ප්‍රජාජල ව්‍යාපෘතිවලින් ගම සවිබල ගැන්වීම

1001

රට පුරා ඇති මේ ජල යෝජනා ක්‍රමවලින් මුළු ලංකාවේම 721742 ක් ජල සම්බන්ධතා ගෙන ජලය පරිභෝජනය කරනු ලබයි. මෙය සමස්ත ජල සම්බන්ධතාවලින් සියයට 12.36 ක් තරම් සැලකිය යුතු ප්‍රතිශතයකි. මින් රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් 126 000 ක පමණ ජල සම්බන්ධතා ලබා දී තිබීම විශේෂත්වයකි. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කය ගතහොත් සෑම මසකම 100 කට අධික නව ජල සම්බන්ධතා ලබා දීම ද සිදු කරනු ලබයි. මේ අනුව සහභාගිත්ව සංවර්ධනයෙන් බලගැන්වුණු මේ ප්‍රජාජල ව්‍යාපෘති මගින් රටේ ජල පාරිභෝගිකයන්ට සැලකිය යුතු ජාතික මෙහෙයක් සිදුකර බව ද සඳහන් කළ හැකිය.

ජලයේ වැදගත්කම

ජලය අපට අත්‍යවශ්‍යම සහ නැතුවම බැරි දෙයකි. මේ අතරින් පිරිසිදු, නැවුම් පානීය ජලය මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යවශ්‍ය වේ. ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනුමෙහි හැකියාව පසුගිය දශක කිහිපය තුළදී ලොව සියලු ප්‍රදේශයකම පාහේ ක්‍රමයෙන් හා විද්‍යමාන ලෙසින් වර්ධනයට පත්ව ඇත. ආරක්ෂා සහිත ජලය සපයා ගැනීමේ හැකියාව සහ ඒක පුද්ගල නිෂ්පාදනය අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බවද පැවසේ. කෙසේවෙතත්, සමහරක් නිරීක්‍ෂකයන් සඳහන් කර ඇත්තේ 2025 වන විට ලෝක ජනගහනයෙන් අඩකට වඩා ජල-ආශ්‍රිත අවදානමකට මුහුණ දෙනු ඇති බවයි. එනම් ලොව ඇතැම් දියුණු වෙමින් පවතින පළාත්වල, ජල ඉල්ලුම සැපයුමට වඩා වැඩිවෙනු ඇති බවයි. ජලය විසින් ලෝක ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනුයේ, එය පුළුල් පරාසයක රසායනික ද්‍රව්‍ය සඳහා ද්‍රාවකයක් ලෙස ක්‍රියා කරන හෙයින් හා කාර්මික සිසිලනය හා ප්‍රවාහනය සඳහා පහසුකම් සපයන්නකු වීම හෙයිනි.

ප්‍රජා සහභාගිත්වය

අප මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරනුයේ මෙරට ජනයාට පානීය ජලය ලබාදෙන ප්‍රජාජල ව්‍යාපෘති ගැනය. ප්‍රජා ආර්ථිකය ශක්තිමත් කිරීම මඟින් ජනතාවට සේවය කිරීම උදෙසා සියලු පාර්ශ්වයන්ට පහසුකම් සැපයීම මෙම ප්‍රජාජල ව්‍යාපෘතියේ මෙහෙවරයි. මෙම ප්‍රජාජල ව්‍යාපෘතිවල වැදගත් ලක්ෂණයක් වන්නේ ප්‍රජා සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශය

අනුගමනය කිරීමයි. එනම් ප්‍රජාවගේ දායකත්වය ද සහිතව මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. අතීතයේ සංවර්ධන ව්‍යාපෘති මගින් හැම විටම ප්‍රජාවගේ අවශ්‍යතාවන් ඉටු වූයේ නැත. මේ නිසා නූතනයේ ග්‍රාමීය සංවර්ධනයේ දී ප්‍රජාව සම්බන්ධ වන සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයක් අනුගමනය කිරීම සංවර්ධනයේ නව ප්‍රවේශයක් වශයෙන් භාවිතයට ගැනීම ආරම්භ වී ඇත. මෙහිදී ව්‍යාපෘතියේ විවිධ අවස්ථාවලදී පාර්ශ්වකරුවන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීම සිදුවේ.

සුවදිවි ප්‍රජාජල ව්‍යාපෘතිය නිරීක්ෂණය

මීට සති දෙකකට පමණ පෙර අපට ඇඹිලිපිටියේ පිහිටි ප්‍රජාජල ව්‍යාපෘති දෙකක් නිරීක්ෂණය කිරීමට හැකි විය. ඒවා නම් තුංකම සුවදිවි ප්‍රජාජල ව්‍යාපෘතිය සහ ශ්‍රී සංඛ ප්‍රජාජල ව්‍යාපෘතියයි. උල්ලිදුවාව ගිං නදී නම් තවත් ප්‍රජාජල ව්‍යාපෘතියක් ද ඇඹිලිපිටියේ ක්‍රියාත්මක වේ. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සමාජවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව හදාරන සිසුන් කණ්ඩායමක් ඇඹිලිපිටියේ ප්‍රදේශයේ පිහිටි මෙම ප්‍රජාජල ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට පැමිණ සිටියේය. ඔවුන් සමග ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සහ කථිකාචාර්ය රසික කරුණාරත්න මහතා ද පශ්චාත් උපාධි සිසුන්ට මඟ පෙන්වීම සඳහා මේ චාරිකාවට එක්ව සිටියේය. මේ චාරිකාවට එක් වීමට මේ ලියුම්කරුට ද අවස්ථාව ලැබුණු අතර මේ පිරිස මුලින්ම ගියේ තුංකම සුවදිවි ප්‍රජාජල මධ්‍යස්ථානය වෙතය. එදින උදෑසන එහි යන විටත් සුවදිවි ප්‍රජාජල මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ජාතික ප්‍රජාජල දෙපාර්තමේන්තුවේ රත්නපුර ප්‍රජාජල ව්‍යාපෘති ස්ථානභාර නිලධාරි අරුණ විජේරත්න මයා සහ සුව දිවි ජල ව්‍යාපෘතියේ සංවර්ධන නිලධාරිනිය මෙන්ම එම ව්‍යාපෘතියේ සභාපති රංජිත් වීරසිංහ මහතා ද එම ස්ථානයට පැමිණ සිටියේය. ඔවුන් පැමිණ සිටියේ අප නිරීක්ෂණය කිරීමට යන ඇඹිලිපිටියේ ප්‍රජාජල ව්‍යාපෘති ගැන දැනුවත් කිරීම සඳහාය.

ප්‍රජාජල ව්‍යාපෘතිවල දායකත්වය

මේ අනුව මුලින්ම සිදු වූයේ මෙම ජල ව්‍යාපෘතිය ගැන පිරිස දැනුම්වත් කිරීමයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතා වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීමෙන් පසු ජාතික ප්‍රජාජල දෙපාර්තමේන්තුවේ ප්‍රජාජල ව්‍යාපෘති ස්ථානභාර නිලධාරි අරුණ විජේරත්න සහ මෙම සුව දිවි ජල ව්‍යාපෘතියේ සභාපති රංජිත් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිස විසින් ව්‍යාපෘති නිරීක්ෂණයට පෙර මූලික දැනුවත් කිරීම සිදු කරනු ලැබිණි. දැන් මෙම ජල ව්‍යාපෘති භාර රජයේ දෙපාර්තමේන්තුව වන්නේ ජාතික ප්‍රජාජල සැපයුම් දෙපාර්තමේන්තුවයි. එය 2014.09.19 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ස්ථාපිත කර තිබේ. මේ වන විට දිස්ත්‍රික් 25 ම මෙම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල ස්ථාපිත කර තිබේ. මෙහි ලියාපදිංචි ප්‍රජා මූල සංවිධාන ගණන හාරදහසක් පමණ වන අතර ලියාපදිංචි නොවූ ප්‍රජාමූල සංවිධාන ද සමග රට තුළ ඇති මුළු ප්‍රජා මූල සංවිධාන ගණන 4985 ක් බව අරුණ විජේරත්න මහතා පවසයි. රට පුරා ඇති මේ ජල යෝජනා ක්‍රමවලින් මුළු ලංකාවේම 721742 ක් ජල සම්බන්ධතා ගෙන ජලය පරිභෝජනය කරනු ලබයි. මෙය සමස්ත ජල සම්බන්ධතාවලින් සියයට 12.36 ක් තරම් සැලකිය යුතු ප්‍රතිශතයකි. මින් රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් 126 000 ක පමණ ජල සම්බන්ධතා ලබා දී තිබීම විශේෂත්වයකි. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කය ගතහොත් සෑම මසකම 100 කට අධික නව ජල සම්බන්ධතා ලබා දීම ද සිදු කරනු ලබයි. මේ අනුව සහභාගිත්ව සංවර්ධනයෙන් බලගැන්වුණු මේ ප්‍රජාජල ව්‍යාපෘති මගින් රටේ ජල පාරිභෝගිකයන්ට සැලකිය යුතු ජාතික මෙහෙයක් සිදුකර බව ද සඳහන් කළ හැකිය.

ජලය නිසා විඳි දුක් ගැහැට

ඇඹිලිපිටිය ප්‍රදේශය ජනාවාස වීම ආරම්භ වූයේ වර්ෂ 1956 දී චන්ද්‍රිකා වැව නිර්මාණය වීමත් සමඟය. මේ චන්ද්‍රිකා වැව ආරම්භ වීමත් සමග තුංකම ඇතුළු අවට ගම්වල ජනතාව තම බොහෝ ජල අවශ්‍යතා සපුරා ගනු ලැබුවේ චන්ද්‍රිකා වැවෙනි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුංකම ග්‍රාම නිලධාරි වසම කෘෂි ආර්ථික ගම්මානයක් ලෙස සඳහන් කළ හැකිය. එම වසම නිවාස 1992 කින් පමණ සමන්විත වන අතර 9500කට අධික ජනගහනයකින් යුක්තය. දිගු කලක් එනම් පරම්පරා යුග දෙකක් ගෙවී යන තෙක්ම ඔව්හු ජලය නිසා ඉමහත් දුකක් විඳ ඇත. මෙසේ මහත් දුෂ්කරතා විඳිමින් ජල ගැටලුව විසඳා ගන්නට ඔවුන් බොහෝ උත්සාහයන් ගෙන ඇත. ඒ බව තුංකම ඇතුළු අවට ගම්වල ගෙවල්වල ඇවිද ගිය අපට එම නිවැසියන්ගෙන් දැන ගැනීමට ලැබිණි. ඇතැම් විට කාන්තාවන්ට කිලෝමීටර් ගණන් දුරක් ජලය වෙනුවෙන් පයින් ගමන් කිරීමට සිදුව තිබිණි. හිසේ හා දෑතට දිය කළ ගෙන එමින් දවසේ මෙහෙවර උදේම ආරම්භ කළ ඔවුන්ට දවස නිමා වී යළි දිය ගෙන ඒමට ඒ දුරම යෑමට සිදුව තිබිණි. දවසේ බොහෝ කාලයක් ජලය සපයා ගැනීම වෙනුවෙන් මිඩංගු කිරීමට මේ ජනයාට සිදුව තිබිණි. එහෙත් මේ වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වී ඇත. අප මේ කීමට යන්නේ ඒ ගැනය.

1992 වර්ෂයේ ප්‍රජාජල සම්පාදන ව්‍යාපෘතිය ග්‍රාමීය ජල සම්පාදනයට යොමු වීමත් සමග මේ ඉමහත් දුෂ්කරතා විඳි ග්‍රාමීය ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳීම කෙරෙහි රටේ අවධානය යොමුව තිබේ. ඒ අනුව 2007 වර්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තෝරා ගැනීමත් සමග තුංකම ජනතාවට ද නවයුගයක අරුණලු වැටෙන්නට විය. එවකට නිවාස 1229 කට සැලසුම් කළ තුංකම සුවදිවි ප්‍රජාජල යෝජනා ක්‍රමය අද වන විට තුංකම, කුට්ටිගල සහ හාගල යන ගම්වල සාමාජිකයන් 2780 ක පමණ පිරිසකට සෙත සලසයි. එහි ප්‍රතිලාභ ලබන පිරිස 10,000 ඉක්මවන බව ද පැවසේ.

රජයේ ප්‍රතිපාදන සියයට 80 ක් යොදවමින් ප්‍රජාව ග්‍රාමීය සංවර්ධනයට දායක කර ගනිමින් සියයට 20 ක ප්‍රජා දායකත්වයක් ලබා ගැනීම ප්‍රජාජල යෝජනා ක්‍රමයේ මූලික ලක්ෂණයක් වේ. මේ අනුව එවකට රජයෙන් ලබාදුන් මුදලට අමතරව එක් ප්‍රතිලාභී නිවසකින් රුපියල් 4500ක් බැගින් ප්‍රජා මූල සංවිධානය විසින් ද මුදල් යෙදීම සිදු විය. එසේම ප්‍රතිලාභීන්ගෙන් දින 15ක ශ්‍රම දායකත්වය ලබා ගනිමින් මේ ජල සම්පාදන යෝජනා ක්‍රමයට ප්‍රජාව දායක වී ඇත. ප්‍රජා මූල සංවිධාන සංකල්පය තුළින් ග්‍රාමීය නායකත්වය වඩාත් කැපී පෙනෙන අයුරින් මේ සංවර්ධන ක්‍රියාවලිය සිදු කරන්නට ද හැකියාව ලැබී ඇත.

කෝටි 6.9 ක අරමුදල්

තුංකම සුව දිවි ප්‍රජා මූල සංවිධානය මුලින් ස්වේච්ඡා සංවිධානයක් ලෙස ගොඩනැගී ඇත. මෙහි අද වන විට විධිමත් ආයතනික ස්වරූපයක් තිබේ. කාර්ය මණ්ඩලය නිලධාරීන් හය දෙනෙක්ගෙන් හා සේවක මණ්ඩලයකින් ද සමන්විතය. සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය සහිතව ඔවුන්ට සැලකිය යුතු වැටුප් ද ගෙවනු ලබයි. රංජිත් වීරසිංහ මහතා පවසන පරිදි සංවිධානය සතුව වර්තමානයේ කෝටි 6.9 ක පමණ අරමුදල් තිබේ. මින් කෝටි 5.5 ක් පමණ ඇත්තේ ස්ථිර තැන්පතු ලෙසය. මෙවැනි සාර්ථකත්වයක් කරා මෙම ව්‍යාපෘතියට පැමිණීමට ඔවුන් දිගු දුෂ්කර ගමනක් පැමිණ ඇත. ඒ සඳහා ඔවුන් භාවිත කළ උපායමාර්ගයන් බොහෝමයක් ද ඇති බව ජාතික ප්‍රජාජල සැපයුම් දෙපාර්තමේන්තුවේ රත්නපුර කාර්යාලයේ සංවර්ධන නිලධාරි නදී කස්තුරිආරච්චි මහත්මියගෙන් අපට දන ගැනීමට ලැබිණි. ඇය සඳහන් කරන පරිදි එම ලක්ෂණ වන්නේ කුඩා කණ්ඩායම් ක්‍රමය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම, අනු ගම්මාන ප්‍රජා රැස්වීම් මඟින් හඳුනාගනු ලබන නායකත්වය, නියෝජිත මහ සභා ක්‍රමය, සහනදායි මාසික ජල බිල, මූල්‍ය විනිවිදභාවය, ප්‍රජා ඉල්ලීම් ඉටුකිරීම, ශක්තිමත් ව්‍යවස්ථාවක් තිබීම, පොදු අවශ්‍යතා ඉටු කරන “එක ගමකට එක වැඩක්” සංකල්පය, සහනදායි ණය යෝජනා ක්‍රමය (රු.30000 ක් දක්වා), ප්‍රජා සත්කාරක සේවා, ශිෂ්‍යත්ව අරමුදල් ප්‍රදානය, මරණාධාර වැඩසටහන, ස්වයං රැකියා වැඩසටහන, හොඳ නායකත්වයක් තිබීම, විධිමත් පුහුණුව, රජයේ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන නියාමනය හා මඟපෙන්වීම, මැනවින් ලිපි ලේඛන පවත්වා ගෙන යෑම සහ සාර්ථක ඉතුරුම් හා නිවැරදි ආයෝජන ක්‍රියාවලියක් තිබීම යන ඒවාය.

ලබාගත් ජයග්‍රහණ

මෙම ප්‍රජා මූල සංවිධාන ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වේ. සෑම මසකම එහි විධායක සභාව පවත්වා මාසික අය වැය ඉදිරිපත් කිරීමත්, ඉදිරි මාසය සඳහා යෝජිත වැඩසටහන අනුමත කිරීමත් සිදු වේ. එහි දී, මාසික අය වැය වාර්තා පිටපතක් සෑම විධායක සභිකයකුට ම ලබා දෙයි. වර්ෂ අවසානයේ බාහිර විගණන ආයතනයක් විසින් සිදු කරන විගණන වාර්තාවක්, පවත්වනු ලබන සංවත්සර නියෝජිත මහ සභාවට ඉදිරිපත් කරනු ලබයි. සුවදිවි ප්‍රජා මූල සංවිධානය මේ වන විට ජයග්‍රහණ

රැසක් ද ලබා ඇත. එනම් 2014 ලෝක ජල දිනය තේමා කර ගනිමින් කාර්යක්ෂම හා විශිෂ්ටතම ප්‍රජා මූල සංවිධානය සඳහා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීම, 2014 අන්තර්ජාතික ජල සමුළුවේ දී සාර්ථකම ප්‍රජා මූල සංවිධාන අතුරින් දෙවැනි ස්ථානය ලබා ගැනීම, විශිෂ්ටතම ග්‍රාමීය ජල පිරිපහදුව සඳහා දිස්ත්‍රික් මට්ටමේ තෙවැනි ස්ථානය ලබා ගැනීම, 2016 ජාතික ප්‍රජාජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ලෝක ජල දිනයේ ක්‍රියාකාරී ප්‍රජා මූල සංවිධානය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථම ස්ථානය ලබා ගැනීම සහ 2016 දී ජාතික ප්‍රජාජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ලෝක ජල දිනයේ ක්‍රියාකාරී ප්‍රජා මූල සංවිධානය සඳහා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීම යන ඒවාය.

අගමැතිවරයාගේ පැමිණීම

ඇඹිලිපිටියේ තුංකම පිහිටි සුවදිවි ප්‍රජාජල මධ්‍යස්ථානය 2022.10.11 දින අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ද ලක්ව ඇත. ගම්මාන සංවර්ධනය මූලික කරගත් ප්‍රජාජල සම්පාදන ව්‍යාපෘතීන් ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමට මෙන්ම රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ශක්තිමත් කර ගැනීමටත් සෘජු දායකත්වයක් සපයන බව මෙහිදී අගමැතිවරයා පවසා තිබිණි. පානීය ජල සැපයුමට අමතරව ගම්මාන ගණනාවක සංවර්ධනය සඳහා සුවදිවි ප්‍රජාජල ව්‍යාපෘතිය ලබාදී ඇති දායකත්වය ද අගමැතිවරයාගේ ඇගයීමට ලක්ව ඇත. මේ ව්‍යාපෘතිය සතු නවීනතම පරීක්ෂණාගාරය මඟින් අවට ගම්මානවල ළිං සහ අනෙකුත් ජල මූලාශ්‍රවල ජලය සහන මිලට පරීක්ෂා කර දීම ද සිදු කරනු ලබයි. මෙවැනි ප්‍රජාජල ව්‍යාපෘතීන් ශක්තිමත් කිරීම සහ අලුතින් ඇතිකිරීම තුළින් දුෂ්කර ප්‍රදේශවල ජනතාවට පිරිසුදු පානීය ජලය ලබා දීමටත්, තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමටත් හැකියාව ලැබෙන බව ද අගමැති දිනේෂ් ගුණවර්ධන එම ස්ථානය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ දී අදහස් දක්වමින් සඳහන් කර ඇත.

මේ අනුව ප්‍රජාජල යෝජනා ක්‍රමයක් වටා ගොඩනැගෙන ප්‍රජා මූල සංවිධානය ගමේ සංවර්ධනයට දායක වීම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් ලෙස අපට මෙම සුව දිවි ප්‍රජා මුල ව්‍යාපෘතිය සඳහන් කළ හැකි වේ. මෙහි යම් යම් අඩුපාඩු සහ දුර්වලතා තිබෙනවා ද විය හැකිය. එහෙත් සාපේක්ෂව මෙහි සාර්ථකත්වය ඇගයිය හැකිය. මේ පසුබිම තුළ අපට රටේ අනෙත් ප්‍රදේශවලට ද ආදර්ශයක් කරගත හැකි ව්‍යාපෘතියක් ලෙස මෙය සඳහන් කළ හැකිය. පොදුවේ ගත් විට මෙම ප්‍රජාජල යෝජනා ක්‍රමවල මෙතෙක් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ලබාදීම මෙන්ම ජනයාට පානීය ජලය සැපයීමේදී උසස් ප්‍රමිතියෙන් යුක්තවූ සේවාවන් ලැබීම තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීම සහ වැඩිදියුණු වීම් සිදු කළ යුතුව ද තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment