‘පාර්ලිමේන්තුව අරගලය පාවා දුන්නා’ – දමිතා කඳුළු සලද්දී අරගල බිමේ රනිල් ගෝ හෝම් රැව්දෙයි

1399

අරගලකරුවෝත් ඡන්දය බලති

සැබෑ ජනමතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවන බව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ප්‍රතිඵලය තුළින් පැහැදිලි වන බව ජන අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඊයේ (20දා) ජන අරගල භූමියේදී මාධ්‍ය අමතමින් පැවසුවාය. ඇය එම ප්‍රකාශය කළේ කඳුළු සලමිනි.

දින සියයකට වැඩි කලක් තිස්සේ සාමකාමීව ගෙන ගිය අරගලය තුළින් ජයග්‍රහණ රැසක් ලබාගත් බව පැවසූ ඇය අවසන් මොහොතේ එම අරගලය පාර්ලිමේන්තුව මගින් පාවා දුන් බවද කීවාය.

ඊයේ (20දා) පෙරවරුවේ සිට ගාලුමුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව සිටි අතර ඔවුහු සිය ජංගම දුරකථන හරහා පාර්ලිමේන්තුවේ පැවැත්වුණු ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සජීවීව නරඹමින් සිටියහ.

ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බව ප්‍රචාරය කිරීමත් සමග තුෂ්ණිම්භූත වූ අරගලකරුවන් සිය බලාපොරොත්තු සුණුවිසුණු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චෝදනා කරන අයුරු දැකගත හැකි විය. මෙම අවස්ථාවට දෙස්, විදෙස් මාධ්‍යවේදීන් රැසක් ද පැමිණ සිටි අතර ඔවුන් අරගලකරුවන්ගෙන් අදහස් විමසද්දී ඔවුන් මහත් ආවේගයෙන් අදහස් දක්වන අයුරු දැකගත හැකි විය.

කෙසේ වෙතත් අරගලයේ ඉදිරි පෙළ නායකයකු පැවසුයේ ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඉවත්ව ගියේ රනිල් වික්‍රමසිංහ නමැති විෂබීජය ඉතිරි කර බවයි.

අපි රනිල්ට කියනවා 69 ලක්‍ෂයක් ගත්ත ගෝඨාභයව ගෙදර යවපු අරගලයට ඡන්ද පනස්දාහක් ගත්ත රනිල්ව යවන එක කජ්ජක් නෙමෙයි කියලා හෙට ඉඳලා අපි රනිල්ව ගෙදර යවන අරගලය ආරම්භ කරනවා. අපි රට පුරා ජනතාවට කියනවා අපිත් එක්ක ඒ සටනට එකතු වෙන්න කියලා.

මෙහිදී මෙතෙක් කලක් ගෝඨා ගෝ හෝම් යන පාඨය සහිත හිස් පළඳනා පැළඳ සිටි අරගලයේ තරුණයන් ‘රනිල් ගෝ හෝම්’ යනුවෙන් සඳහන් වූ හිස් පළඳනා පළඳින අයුරු දැකගත හැකි විය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment