නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය යුනුස්ට සිරදඬුවමක්

444

බංග්ලාදේශයේ අන්ත දුගී බව නැතිකරලීමේ අරමුණින් හඳුන්වා දී ඇති ලොව ප්‍රකට ග්‍රාමීන් බැංකු සංකල්පයේ නිර්මාතෘවරයා වන නොබෙල් සාම ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මුහමද් යුනුස්ට කම්කරු නීති උල්ලංඝනය කිරීමේ වරදට හය මසක සිරදඬුවමක් ලබා දීමට බංග්ලාදේශ අධිකරණයක් මගින් පෙරේදා (01) පියවර ගෙන තිබේ. මහාචාර්ය යුනුස්ට අමතරව බංග්ලාදේශයේ ග්‍රාමීන් ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් තිදෙනෙකුටද මේ යටතේ හය මසක සිරදඬුවම් නියම වී ඇති අතර ඔවුන් විසින් කිසිදු වරදක් සිදු නොකළ බවට ඉදිරිපත් කළ අභියාචනා සැලකිල්ලට ගත් අධිකරණය එම සිවු දෙනා ඇප මත මුදා හැර තිබේ. ජාත්‍යන්තර වශයෙන් දුප්පත් මිනිසාගේ බැංකුකරු යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන 83 හැවිරිදි මහාචාර්ය යුනුස්ගේ ආධාරකරුවන්ට අනුව බංග්ලාදේශ අධිකරණය විසින් ලබා දුන් සිර දඬුවම් තීන්දුව දේශපාලන බලපෑම් මත ලබා දුන් තීන්දුවකි. ඇප මත නිදහස් වීමෙන් පසු මාධ්‍ය අමතා අදහස් දක්වා ඇති මහාචාර්ය යුනුස් සෑම බංග්ලාදේශ ජාතිකයකුම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා අසාධාරණයට එරෙහිව එක හඬක් නැගිය යුතුව ඇතැයි සඳහන් කර තිබේ. මහාචාර්ය යුනුස්ට හා ඔහුගේ ග්‍රාමීන් බැංකු සංකල්පයට 2006 වසරේදී නොබෙල් සාම ත්‍යාගය හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment