අවි ගත්තෝ අහුන්ගල්ලේදී යකා නටති

447

කොස්ගොඩ සුජීගේ ඥාතියාට වෙඩි තබා මරයි – සීසීටීවී ඔස්සේ පරීක්‍ෂණ

අහුංගල්ල මිද්දරමුල්ලේ සංචාරක හෝටලයක් ඉදිරිපිටට ඊයේ (01 දා) මහ දවල් යතුරුපැදියකින් කඩාවැදුණු සන්නද්ධ පාතාල අපරාධකරුවන් දෙදෙනකු පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ සමීපතම ඥාතියකු වෙඩි තබා ඝාතනය කර මුළු ප්‍රදේශයම භීතියට පත්කරමින් පලාගොස් ඇත.

දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් පාතාල සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර කාලයක පටන් පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ජෝතිමුණි නීල් කුමාර ද සොයිසා නමැති සිව්දරු පියෙකි. ඝාතනයට ලක්වූ පුද්ගලයා ත්‍රීවීල් මංජු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අතර මොහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ පියාගේ වැඩිමහල් සොහොයුරියගේ පුත්‍රයා බව පොලිසිය පවසයි.

මීට මාස කීපයකට උඩදී නීල් කුමාර සොයිසාගේ වැඩිමහල් සොහොයුරා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණ සිටි පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු පොලිසිය මගින් ඇල්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

හෝටල් ව්‍යාපාරිකයකු වූ එම පුද්ගලයා එහිදී අනූනවයෙන් දිවි ගලවා ගත්තේය.

කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයා මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර ඔහු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවන බව පොලිසිය පවසයි.

රත්ගම විදුර නමැති පාතාල නායකයා සහ සුජී අතර කාලයක පටන් දැඩි වෛරයක් ඇතිවී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේම සාමාජිකයන් රැසකට දිවි අහිමි වී ඇත.

ඊයේ දහවල් 12.15ට පමණ ත්‍රීවීල් මංජු නමැත්තා අහුංගල්ල මිද්දරමුල්ලේ පිහිටි සංචාරක හෝටලය ඉදිරිපිට සිටියදී යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලාගොස් තිබිණි.

එහිදී බරපතළ තුවාල ලැබූ ත්‍රීවීල් මංජු නමැත්තා අහුංගල්ල රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යද්දී මියගොස් තිබේ.

සීසීටීවී කැමරා ඔස්සේ ඝාතකයන් හඳුනා ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු සහ අනුර යසමිත් -බලපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment