පිළිකා එන්නතක් මෙරට හදන්න සමාගමක් අවසර ඉල්ලයි

331

අත්‍යවශ්‍ය පිළිකා නාශක එන්නතක් වන ට‍්‍රස්ටුසුමැබ් එන්නත යුරෝපා තාක්ෂණයෙන් මෙරට නිපදවීම සඳහා අනුමැතිය ලබා දෙන්නැයි පෞද්ගලික සමාගමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ආනයනය කිරීමේ දී රුපියල් පනස් පන්දහසක් පමණ වන මෙම එන්නත මෙරට නිපදවා රුපියල් හතළිස් පන්දහසකට ලබා දිය හැකි බවත් මාසයකට එන්නත් පනස් දහසක් නිපදවීමට හැකියාව ඇති බවත් එම සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ මීට වසර හතකට පෙර ස්ථාපිත කර තිබෙන මෙම සමාගම එම වසරේ සිටම යුරෝපා තාක්ෂණයෙන් පිළිකා නාශක එන්නත් නිපදවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් කරන ලද ඉල්ලීම්වලට නිසි ප‍්‍රතිචාරයක් ලැබී නැත. ගුණාත්මක තත්ත්වයෙන් යුතු පිළිකා නාශක එන්නත් නිෂ්පාදනය කිරීමට සිය සමාගමට ඇති හැකියාව නිරීක්ෂණය කර ඒ සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ඖෂධ නියාමන අධිකාරියෙන් කිහිප වරක්ම ඉල්ලා ඇති නමුත් මේ දක්වා විධිමත් නිරීක්ෂණක් කිරීම නියාමන අධිකාරිය හිතාමතාම මග හරිමින් එන්නත් ආනයනය ප‍්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවසීය. ඊට ප‍්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ වෙනත් පෞද්ගලික ආයතනවලින් එන්නත් ආනයනය කිරීමේදී ඇතැම් බලධාරීන්ට ලැබෙන රුපියල් බිලියන ගණනින් වන කොමිස් බව ද ඔහු සඳහන් කළේය. මෙතෙක් කරන ලද ඉල්ලීම්වලට නිසි ප‍්‍රතිචාරයක් නොලැබුණු හෙයින් මෙම සමාගම මෙම එන්නත නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කර ස්විට්සර්ලන්තයට අපනයනය කරමින් සිටියි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment