වහල්ලු – මාර්ටින් වික්‍රමසිංහ

1151

උසස් පෙළට සිංහල – 12

ලේඛකයකු විය හැක්කේ ස්වෝත්සාහයෙන් තමා ව හැදීමෙනැයි වික්‍රමසිංහ සඳහන් කරයි. ඒ කියමන කෙරෙහි හිත යොමු කිරීමෙන් වත්මන් ලේඛකයනට විපුල ඵල ලැබිය හැකිය. වහල්ලු කෙටි කතාවට යොදා ගත් බස ඔහු ගේ විචාර කෘති සඳහා යොදා ගත් බසින් වෙනස් වෙයි. වහල්ලු කෙටි කතාව කියවන විට ඈන් රණසිංහ ගේ Plead Mercy කවිය සිහිපත් වේ.

I tell her what I know
Is not true” that life
Is always better than death
She frowns

ඈන් රණසිංහ ලියූ මේ කවියේ සඳහන් වන කරත්තයේ බැඳි ගොනා ගැන රසික සිත සංවේදී වනුයේ දැරිය මව ගෙන් අසන පැන සහ මව සපයන පිළිතුරු සඳහා දැරිය දක්වන ප්‍රතිචාර ඔස්සේ සිත මෙහෙයැ වීමෙනි. වහල්ලු කෙටිකතාවේ පාඨකයා සුසංවේදී වනුයේ හඳයා සහ උපාලිස් ගේ අව්‍යාජ බැඳීම හෙළි කිරීමෙනි. වහල්ලු කෙටි කතාව මාර්ටින් වික්‍රමසිංහ 1951 දී පළ කළ වහල්ලු කෘතියේ අන්තර්ගත කෙටි කතාවකි.

වහල්ලු කෙටි කතාවට හේතු වූ සමාජ සංස්කෘතික පදනම

වහල්ලු කෙටි කතාවට පදනම් වනුයේ ගැමි පරිසරය යි. එහෙත් ඒ පරිසරයේ වෙසෙන ගැමියන් බුදු දහමින් හික්මුණ ද ඒ අඳ බැතිය යැයි නො සිතමි. හඳයා විකිණිමට එරෙහි ව “නෑ . නෑ . ඌ විකුණන්නේ නෑ” යැයි උපාලිස් පවසනුයේ බොදු බැතිය නිසා නො ව උතුම් මිනිස් ගුණයෙන් වියෝ නො වූ බැවිනි. සතුන් මැරීම පවක් යැයි සලකන බෞද්ධයා වුව ද වියපත් වූ පසු දිවිය පුරා වැඩ ගත් හරකුන් මස් පිණිස විකුණයි. උතුම් ගුණ දම් සිංහලයාට ආරූඪ වූයේ බුදු දහමින් යැයි ගොතන ලද මතය මම නො පිළිගනිමි.

වහල්ලු කෙටි කතාවේ පරිසර වර්ණනා සහ සංකේත

උපාලිස් ගේ මරණය දක්වන පරිසර වැනුම් හා සංකේත බෙහෙවින් සිත්ගන්නාසුලු ය. ඇද වැටෙන මහ වැස්ස උපාලිස් ගේ මරණයෙන් කම්පිත වන නෑයන් දක්වන සංකේතයකි. “කෙළ ගණන් කස පහර ලබන්නාක් මෙන් වැසි දිය පහර ලබන පියස්සත්, බිත්තිත්, ගස් කොළනුත් හඬනු උපාලිස්ට ඇසෙයි. වැස්ස නිසා පීඩා විඳින උපාලිස් ගේ දුබල කය සිහියට නැඟෙන පාඨකයාට සංවේගය උපදවන මේ වැකිය මරණය පිළිබඳ ඉඟි කරන වැකියකි.

විස්තර සහ දෙබස්

උපාලිස් සහ උපාලිස් ගේ බිරිඳ අතර ඇති වන දෙබස් එකිනෙකා ගේ ලෙන්ගතුකමත් සිංහල සංස්කෘතියෙන් ලද හික්මුමත් පෙන්නුම් කරයි. ඔවුනොවුන් කතා බහ කරනුයේ නම් සඳහන් නො කරමිනි. උපාලිස් ගේ බිරිඳ සිය සැමියා අමතනුයේ නන්දාවතී ගේ තාත්තා යනුවෙනි. උපාලිස් ද ඇය අමතා නන්දාවතීලයි “අම්මා ගිහින් බුදිය ගන්න” යැයි පවසනුයේ අපරිමිත සෙනෙහසිනි. අපේ පැරැණි සමාජයේ අඹු සැමියන් ඔවුනොවුන් කෙරෙහි දැක්වූ ගෞරවයත් සෙනෙහසත් ඇමැතුම් පදවලින් අඳුනා ගත හැකිය. මේ උතුම් ගුණය වත්මන් සමාජයෙන් දියැ වී යෑම නිසා මතු වී ඇති ප්‍රශ්න එමට ය.

වහල්ලු කෙටි කතාවේ චරිත නිරූපණය හඳයා

හඳයා යනු වහල්ලු කෙටි කතාවේ එන චරිතයකි. උසස් පෙළ සිසුන් හඳයා චරිතයක් ලෙස ගත හැකි දැයි විමසනුයේ චරිත යනු මිනිසා පදනම් කර ගෙන

ගොඩනඟන්නක් ය යන සදොස් සිතුවිල්ලෙන් උපන් සැකය නිසා වියැ යුතුය. හඳයා යනු මේ කතාවේ එන ඉතා වැදගත් චරිතයකි. හඳයා තිරිසනකු වුව ද ඌ ගෙන් පළ වනුයේ උතුම් මිනිස් ගතිගුණයි. උපාලිස් ගේ දුබල කය දකින හඳයා ගේ හදින් ගලනුයේ කරුණාව යි. සැබෑ ආදර සෙනෙහස යි. හඳයා උපාලිස් ගේ කය ලෙවකනුයේ ඒ උතුම් ගුණය පළ කරමිනි.

හඳයා උපාලිස් බිම ඇද වැටී යට වීමට ගිය විටෙක එක වර කරත්තය නවතා නිසොල්මන් වූ බව කෙටි කතාකරුවා සඳහන් කරනුයේ හඳයා ගේ බුද්ධිමත් බව සහ උපාලිස් කෙරෙහි හඳයා ගේ හැඟීම දක්වනු පිණිස යි. එහෙත් උපාලිස් ගේ අතීතාවර්ජනය ඔස්සේ දක්වන ඒ සිදු වීම පාඨක විශ්වාසය බිඳෙන තැනක් දැයි සැක සිතෙයි.

උපාලිස්

උපාලිස් ධනවතකු නො වූ නමුදු ලද දෙයින් සතුටු ව දිවි ගෙවූ උතුම් මිනිස් ගුණයෙන් හෙබි ගැමියෙකි. උපාලිස් හඳයාට මේ තරම් ඇලුම් කළේ ඇයි? උපාලිස් කළගුණදත් අයකු බැවින් හඳයා තම දිවිය ගත කිරීමට කළ උදවු සිහිපත් කර සතුටු වෙයි. “මම නැතිදාට බොට සාත්තු කරන්නේ කවුද?” යි විමසන උපාලිස් හඳයා ගේ අනාගතය ගැන පවා සිතයි. “මේ වහල්ලු පොතෙහි එන වහල්ලු නමැති කථාවට වස්තු බීජය වූයේ කුඩා කල මා හොඳින් දැන හැඳින ගත් අල්ලිස් අප්පු නමැති මිනිසෙකි.” යැයි මාර්ටින් වික්‍රමසිංහ වහල්ලු කෘතියෙහි සඳහන් කර ඇත.

උපාලිස් ගේ බිරිඳ

උපාලිස් ගේ බිරිඳ ගැන පාඨකයා ගේ සිතෙහි ඇති වන හැඟීම කතාව අවසානය දක්වා කියවා ගෙන යන විට බෙහෙවින් වෙනස් වේ. හඳයා විකුණා දැමිය යුතු යැයි යෝජනා කරන ඇය අසංවේදී අයකු යැයි නැඟෙන සිතුවිල්ල යටපත් වී යනුයේ උපාලිස් ගැන සංවේදී ව සීතලෙන් මිදෙනු පිණිස රෙද්දක් පොරවන විට ය. හඳයා උපාලිස් ගේ කය ලෙවකනු දුටු ඇය එය හඳුනා ගනුයේ උපාලිස්ට කරන කරදරයක් ලෙසිනි. උපාලිස් ගේ බිරිඳ උපාලිස් කෙරෙහි දැක්වූයේ බියෙන් තොර වූ අවබෝධයෙන් ගොඩනැඟුණු ගෞරවයකි.

නන්දාවතී

උපාලිස් ගේ දියණිය වන නන්දාවතී මා පිය සෙනෙහස නො අඩු ව ලබන්නියකි. ඇය හඳයා කෙරෙහි කරුණාව දැක්වූ නමුදු කිපුණු විටෙක හඳයාට පහරක් ගැසුවා ය. නන්දාවතී ගේ චරිතය මේ කතාවේ පසුබිම් චරිතයකි.

සරසවි සඳැස නමින් දිවයින පුවත්පතේ වටමඬලෙහි පළ වූ ලිපි දහයක් ඉදිරි කාලයේ පොතක් ලෙස පළ වේ. මේ ලිපි පෙළ කියවන උසස් පෙළ සිසු දරුවනට දිවයින පුරා දෙසුම්, සංවාද, වැඩමුළු මෙකල පවත්වමින් සිටින අතර ඔබේ පාසලටත් පැමිණීමට අවශ්‍ය නම් [email protected] ලිපි යොමුවට දුරකථන අංකය සහ පාසලේ නම එවන්න.

වහල්ලු - මාර්ටින් වික්‍රමසිංහ

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි කනිටු විදුහල
සංස්කරණය . රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment