ත්‍රස්ත විරෝධී පනත පස්සට ගන්නේ උසාවි යන අයට පහසු වෙන්න

128

ඇමැති විජයදාස රාජපක්‍ෂ

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල ඉල්ලීම මත ත්‍රස්ත විරෝධී පනත අප්‍රේල් අග හෝ මැයි මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පනත ජාත්‍යන්තරය ත්‍රස්ත පනතට විරුද්ධ නැති බවත් පැවසූ ඇමැතිවරයා පොලිසියට බලය අවභාවිතා කළ නොහැකි බවත් සඳහන් කළේය.

ඇමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පිළිබඳව සිවිල් සංවිධාන හා ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ (06 දා) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදීය.

විශේෂයෙන් දැනට පවතින පනතෙහි රැඳවුම් නියෝග නිකුත් කිරීම සඳහා බලය ජනාධිපතිට පවතින අතර, එම බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කරමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබා දී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමනු ලැබුවේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඊට විරුද්ධ අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ඇති අවස්ථාව පහසු කිරීමට හා විපක්ෂය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ, නීතිඥ සංගමයේ මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ ඉල්ලීම සලකා බලා බවත් හෙතෙම කීවේය.

මෙම නව පනත් කෙටුම්පත තුළින් වෘත්තීය සමිති හෝ මාධ්‍ය ක්‍රියාකාරකම් මර්දනය වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ ඇමැතිවරයා කිසියම් පුද්ගලයකුට ත්‍රස්තවාදියකු වන්න බලාපොරොත්තුවක් නොමැති නම් මෙම පනත් කෙටුම්පතට විරුද්ධ වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද කීවේය. ත්‍රස්තවාදයේ පොඩි හෝ ලොකු භේදයක් නොමැති බැවින් ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදය බවත් ඇමැතිවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment