මැනිං ඇවිළෙයි – කඩකාමර පිටස්තර වෙළෙඳුන්ට දෙන්න යනවා – නිකන් නෙමෙයි අල්ලස්වලට

276

පෑලියගොඩ මැනිං උද්ඝෝෂණයේදී සභාපති ඇතුළු 14ක් අත්අඩංගුවට
උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් 17කට ඇප

මාර්කට් එකට එන්න පොදු ප්‍රවාහන සේවාවක් තවමත් නැහැ – ලලිත් හර්මන්
පිටස්තර අයට කඩ දෙන්නේ නැතැයි එදා ගෝඨාභය මහත්තයා පොරොන්දු වුණා

– එච්. ටී. එන්. සමරතුංග
පිටකොටුවේ නිදහසේ වෙළඳාම් කළත් දැන් අපි අමු අමුවේ අපායකට ඇදදාලා

– ඒ. එම්. එෆ්. ෆාරුක්
මහා පරිමාණ ව්‍යාපාරිකයේ මෙතනට ගෙනල්ලා දුප්පත් වෙළෙදුන් එළියට ඇදලා දාන්නයි යූඩී එක හදන්නේ – නිමල් වීරතුංග

මැනිං ඇවිළෙයි - කඩකාමර පිටස්තර වෙළෙඳුන්ට දෙන්න යනවා - නිකන් නෙමෙයි අල්ලස්වලට

පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ කඩකාමර නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිටස්තර පිරිසකට පවරා දීමට යන බව පවසමින් එම වෙළෙඳපොළේ වෙළෙදුන් රැසක් එම භූමි පරිශ්‍රයේ ඊයේ (26 වැනිදා) උදේ විරෝධතාවක නිරත වීමත් සමග එම පරිශ්‍රයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙම විරෝධතා ව්‍යාපාරය නතර කරන ලෙසට කොළඹ අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබිණි. එම නියෝගය නොතකා ඊයේ (26 දා) විරෝධතාවයේ යෙදුණු පෑලියගොඩ මැනිං එක්සත් පොදු වෙළෙදුන්ගේ සමිතියේ සභාපති එච්. එම්. උපසේන මහතා ඇතුළු 14 දෙනකු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු ‘දිවයින’ට පැවසීය.

මැනිං ඇවිළෙයි - කඩකාමර පිටස්තර වෙළෙඳුන්ට දෙන්න යනවා - නිකන් නෙමෙයි අල්ලස්වලට

මැනිං වෙළෙඳ පොළට පොලිස් ආරක්ෂාව යොදා තිබූ අයුරු.

අප එහි යනවිටත් පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රය තුළ පොලිසිය හා කැරැළි මර්දන ඒකකයේ නිලධාරීන් තැන තැන රැඳී සිටින ආකාරය දැකගත හැකිවිය. පොලිස් ට්‍රක් රථ, බස් රථ, පොලිස් ජීප් රථ පරිශ්‍රය තුළ නවතා තිබෙනු දැකගත හැකිවිය. වෙළෙදුන් සියලුදෙනා ඊයේ (26 දා) දිනයේ වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්ව සිය විරෝධය පළ කරන අයුරු දක්නට ලැබිණි. මෙම විරෝධතා ව්‍යාපාරය ගැන කල් ඇතිවම මාධ්‍ය මගින් දැනුවත් කිරීම හේතුවෙන් ඊයේ (26 දා) දිනයේ එළවළු මිල දී ගැනීමට පාරිභෝගික ජනතාව වෙළෙදුන් නොපැමිණියහ. මේ හේතුවෙන් මැනිං වෙළෙඳ පොළ පාලුවට ගොස් තිබෙන අයුරු දක්නට ලැබිණි.

මෙහිදී සිදුවන අසාධාරණය ගැන වෙළෙදුන් කිහිපදෙනකුම ‘දිවයින’ට අදහස් දැක්වූහ.

තිලක් සමරසිංහ මහතා:

නාගරික සංවර්ධන අධිකාරිය මෙහි තිබෙන කඩකාමර පිටස්තර වෙළෙදුන්ට දෙන්න යනවා. නිකන් නෙමෙයි අල්ලස්වලට. අපි කියන්නේ මේ කැත වැඩේ නතර කරන්න කියලයි. මෙතන අවුරුදු 30-40 කඩ කරන අය ඉන්නවා. මේක වහාම නතර කරන්න ඕනෑ.

පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ අනුශාසක ෂෙල්ටන් මහින්ද මහතා :

මේ කඩකාමර පිටස්තර වෙළෙදුන්ට දෙන්න යන එකට විරුද්ධව අපි සාමකාමී විරෝධතාවක් කරද්දී සමිතියේ සභාපතිතුමා ඇතුළුව 13 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේක අපි මහපාරේ කළේ නැහැ. අපි මේක කළේ මාර්කට් එක ඇතුළෙ භූමියේ. හරියට අපි මිනීමරලා වගේ අපේ වෙළෙදුන් අත්අඩංගුවට ගත්තේ.

