්‍ර කාලී මෑණියන්ගේ සරණ පිහිට ලැබ දුකින් මිදී සාධාරණය ඉෂ්ඨ සිද්ධ කරගත හැකිය. කාලි මෑණියන්ට පුද පූජා පැවැත්වීමේදී ඊශ්වර දෙවිඳුන් ද පත්තිනි දේව මෑණියන්ද අත්‍යවශ්‍යයෙන්ම සිහිකළ යුතුය. ඒ ඊශ්වර දෙවිඳුන්ගෙන් වරම් ගත් පත්තිනි මෑණියන් වෙතින් කාලි මෑණියන් වරම්ගත් නිසාවෙනි.

භද්‍රකාලි මෑනියන් උදෙසා පුදනු ලබන පූජා වට්ටිය පිළියෙල කිරීමේදී එහි අන්තර්ගත කළ යුතු දෑ බොහෝය. හොඳින් සුවඳ විහිදෙන සේ ඉදුනු පළතුරු වර්ග 8 ක්, ඉදුනු රත් කෙහෙල් හෝ ආනමාලු ගෙඩි 7 ක්, කැවිලි වර්ග 7 ක්, තෝසේ 7 ක්, උළුඳුවඩේ 7 ක්, මුරුක්කු ටේස් කඩල වැනි දෑ, ඇස්ස කපා සිදුරු කළ තැඹිලි ගෙඩියක්, පෙරන් ගැපොල් ගෙඩියක්, තම්බා තෙම්පරාදු කරගත් කඩල, කල්කිරි බෝතලයක්, දෙහි ගැට 7 ක්, රතු මල් ටිකක්, රතු මල් මාලයක්, රතු පාට තිර රෙදි මීටර් 1/2 ක්, රතු සේලයක් හෝ රතු මනිපූරී වැනි සාරියක්, නිසි ප්‍රමිතියෙන් යුතු බුලත් කොළ 21 ක්, කාසි 7 ක්, කපුරු පෙති, හඳුන්කූරු ආදිය මූලිකය. මෙකී ද්‍රව්‍යවලින් පොහොසත්ව ඉතා පිරිසිදුව සාදා ගන්නා පූජා වට්ටිය සතියේ අඟහරුවාදා හෝ සිකුරාදා දිනක කාලි කෝවිලකට ගොස් පූජාව පේ කිරීම සඳහා කාලි දැහැන් 7 යොදාගෙන කාලි මෑනියන් උදෙසා පූජාව පිදිය යුතුය. විශේෂයෙන් කාලි මෑණියන් උදෙසා සකසන පූජා වට්ටියේ මස්, මාළු, බිත්තර වැනි පිලී සහිත ආහාර කිසිවක් නොතැබිය යුතුය. තවද කාලි මෑණියන්ට පොල් ගැසීමේදී පසු පසට ගොස් මුඩ්ඩ කඩා පොලේ ගැසිය යුතුය. මෙය මෙසේ සිදුකරන්නේ දැඩි දඬුවම් ලබාදීම බලාපොරොත්තුවෙනි.

මේ සියල්ලට අතිරේකව කාලි මෑණියන් උදෙසා සිදුකරන විශේෂ පූජාවක් ලෙස දෙහි ගෙඩි මාල පූජාව, රත්‍රං මාල පූජාව, රත්‍රං හෝ රිදී ඔටුනු පූජාව සිදුකරනු දැකිය හැක. කෙසේ නමුත් භද්‍ර කාලි මෑණියන් අනවිණ, කොඩිවින වළක්වනවා සේම ඇස්වහ, කටවහ දෝෂ පවා දුරු කරයි. හලං 8 කට හිමිකම් කියන කාලි මෑණියන් උදෙසා පහන් තැබීමේදී පහණට දමන තෙල් ලෙස අබ තෙල් යොදාගත යුතු අතර දිනපතා කාලි මෑණියන් උදෙසා පහන් තැබීමට රාත්‍රි 08.07 ත් 08.24 ත් අතර කාලය ශුභ වන අතර කිළි කුණුවලින් තොරව පිරිසිදුව භක්තියෙන් පහන් තැබිය යුතුය. ඔබත් ඉහත සඳහන් ලෙසට වත් පිළිවෙත් නිවැරදිව සිදුකර ඔබ සිදුකරන පින් කාලි මෑණියන්ට අනුමෝදන් කර සකලාන්තරයන්ගෙන් මිදී කාලි මෑණියන්ගේ පිහිට සරණ ලබාගන්න.

වැරදිකරුවන්ට කල්යල් බලා දඬුවම් දෙන ජගන් මාතාව

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 077 480 9364

advertistmentadvertistment
advertistmentadvertistment