පෙම්වතුන් වීඩියෝ කර ඡායාරූප අන්තර්ජාලයට දැමූ සැකකරු අල්ලයි

218

ගාල්ල දඩල්ල මුහුදු වෙරළේ සිටින පෙම්වතුන් වීඩියෝකර ඔවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින ලද සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල දඩල්ල පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණ තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද පරික්ෂණවලදී අනාවරණයවී ඇති ආකාරයට දඩල්ල මුහුදු වෙරළ ආශ්‍රිතව තිබෙන වැටකෙයියා පඳුරු අසලට පැමිණෙන පෙම්වතුන් ළඟට පැමිණෙන සැකකරු ඔතන ඉන්න එපා පොලිසියෙන් ඒවි ඇතුළට යන්න කියා පවසා ඔවුන් ඉදිරියෙන් ඇති වැටකෙයියා පඳුරු තුළට යවා ඇත.

එසේ යන පෙම්වතුන්ට රිසිසේ හැසිරීම සඳහා වැටකෙයියා පඳුරු තුළ බංකු ගසා අඳුරු තැන්ද සැකකරු විසින් සකස් කර තිබි ඇති එම ස්ථානවලට ගොස් සමහර පෙම්වතුන් ලිංගික හැසිරෙන අයුරු සැකකරු විසින් හොරෙන් වීඩියෝ කර අන්තර් ජාලයට මුදාහැරීම සහ මුදලට විකිණීම සිදුකර ඇත.

පොලිසිය පැවසුවේ මේ වනවිට එවැනි වීඩියෝ හැත්තෑ පහකට අධික ප්‍රමාණයක් සැකකරු විසින් අන්තර් ජාලයට මුදාහැර ඇති අතර ඒවා බොහොමයක්ම බාල වයස්කාර සිසුවියන්ගේ ඒවා බවය. මෙම ස්ථානය පරිසරයට හානියක් නොවන ආකාරයට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල නගර සභාව මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව පිරිසිදු කිරීමට පියවර ගන්නා බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ, පොලිස් අධිකාරි සනත් අමරසිංහ, තොරතුරු තාක්ෂණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. එස්. ජයවීර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

උණවටුන ඩී. ජී. සුගතපාල

advertistmentadvertistment
advertistmentadvertistment