පළමු දිනයේදී නව තරග වාර්තා 06 ක් – 33 වැනි ජාතික යෞවන ක‍්‍රීඩා උළෙල

264

33 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ ප‍්‍රථම දිනය වූ ඊයේ (20 වැනිදා) අවසන් වන විට නව තරග වාර්තා 06 ක් බිහි කිරීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

වයස අවුරුදු 20 න් ඉහළ යගුලිය විසි කිරීම පිරිමි තරග ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට කොළඹ දිස්ත‍්‍රික්කයේ ඩබ්.එස්. මදුසංඛ (මීටර් 16.43) සමත් විය. ඔහු විසින් මෙම තරග වාර්තාව බිහිකරනු ලැබුවේ 2011 වර්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඩබ්.ඒ.ටී. සම්පත් විසින් පිහිටුවා තිබූ මීටර් 14.05 ක වාර්තාව බිඳ හෙළමිනි.

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙම ක‍්‍රීඩා උළෙල සංවිධානය කරනු ලබයි.

හෙල්ල විසි කිරීම 20 න් පහළ කාන්තා තරග ඉසව්ව ජයග‍්‍රහණය කළ අම්පාර දිස්ත‍්‍රික්කයේ ඞී.එම්.අයි. හසන්ති (මීටර් 42.35), 20 න් පහළ මීටර් 800 කාන්තා තරග ඉසව්ව ජයග‍්‍රහණය කළ ගම්පහ දිස්ත‍්‍රික්කයේ කේ. ශානිකා ලක්ෂානි (2.11.27), 20 න් පහළ මීටර් 800 පිරිමි ඉසව්ව ජයග‍්‍රහණය කළ මහනුවර දිස්ත‍්‍රික්කයේ වී.ජී.එන්.ඞී. බුලූගහපිටිය (1.54.23) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝද නව වාර්තා බිහි කළහ.

මෙම ක‍්‍රීඩා උළෙලේ ඉතිරි නව තරග වාර්තා දෙක මූලික වටයේ තරගවල 20 න් පහළ කාන්තා 100 කඩුලූ පැනීම තරග ඉසව්වෙන් තත් 15.22 ක දක්ෂතාවක් දැක්වූ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පී. රක්ෂානා හා 20 න් පහළ පිරිමි 110 කඩුලූ පැනීම තරගයෙන් තත් 14.27 ක දක්ෂතාවක් දැක්වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඞී.එම්. නදුන් කවීෂ බණ්ඩාර විසින් පිහිටුවනු ලැබීය.

ටී. අනිල් සිරිවර්ධන – කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment