ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමේ බියක් ජනතාවට දැනෙන්නට පටන් අරන් – ගයන්ත කරුණාතිලක (සජබ)

75

දරුවන් සහ මව්වරු ලක්‍ෂ 28ක් මන්දපෝෂණයෙන්

රටේ දේපළ සොරාගත් කල්ලිය හේතුවෙන් සොරබියක්, ආර්ථික අර්බුදය හමුවේ ජීවනෝපාය අහිමිවීමේ බියක්, ජීවනෝපාය අහිමිවීම නිසා කුස ගිනි බියක්, පෝෂණය බිඳ වැටුණ නිසා රෝග බියක් මෙන්ම අධ්‍යාපනය අහිමි වීමේ බියක් සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමේ බියක් ජනතාවට දැනෙන්න පටන්ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

පෙරේදා (29 දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මේ බව කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මෙසේද පැවැසීය.

සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න පෙර පාළු ගෙයි වළං බිඳින හැටි දැක්කා. නොයෙකුත් පුරසාරම් කතා කිව්වා. ආණ්ඩු පිහිටුවන හැටි ගැන කතන්දර කිව්වා. නමුත් අද වනවිට බලවේගය මොන පැත්තටද කැරෙකෙන්නේ කියලා පෙනෙන්නට තිබෙනවා.

ලංකාවේ බොහෝ නිවාසවල තිබුණ රත්තරං ආභරණ අදවනවිට සින්න වෙලා තිබෙනවා. ආර්ථික අර්බුදයේ බලපෑම අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉතා තදින් බලපාලා තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පාසල් යන දරුවන් එක්ලක්ෂ විසිනවදහසක් පමණ පාසල් යෑම අත්හැරලා තිබෙනවා. පාසල් යන දරුවන් ලක්ෂ 11 කට පමණ අධ්‍යාපන ආධාර අවශ්‍ය බව හඳුනාගෙන තිබෙන බව යුනිසෙෆ් ආයතනය පවසනවා. මොන දරුවටද අධ්‍යාපනය ලබාදෙන්නේ කියලා පාසල් යන වයසේ දරුවන් සිටින දෙමාපියන් අද කල්පනා කරනවා. ඒ තරමට ආර්ථික අර්බුදයේ බලපෑම උග්‍රවෙලා තිබෙනවා.

පාසල් දරුවට අවශ්‍ය පොත්, උපකරණ, බස්ගාස්තු, අමතර පන්ති ගාස්තු සැපැයීම දෙමාපියන්ට බරපතල ගැටලුවක් බවට පත්කර තිබෙනවා. රට පුරා පාසල්වල භෞතික සම්පත්වල විශාල ඌනතාවක් තිබෙනවා. ඒ වගේම පාසල්වල දැවැන්ත ගුරු හිඟයක් තිබෙනවා.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්න සංඛ්‍යාව වැඩිකළා. නමුත් ඊට සමානුපාතිකව රටේ උසස් අධ්‍යාපනයට අවශ්‍ය අරමුදල් වෙන්කරලා නෑ. විශ්වවිද්‍යාලවල 12,992ක් ආචාර්යවරු සිටිය යුතු වුවත් දැනට සේවයේ නිරත වන්නේ ආචාර්යවරු 8500 ක් එම පිරිසෙනුත් සක්‍රීය සේවයේ සිටින්නේ ආචාර්යවරු 6200 ක් වගේ පිරිසක්. උපයන විට බද්ද හේතුවෙන් ආචාර්යවරු රැකියාවෙන් ඉවත් වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාලවල සිසුන් සංඛ්‍යාව දෙගුණයක් වෙද්දී ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පහත වැටී තිබෙනවා. රටේ දරුවන් සහ මව්වරු ලක්ෂ 28 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කරලා තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට තුන්දහසක් මේ වනවිට වැසි ගොස් තිබෙනවා. ඒ කිසි කෙනෙකුට තවම ඔලුව උස්සන්න ශක්තියක් නෑ.

කොළඹ පාරිභෝගික මිල දර්ශනයට අනුව 2023 ජනවාරි මාසයේ රුපියල් 3960 කට ගත්ත බඩු මල්ල. 2024 ජනවාරි මාසයේ මිලට ගන්න වෙන්නේ රුපියල් 7099 ක් වගේ මුදල් ගෙවලා. මෙය සියයට 80 ක් වැඩිවීමක්. ජීවන වියදම කොයිතරම් ඉහළ ගිහින් ද කියලා මෙයින් පැහැදිලි වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment