පන්නල ගෙදරක භූගත හොර කච්චේරියක්

292

ඇතුළට යන්නේ ටයිල් කැට 4ක් ගලවලා

සැකකරුවෝ දෙදෙනෙක් සහ යන්ත්‍ර අත්අඩංගුවට

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන පන්නල ප්‍රදේශයේ නිවසක භූගත කාර්යාලයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු සමග ඒවා සකස් කිරීමට යොදා ගෙන තිබූ යන්ත්‍ර ද සමග පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් සහ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 20 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නිවස පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ අතර පන්නල, ඇළබඩගම ප්‍රදේශයේ තිබූ නිවස වටලා, එහි බිම අතුරා තිබූ පිඟන් ගඩොල් හතරක් ඉවත් කර මෙම මුද්‍රණාල සංකීර්ණය වෙත පිවිස තිබේ.

මෙම මුද්‍රණාලයේ විදෙස්වලින් නිකුත් කරන ආකාරයේ උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුතු අති නවීන මුද්‍රණ උපකරණ, විවිධ රටවල සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා සමාන නිල මුද්‍රා, ජල මුද්‍රා සටහන් කළ හැකි මුද්‍රණ යන්ත්‍ර ඇතුළු තවත් නවීනතම යන්ත්‍ර රාශියක් තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුද්‍රණාල සංකීර්ණයේ ඒ වන විට එම කටයුතුවල නියැළී සිටි වයස අවුරුදු 22 සහ 23 පසුවන තරුණයන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා සහ මෙම මුද්‍රණාලය තුළ පැවැති මුද්‍රණ උපකරණ සහ යන්ත්‍ර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ, කිරුළපන පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment