ප්‍රිස්මයෙන් පෙරී වෑහෙන කෙටි කවියක නෙක වර්ණ

106

ප්‍රිස්ම කාව්‍ය සංග්‍රහය – සුමින්ද කිත්සිරි ගුණරත්න

කවියක් වින්දනය කරමින් රසිකයකු ඇතුළුවන භාවමය අවකාශය, සුදු ආලෝක කිරණයක් ප්‍රිස්මයක් හරහා ගමන් කිරීමෙන් අපකිරණය වීම හෙවත්, සුදු ආලෝකයේ වර්ණ විභේදනය වී දේදුණු වර්ණයෙන් විසිරීයෑම වැනි සංසිද්ධියක් ලෙස හැඳින්වීමට පුළුවන. ප්‍රිස්මය මත පතිත කරන ආලෝකයේ වර්ණය, පෘෂ්ඨයේ ඝනත්වය, පතිත වන කෝණය ආදි නොයෙකුත් භෞතික සාධක මත වර්ණ විභේදනය වෙනස් වන්නා සේ කවිය, ශානරයේ ඇසින් දැකීමද, අත්දැකීමේ ප්‍රබලත්වය හා ඉදිරිපත් කරන ආකාරය, රසිකයාගේ කාව්‍ය සාක්ෂරතාව ආදී කරුණු රැසක් මත කවියේ සැඟවී පවතින රස මානයක් උකහා විනිවිද දැකීමේ හැකියාව ද වෙනස් වෙයි. අයෙක් ප්‍රිස්මයකින් පෙරී එන ආලෝක කිරණයන්හී සුන්දරත්වය විඳින්නා සේ රසිකයාට කැමති ස්ථරයකින් ප්‍රිය වර්ණයක් තෝරාගෙන එය තමන්ගේ සෞන්දර්ය කලාපය තුළ වින්දනය කිරීමට ඉඩ හසර ඇති බවට විවාදයක් නොමැත.

සුමින්ද කිත්සිරි ගුණරත්න කවියාගේ කෙටි කවි එකතුව “ප්‍රිස්ම” නමින් නම් කිරීම අපගේ එම තර්කය සනාථ කරන්නාක් හා සමාන නම් කිරීමකි. මන්දයත් අර්ථ අනුනාද නගන සාලංකාරික බවින් මිදුණ අවම වචන ගණනකින් සැදුන කෙටි කවියක් කියවීමෙන් රසික මන තුළ ක්ෂණයෙන් ඉපැදෙන විදර්ශනාත්මක ආලෝකය සම කළ හැකි ආලෝකයක් උපදවන වෙනත් සාහිත්‍ය ශානරයක් සොයා ගැනීම උගහට බැවිණි.

නො දනිත් දරුවන් ඇකයෙන් වැටුණ තාලයට අනායසව කෙටි කවි ලියවෙන්නට ඉඩ හරිනවා හැර ආයාසයෙන් කෙටි කවියක් ලිවිය නොහැකි බවටත්, නොදනිමි කාගේ දොසා ලෙස, ඉඟි බිඟි මිස නිශ්චිත අරුත් නො දිය යුතු බවත් අපට පවසන, කවියා සිදුකරන කෙටි හැඳින්වීම කෙටි කවියේ ස්වභාවය (කවියාට අනුව සංකිත කවිය) පිළිබඳව කවියාගේ ස්ථාවරය පිළිබිඹු කරයි.

වෙඩි වැදුණ පසු
බැලුම් බෝලයට
සුළඟ
නිදහස් (27 කවිය)

මෙම කවියේ පදනම ශුන්‍යත්වය හෙවත් අනිත්‍යය ලෙස කෙනෙකුට සිතෙන්න පුළුවන. බැලුම බිඳීයෑම හේතුවෙන් එතුළ තිබූ වායු කොටස සුළඟට එක් විය. ශුන්‍යතාව යනු කිසිවක් නොමැති වීම නොව පවතින දෙයෙහි ඇති වෙනස්වන ස්වභාව හෙවත් අනිත්‍යය යි. බුදුන්වහන්සේගේ ඉගැන්වීමක් වචන කිහිපයකින් කවියක් කර පෙන්වන්නට කවියා ගත් තැත ප්‍රශස්තය.

පා කරන්නට ගියෙමි
අම්මාගේ අළු
ගිලුණෙමි
දණවටක්! (2 කවිය)

මෙවන් සුවිශේෂි සංවේදී මොහොතක, දණවටක් නොව කරවටක් වුව ගිලෙන මේ ගිලීම හුදු ගඟ දියේ ගිලීමක් නොවන බව දන්නා කෙනෙකුට කුමක් කියන්න ද?

පෙරඹර හිරු එළිය
බිඳී ගිය
ප්‍රිස්මය (8 කවිය)

හයිකු ආකාර ලක්ෂණ ගත් මේ කෙටි කවියේ කවියා, කවියා පෙරඹර හිරු එළිය හා බිඳුන ප්‍රිස්මයක් රසිකයාට පෙන්වා නිහඬ වෙයි. ප්‍රිස්මය බිඳී ඇති බැවින් හිරු එළිය අපකිරණය කළ නොහැක. රසිකයාගේ බලාපොරොත්තුව වූයේ හිරු එළිය විභේදනය වීම දැකීම ද, පෙරඹරින් පෙරී එන හිරු එළිය නො බිඳී එලෙසම පවතිනු දැකීම ද පැහැදිලි නැත. නිගමනාත්මක අවසානයකින් තොර උක්ත කවිය, විස්තර කරනවාට වඩා යෝග්‍ය වන්නේ රසිකයාට කියවා ගන්නට ඉඩ හැරීම ය.

අඳුරට එරෙහි
මැටි පහන් අරගලය දැක
ලැජ්ජා වී
තැනින් තැන මතු වෙයි
තාරකා (7 කවිය)

අඳුර, මැටි පහන්, අරගලය, තාරකා, ලැජ්ජාව, තැනින් තැන, මතුවීම අපි මුලින් කී ආකාරය ප්‍රිස්මය තුළින් පෙරී ආ මේ වචන මවන විවිධ වර්ණ කැමති තැනකින් ගෙන වින්දනය කිරීමට රසිකයාට ඉඩ හසර ඇත.


උණුසුම් රාත්‍රියේ
මා විඳී
සීතලම සඳකැන්
මේ
සැඩහිරුගේ ම ද? (5 කවිය)

එකම පුද්ගලයෙක් තුළ පවා විවිධ පුද්ගල ස්වරූප ඇති බව ඉඟිකෙරෙන කවියකි. එක් මොහොතක සතුටට හේතු වූ දෙයක් තවත් මොහොතක වේදනාවකට තුඩු දෙන බව ද කවියා අපට පවසන්නේ.

පුරන් වූ
වෙල දෙසින්
ඇසෙයි තවමත්
තාත්තාගේ
අඬහැරය. (36 කවිය)

විප්‍රයෝග දුක්ඛය, නොස්ටැල්ජියාව, පිය පුතු සෙනෙහස, සමාජයීය වෙනස් වීම, ආර්ථික අවපාතය, දේශපාලනයේ අසමත්කම ආදී බොහෝ වස්තු විෂයන් එකට කැටි කළ කාව්‍යාලෝකයක් විහිදවන කවියකි එය. කවියේ භාවිත චිත්ත රූප, කවිය වෙත බහුශාබ්දිකත්වයක් උදාකර දී ඇත.

හිරු එළිය
සත් කඩ කර
සිනාසෙයි
ප්‍රිස්ම! (28 කවිය)

ඉහත කවිය අපට බොහෝ දේ දනවන කවියකි. හිරුඑළිය ප්‍රිස්මය තුළින් ගමන් කිරීම නිසා එහි වර්ණ විභේදනය වීම, කවියාට අනුව ප්‍රිස්මයට සිනා උපදවයි. එසේ වන්නේ, තමා හිරු එළිය කෑලි කෑලි කළ මහ කෙරුමෙකු ලෙස ප්‍රිස්මය සිතන නිසා විය යුතු ය. එහෙත් ප්‍රිස්මයේ එම ක්‍රියාව හිරු එළිය ඇබින්දකටවත් හානියක් කළේ නැත. ප්‍රිස්මයේ හැසිරීම හිරුට සිනා උපදවන්නක් වූ බව කවියා ව්‍යංගාර්ථයෙන් කියනවා වෙන්නට පුළුවන. වචන තුළ ඇති පවරාගත් අර්ථය අතහැර හෙවත් විසංයෝජනීය කියවීමකට මග පෙන්වන එම කවිය අපගේ සිත් ගනියි.

ප්‍රිස්මයකින් පෙරා කෙටි කවිය ගෙනා සුමින්ද කිත්සිරි ගුණරත්න කවියාට සුබ පතමි.

(මෙම ලිපිය සඳහා පූජ්‍ය අපරැක්කේ සිරි සුධම්ම ස්වාමින්වහන්සේ විසින් විරචිත කෙටි කවි ලකුණ කෘතිය ඇසුරු කරන ලදි.)

නිරෝෂ ප්‍රනාන්දු
හැමිල්ටන්, බර්මියුඩා

advertistmentadvertistment
advertistmentadvertistment