අපේ බලධාරීන්ගේ උදව් නොලැබී ‘රජා මං වහලා’ට කත්මණ්ඩුවේ දොර වැසෙයි!

348

අපට ප්‍රතිපාදන නැහැ – සංස්කෘතික ඇමැති
ජනපතිට අගමැතිට ලිව්වත් මේ වනතෙක් පියවරක් නැහැ

2016 වසරේ රාජ්‍ය සම්මාන දහයක් දිනූ 2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය වූ නාට්‍යවේදී චාමික හත්ලහවත්තගේ රජා මං වහලා නාට්‍යය “2022 නේපාල අන්තර් ජාතික නාට්‍ය උළෙල’ සඳහා තෝරා ගෙන තිබේ. ලෝකයේ නාට්‍ය 84 කින් හොඳම නාට්‍ය 18 සඳහා තේරී පත් වී ඇති මෙම නාට්‍යය නේපාල අන්තර්ජාතික නාට්‍ය උළෙලට සහභාගිවීම සඳහා ගුවන් ටිකට්පත් ලබාගැනීමේ දැඩි මූල්‍ය අර්බුදයක සිරවී සිටී. මේ වනවිට මෙම නාට්‍ය කණ්ඩායම රජයෙන් ද මේ සඳහා අනුග්‍රහකත්වයක් ඉල්ලා සිටිය ද මේ වනතෙක් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් හිමි වී නොමැත. කෙසේ වෙතත්ත අවසානයේ චාමික ඇතුළු පිරිසට මෙම උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී යයිද? මේ ගැන දැනගන්න අපි චාමිකව ඇමතුවා.

අපේ බලධාරීන්ගේ උදව් නොලැබී ‘රජා මං වහලා’ට කත්මණ්ඩුවේ දොර වැසෙයි!
නාට්‍යවේදී චාමික හත්ලහවත්ත

රජා මං වහලා නාට්‍ය නේපාල අන්තර් ජාතික නාට්‍ය උළෙල නියෝජනය කරන්න අවස්ථාව උදාවුණේ කොහොමද?

සමාජ පරිවර්තනය උදෙසා නාට්‍ය කලාව තමයි ඔවුන්ගේ තේමාව. එතකොට මෙතැනදී ඔවුන් අපිට කිව්වා මේ ගැන ව්‍යාපෘතියක් සකසලා එවන්න කියලා. එහි නියෝජනයට එකතු වුණු නාට්‍ය 84 කින් තමයි හොඳම 18කට තෝරාගෙන තිබෙන්නේ. එතකොට මේ නාට්‍ය උළෙල පැවැත්වෙනවා නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 25 දක්වා. එතකොට අපේ නාට්‍යය පෙන්වන්න තියෙන්නේ නොවැම්බර් 30 වැනිදා නේපාලයේ කත්මණ්ඩුවල මණ්ඩල තියටර්හිදී. අපිට මේකට ප්‍රතිපාදන ලබාගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකට හැමතැනටම ලියුම් ලිව්වා. නමුත් ඉතින් සංස්කෘතික අමාත්‍යාංශයෙන් පවා කියන්නේ මේවට දෙන්න ප්‍රතිපාදන නැහැ කියලා. දැන් ඉතින් රාජ්‍ය නාට්‍ය උළෙල, කෙටි නාට්‍ය උළෙල කියා කිසිම දෙයක් අපේ රටේ පැවැත්වූයේ නැහැ. අපි දන්නෙ නැහැ මොනවා වෙනවාද කියලා. ඔහේ බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. හැබැයි මේ පිළිබඳ වාර්තා පළවුණහම පසුව බොහෝ පිරිස් කතා කරලා අදටත් මට සහයෝගය ලබාදෙන්න උත්සාහ කරනවා.

නාට්‍යකරුවෙක් විදිහට ඔබේ සගයෝ ටික එකතු කරගෙන නේපාලයට යන්න නොලැබීම ගැන දුකක් තියෙනවාද?

නාට්‍යකරුවෙක් විදිහට බරපතළ විදිහට කනගාටුවක් තියෙනවා. මොකද අපි ඔය නාට්‍යය අවුරුදු එකහාමරක් විතර පුහුණුවීම් කළා. දර්ශන වාර සියයක් විතර කරලා නාට්‍ය පීක්ම කාලේ කොරෝනා හින්දා නැවතුණා. අවුරුදු තුනක් විතර නාට්‍ය දර්ශනයක් පැවැත්වුණේ නැහැ. අපි ඒ නාට්‍යය පෙන්නුවහම ලෝකය

දැනගන්නවානෙ. වෙන දේවල් නම් දැනගන්න පුළුවන්. ඒ කියන්නෙ පොත් ලියලා, ෆිල්ම්ස් හදලා ලෝකය දැනගන්න පුළුවන්. නමුත් වේදිකා නාට්‍යයක් දැනගන්න පිටපත කියවලා බැහැනේ. ඉංග්‍රීසියට පරිවර්තනය වෙලත් බැහැ. එහෙනම් මේ වේදිකා නාට්‍ය අන්තර්ජාතික වේදිකාවල ගිහිල්ලා පෙන්වන්න ඕනෑ.

මේක අපේ රටට කාලෙකින් ලැබුණු අවස්ථාවක් නේද?

ඔව්. කාලෙකින් ලැබුණු අවස්ථාවක්. මීට කලින් මම වගේම බොහෝ අය ගිහින් තිබෙනවා. අනික මේ නාට්‍ය ප්‍රදර්ශනය වෙන්නේ ලොකයේ ගොඩක් රටවල් නියෝජනය කරන නාට්‍ය උළෙලක. ඒ වගේ උළෙලකට තෝරගත්තා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. නමුත් එහෙම අවස්ථාවක් ලැබිලත් අපිට බෑ අපේ රට නියෝජනය කරන්න. අපි ලෝකයේ නාට්‍ය බලනවා කියන්නෙ කොච්චර දැනුමක් අපිට ලැබෙනවාද? ඉතින් මේ සියල්ල අපිට අහිමි වෙලා තියෙනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ උළෙල නියෝජනය කරන්න. තවම ප්‍රතිපාදන හම්බ වෙලා නැහැ. අපි උත්සාහ කරන්නේ දර්ශන වාර කිහිපයක් සංවිධානය කරලා හරි සහභාගි වෙන්න.

අපේ බලධාරීන්ගේ උදව් නොලැබී ‘රජා මං වහලා’ට කත්මණ්ඩුවේ දොර වැසෙයි!

ගුවන් ටිකට් පත්වලට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට නොහැකිවද ඔබලා සිටින්නේ?

අනිවාර්යයෙන්ම ගුවන් ටිකට් පත් සොයා ගැනීමේ තමයි බරපතළ අර්බුදය තිබෙන්නේ. මෙම නාට්‍ය උළෙල සංවිධානය කරන පිරිස අනෙක් හැමදේම ලබාදෙනවා. අඩු තරමේ රජයට පුළුවන් වුණා නම් සියයට පනහක වට්ටමක් යටතේවත් මෙම ගුවන් ටිකට්පත් ටික ලබා දෙන්න ඒක ලොකු දෙයක්. මම කියන්නේ නැහැ අපිට නිකම්ම ගුවන් ටිකට් පත් ටික ලබාදෙන්න කියලා. එම මුදලින් අඩක්වත් ලබාදෙනවානම් ලොකු සහනයක්.

ඔබේ නාට්‍ය කණ්ඩායමේ කී දෙනෙක් මේ සඳහා සහභාගි වෙනවාද?

මෙම උළෙල නියෝජනය කරන්න අවස්ථාව ලබාදීලා තිබෙන්නෙ දසදෙනකුට. නමුත් මේ නාට්‍යයේ රඟපාන්නේ පස්දෙනෙක් වුණාට ඒක පොඩි වැඩක් නෙමේ ටීම් වර්ක් එකක්. ඒකට අපිට ස්ටේජ් මැනේජර්ස්ලා අනිවාර්යයෙන්ම ඕනෑ. මම අවසර ඉල්ලලා තියෙනවා 12 දෙනකුට. මම රජයෙන් ඉල්ලුවේ මේ දසදෙනාට හරි සහනයක් සලසලා දෙන්න කියලයි.

මේ අර්බුදය සම්බන්ධයෙන් මෙහි රඟපෑ නළු නිළියන් මොනවද කියන්නේ?

ඔවුන් ඉන්නේ දැඩි කනගාටුවෙන්. ඒ ගොල්ලෝ ඉන්නේ සංකීර්ණ ජීවිතවල. සරත් කරුණාරත්න, සනත් විමලසිරි, උමයංගනා වික්‍රමසිංහ, තෙරුණි පීරිස්, තිලංක ගමගේ ප්‍රධාන නළු නිළියන් ලෙස මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේ වැඩේට ඔබලාට කොපමණ වියදමක් යනවාද?

වියදමක් කියන්නේ මම හිතන්නේ ගුවන් ටිකට් පතක් ලක්ෂ එක හමාරක් විතර වෙනවා. දස දෙනෙක් මෙම උළෙල නියෝජනය කරන්න ලක්ෂ පහළොවක් වැය වෙනවා. ලක්ෂ පහළොවක් නොමැති නිසා අපි ලොකු අවධානමක ඉන්නෙ. මේ මොහොතේ පවා මෙම නාට්‍ය උළෙලේ සංවිධායකයින් මට කතා කරනවා මේල් එවනවා. අපේ දැනුවත් භාවය මොකක්ද කියලයි ඔවුන් අහන්නේ. ඉතින් අපි එනවා කියලා තියෙනවා. අන්තිමේ ඔවුනුත් අසරණ වෙනවා. මොකද අපේ රටේ නම මෙම උළලේ ප්‍රචාරණය කරලා තියෙනවා. තවද අපේ රටේ කොඩිය පවා මෙම උළෙලට යොදාගෙනයි තියෙන්නෙ. සමහර විට අපිට යන්න බැරි වුණොත් රටක් විදිහටත් නාට්‍යකරුවෝ විදිහටත් අපිත් අසරණයි.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සංස්කෘතික ඇමැතිතුමා සමග කතා කළේ නැතිද?

සංස්කෘතික ඇමැතිතුමාට ලියුම් යැව්වා. අද හෙට උත්සාහ කරනවා හම්බ වෙලා කතා කරන්න. මොකද මේ වැඩේ ඉක්මනට කරගන්න ඕනෑ නිසා. අනික අපිට ඉතින් ලොකු දේශපාලන සම්බන්ධකම් නැහැනේ. එතකොට අපිට කරන්න තියෙන්නේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සංස්කෘතික ඇමැතිතුමාට විතරයි. ඉතින් අපි ඒ සියලු දෙනාටම ලියුමකින් දැන්වූවා. ඒ වගෙන් ආවේ අපි ඔබලාට සතුටු පළ කරනවා ප්‍රතිපාදන ලබාදීමට අවකාශයක් නැහැ කියලයි. මේක හරිම ඛේදජනක තත්ත්වයක්.

දිනේෂ් විතාන

අපේ බලධාරීන්ගේ උදව් නොලැබී ‘රජා මං වහලා’ට කත්මණ්ඩුවේ දොර වැසෙයි!
advertistmentadvertistment
advertistmentadvertistment