වෙළෙඳ ව්‍යාපාරික ඒ. එම්. එෆ්. ෆාරුක් මහතා:

මට දැන් අවුරුදු 76යි. අවුරුදු 53ක් තිස්සේ මැනිං මාර්කට් එකේ වෙළෙඳාම් කරනවා. අපි පිටකොටුවේ බොහොම නිදහසේ වෙළෙඳාම් කරගෙන ගියා. දැන් අපිව අමු අමුවේ අපායකට ඇදලා දැම්මා. මේකේ යූඩීඑකේ අන්තනෝමතික ක්‍රියා රැසක් සිදුවෙනවා. ඒකෙ එක ප්‍රතිඵලයක් තමයි මේ. යූඩීඑකේ ඉන්න මේ නිලධාරීන් ගැන විමර්ශනයක් කළ යුතුයි.

වෙළෙඳ ව්‍යාපාරික ලලිත් හර්මන් මහතා:

නාගරික සංවර්ධන අධිකාරිය මේ කඩවල් පිටස්තර අයට දෙන්න යනවා. නමුත් මේ මාර්කට් එකේ අඩුපාඩු ගැන කිසිම දෙයක් සොයා බලන්නේ නැහැ. මෙහි වැසිකිළිවල ගලි උතුරනවා. වතුර වළවල් පිරිලා. කුණු කසළ ගොඩ ගැහිලා. දැඩි දුගඳක් හමනවා. මාර්කට් එකෙන් බඩු ගන්න එන මිනිසුන්ට පොදු ප්‍රවාහන සේවාවක් නැහැ. මේ වගේ ප්‍රශ්න තියෙද්දී යූඩීඑක පිට එවුන්ට කඩකාමර දෙන්න යනවා. යූඩීඑකේ සමහරක් අය ජරා පප්පලා. ඒ අය ජරාවටම යටවෙලයි ඉන්නේ.

වෙළෙඳ ව්‍යාපාරික විජය කුමාර මහතා:

මේ යූඩීඑකේ ජරා වැඩේ නිසා අපිට සාමකාමි විරෝධතාවකට යන්න වුණා. මේ නිසා අද අපිට වෙළෙඳාම කරන්නත් විදියක් නැහැ. අපේ දරුමල්ලො අනාථයි. දැන් අපිට රජයෙන් සල්ලි දෙන්නේ නැහැනේ. අපේ බඩට ගැහුවා. මේවා රටේ පාලකයන්ට තේරෙන්නේ නැහැ. දුප්පත් අපිටම තමයි මේ අසාධාරණකම් කරන්නේ. අවුරුදු ගානක් තිස්සේ කඩ කරන අය ඉන්නවා. ඒ අයට සථිර කඩ නැහැ. ඒ නිසා ඒ පිරිසට මේ කඩ දෙන්න කියලයි අපි කියන්නේ. එහෙම දුන්නේ නැත්නම් අපි ඔක්කොම මෙතන වහබීලා මැරෙනවා.

නිහාල් චන්ද්‍ර මහතා:

නාගරික සංවර්ධන අධිකාරිය කරන මේ අසාධාරණයට එරෙහිව අපි දිගින් දිගටම විරෝධය පානවා. ඒ වගේම නිකරුනේ අත්අඩංගුවට ගත් වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිස වහාම නිදහස් කළ යුතුයි.

මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා:

එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ කඩ දෙන කොට අපි එතුමාට කිව්වා මේ කඩ පිටස්තර කාටවත් දෙන්න බැහැ කියලා. එහෙම කරන්නේ නැහැ කියලා එදා එතුමා අපිට පොරොන්දු වුණා. දැන් මේ යූඩීඑක ඒවා අමතක කරලා කරන වැඩෙන් වෙන්නේ පිටස්තර වෙළෙන්දොයි අපේ වෙළෙන්දොයි අතර ගැටුමක්. මේක මිනීමරාගෙනයි නතර වෙන්නේ.

සමිතියේ විධායක සභික නිමල් වීරතුංග මහතා:

මෙතන යූඩීඑක බලන්නෙ රටේ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයෝ මෙතනට ගෙනල්ලා මේ දුප්පත් ව්‍යාපාරිකයෝ ටික එළියට ඇදලා දාන්නයි. යූඩීඑක කරන මේ කැත වැඩේට එරෙහිව ලංකාවේම තියෙන මාර්කට්වල වෙළෙඳුන් පෙළගස්සනවා.

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නෝමන් පලිහවඩන සහ මංගලා මදුරප්පෙරුම – කැලණිය, වි.ටි.කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment