පපුවේ මහන්සියට රෝහල් ගතකළ රෝගියා එන්නතක් දීමෙන් පසු අයිසීයූ එකේ

166

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රෝගියකුට ලබාදුන් ‘සෙෆ්ටි්‍රයක්සොන් (Ceftriaxone) නමැති ප්‍රතිජීවක එන්නතකින් බරපතළ සංකූලතා ඇතිවීම නිසා එම රෝගියා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මීට පෙර මහනුවර ජාතික රෝහලේ දී කාන්තාවකට ද මෙම ප්‍රතිජීවක එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් එම කාන්තාව ජීවිතක්‍ෂයට පත්වූවත් එම ඖෂධයේ කිසිදු වරදක් නැති බව තහවුරු කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටින මෙම රෝගියා පසුගිය 09 දා පපුවේ මහන්සිය නිසා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත ‘සෙෆ්ටි්‍රයක්යෝන්’ නමැති ප්‍රතිජීවක එන්නත ලබාදී තිබේ.

එන්නත දීමෙන් පසු තමාගේ අත පණ නැතැයි රෝගියා පැමිණිලිකර තිබේ. පසුව ඇතිවූ දැඩි සංකූලතා නිසා රෝගියා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහිදී සිදුකළ පරීක්‍ෂණවලින් රෝගියාගේ රුධිර පීඩනය සහ පෙනහැල්ලේ ඔක්සිජන් ප්‍රතිශතය දැඩි ලෙස අඩුව ඇති බවට වාර්තා වී තිබේ.

බාල බෙහෙත් සහ හොර බෙහෙත් පිළිබඳව විශාල ආන්දෝලනයක් රට තුළ පවතින බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකිරීම සෞඛ්‍ය ඇමැතිවරයාගේ වගකීම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment