පාස්පෝට් නඩුවෙන් විමල් නිදහස්

53

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ඊයේ (01දා) ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි විමල් වීරවංශ මහතා 2015.10.23 වැනිදා උදෑසන 2.00ට පමණ විදෙස්ගත වීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිසි පරිදි නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රය රැගෙන කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ එම ගමන් බලපත්‍රය අක්‍රීය කරන ලද එකක් බවට දත්ත පද්ධතියේ පෙන්නුම් කරන බවයි. මන්ත්‍රීවරයා එම අක්‍රීය ගමන් බලපත්‍රය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කර පසුදින නව ගුමන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති අතර පසුදින උදෑසන නව සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් වලංගු වීසා පවතින අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයත් රැගෙන නැවතත් ගුවන් තොටුපළට පැමිණ ඇත. ඒ අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පුනා පුනා ප්‍රශ්න කළේ අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණීම අපරාධමය වරදක් නම් පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයිද යන්නයි.

එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් කළද එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ අක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක පවතින වලංගු වීසා භාවිත කර සක්‍රීය ගුවන් ගමන් බලපත්‍රයක් මගින් විදේශගත වීමට හැකි බවයි. එමෙන්ම මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවත් ආගමන විගමන නිලධාරීහු සාක්ෂි ලබා දෙමින් පිළිගත්හ.

එමෙන්ම නඩු පැවරීම සඳහා අනුමැතිය පවරා තිබුණේ සහකාර පොලිස් අධිකාරිවරයෙකි. නමුත් අනුමැති පත්‍රයේ සඳහන් කර තිබෙන ආගමන විගමන පනතේ වගන්ති අනුව සහකාර පොලිස් අධිකාරීවරයාට අනුමැතිය ලබා දීමට බලයක් නොමැති අතර අනුමැතිය දිය යුතුව තිබුණේ ආගමන විගමන පාලකවරයාය. ඒ අනුව විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන විත්තිය නොකැඳවාම මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

එම ඉල්ලීම සළකා බැලූ මීගමුව මහෙස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කළේය. විත්තිය වෙනුවෙන්, නීතිඥ සජීව මීගහවත්ත, ප්‍රශාන් වික්‍රමරත්න, විනෙශ්කා මෙන්ඩිස්, තිළිණි පෙරේරා සමග ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment