15 දරුවාට මහ පොළව නුහුලන අපරාධයක් – වැදූ මවටත් පුංචි පුතු එපා වෙලා

1491

වැඩ නොකළොත් නැන්දා මට ගහන්නෙ ලොකු එස්ලෝන් බටවලින්  මගේ මුළු ඇඟේම තුවාල තියෙනවා
  ඒගොල්ලො ටීවී බලනකන් මම එයාලගෙ කකුල් මසාජ් කරන්න ඕනේ


 අකාරුණික ලෙස දෙමාපිය සෙනෙහස අහිමි වී වැදූ මවගේ අනුදැනුම මත රඳවා සිටි නිවසේ හිමිකාරිය ඇතුළු එම පවුලේ සියල්ලන්ගේ අමානුෂික අඩන්තේට්ටම්වලට ලක්වූ 15 හැවිරිදි පිරිමි දරුවකු වසර හතරක් පුරා මුහුණ දුන් ඉතා ශෝචනීය ඉරණම පිළිබඳ පුවතක් කැලණිය දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයෙන් වාර්තා වේ.

මෙම ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පති සහ පංතිභාර ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ජාතික ළමාරක්ෂක අධිකාරියට දැනුම් දීමෙන් පසු එම නිලධාරීන් විසින් කිරිබත්ගොඩ පොලිසිය සහ පෑලියගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමාරක්ෂණ නිලධාරිනිය ඇතුළු බලධාරීන් කැටුව පාසල වෙත පැමිණ දරුවාගෙන් ප්‍රකාශ ලබාගෙන නීතිමය පියවර ගෙන ඇත.

 දරුවාගේ හිසේ සිට දෙපා දක්වා ඇති තැලුම් පහරවල් සහිත කැළැල් වසර හතරක් මුළුල්ලේ ඔහු ශාරීරික වධ හිංසාවලට ගොදුරුවී ඇති බවට සාක්ෂි දරන බැවින් මානසික හා ශාරීරික ප්‍රතිකාර ලබාදීම සඳහා පොලිස් ආරක්ෂාව මත දරුවා කොළඹ කාසල් රෝහලට ඇතුළත් කර ඇත. වෛද්‍ය වාර්තාවලට අනුව සැකකරුවන්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගන්නා බව පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඒ. කළුවිතාරණ මහතා ඊයේ (23 වැනිදා) ‘දිවයින’ට පැවසීය.

මෙම දරුවාගේ දෙමාපියන් නීතියෙන් වෙන්වී ඇති අතර පියා සිය දරුවාගේ අධ්‍යාපනය හා ආහාරපාන සඳහා රුපියල් 4500 බැගින් මාසිකව නඩත්තු මුදලක් ගෙවා ඇත. මවගේ දෙවන සැමියා බිරිඳගේ පෙර විවාහයේ දරුවා තමන් සමග රඳවා ගැනීමට අකැමැති වූ බැවින් ඒ වන විට හයවන වසරේ ඉගෙනුම ලබමින් සිටි කුඩා පුතු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි ආච්චි අම්මාගේ (මවගේ මෑණියන්) භාරයට පත්කර ඇත. පියා දරුවාට මාසිකව ගෙවූ රුපියල් 4500 නඩත්තු මුදලද කෙටි කලකින් ගෙවීම පැහැර හැරීමෙන් පසු වයෝවෘද්ධ මිත්තණියට දරුවා නඩත්තු කිරීම සහ අධ්‍යාපනය දීම අපහසු වූ බැවින් කැලණිය හුණුපිටිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ යුවළක් දරුවාගේ මවගෙන් කළ ඉල්ලීම මත එවකට එකොළොස් හැවිරිදි වියේ පසු වූ දරුවා මීට වසර හතරකට පෙර මෙම යුවළගේ භාරයට වැදූ මව විසින් භාරදී තිබේ. එම නිවසේ සිට මෙම දරුවා කැලණිය දළුගම ශාන්ත ප්‍රැන්සිස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට පැමිණ ඇත.

 දිනපතා පාසලට නොපැමිණෙන මෙම දරුවා පසුගිය සතියේ දින කීපයක් පාසලට පැමිණ නොමැති අතර නැවත සිකුරාදා පාසලට පැමිණ ඇත. දරුවාගේ මුහුණේ කම්මුල් සහ නාසය ප්‍රදේශයේ තිබූ තැලීම් කැළැල් දුටු පංතිභාර ගුරුතුමිය ඒ පිළිබඳව ප්‍රශ්න කළ අවස්ථාවේ එක එල්ලේ පිළිතුරු නොදුන් දරුවා ‘නාන කාමරේ වැටුණා’ යැයි පැවසුවද මුහුණ කම්මුල් සහ නහය ඉදිමී ඇති එම කැළැල් පහරදීමක් නිසා ඇතිවූවක් යැයි තරයේම විශ්වාස කරමින් ගුරුවරිය යළි යළිත් කාරුණිකව විමසීමේදී වසර හතරක් තිස්සේ තමන් විඳි අප්‍රමාණ වධ හිංසා සියල්ල මෙම ශිෂ්‍යයා ඉකිබිඳ හඬමින් විදුහල්පතිවරයා සහ ගුරු මව හමුවේ ප්‍රකාශ කර ඇත. වහාම ක්‍රියාත්මක වූ විදුහල්පති වරයා ජාතික ළමාරක්ෂණ අධිකාරියේ හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමකින් සිද්ධිය දැනුම් දී ඇති අතර ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ඒ මොහොතේ වහාම කිරිබත්ගොඩ පොලිසිය සහ පෑලියගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කැටුව පාසලට පැමිණ දරුවාගෙන් තොරතුරු විමසා තිබේ. එහිදී මෙතෙක් තමා මුහුණ දුන් වේදනාවන් සියල්ල දරුවා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

 “නැන්දා මට නිතරම නිකරුණේ පහර දෙනවා. ඒ ගෙදර ඔක්කොගෙම කිළුටු රෙදි යට ඇඳුම් පවා හෝදන්නෙ මම. එයාලා ටීවී බලනකන් මම එයාලගෙ කකුල් මසාජ් කරන්න ඕනේ. කට්ටියගෙම ඇඳුම් අයන් කරන්නෙ, සපත්තු පොලිෂ් කරන්නෙ, මිදුල් අතුගාන්නෙ, භාජන සෝදන්නෙ මමයි. උදේ පාන්දරින් නැගිටලා මේ වැඩ නොකළොත් නැන්දා මට ගහන්නෙ ලොකු එස්ලෝන් බටවලින්. මගේ මුළු ඇඟේම තුවාල තියෙනවා.

 නැන්දා හැමදාම මට කියන්නෙ අපිට කරදර නොදී වහබීලා මැරියන් කියලයි. මගේ පිට පුරා අත්බාහුවල කකුල් දෙකේ බටපාරවල් වැදිලා රිදෙනවා. දැනට දවස් හතරකට විතර කලින් නැන්දා මගේ නහය දෙක තුනට නවලා තදින් ඇඹරුවා. මට ගොඩාක් රිදුණා. ඒත් ගෙදර වැඩ කියපුවා කළා. එයාලා බටලන්දෙ කෑම්ප් එකට කෑම පාර්සල් දෙනවා. ඒවා පාර්සල් බඳින්න පවා මං උදව් කරන්න ඕනේ. දවස් තුනක් යනකන් මූණ හෝදන්නවත් බැහැ නහය වේදනයි. තුන් දවසක් ඉස්කෝලේ එන්න දුන්නෙම නෑ. අද මං එනකොට මට කිව්වා මූණෙ කැළැල් ගැන ටීචර් ඇහුවොත් බාත්රූම් එකේ වැටිලා තුවාල වුණා කියන්න කියලා. මගේ අත් කකුල් පිට ඔක්කොම නැන්දයි මාමයි ගහලා තුවාල වෙලා තියෙන්නේ. අනේ නැන්දාගෙන් මාව බේර ගන්න” යැයි ඉකිබිඳ හඬමින් දරුවා ප්‍රකාශ කර ඇත. මොහොතක් පාසල් බංකුව මත නිදාගත් දරුවා ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් එහි පැමිණි පසු නින්දෙන් ඇහැරුණෙද ‘අනේ මාව නැන්දගෙන් බේරගන්න’ යැයි පවසමිනි. මෙහි ඇති අකාරුණික තත්ත්වය වන්නේ මේ අන්දමට අමානුෂික ලෙස හදා ගත් නිවසේ අය දරුවාට පහර දෙන බව දරුවාගේ වැදූ මවද දැන සිටීමය. පසුගිය සතියේ දිනක දරුවාගේ පාසල් පැමිණීම දුර්වල බව ඔහුගේ මව ගෙන්වා ප්‍රකාශ කර දරුවාගේ භාරකාරත්වය ගන්නා ලෙස විදුහල්පතිවරයා ඇයට උපදෙස් දුන්නද මව ඒ ගැන තැකීමක් කර නැත. දරුවාගේ වැදූ මව දරුවා සම්බන්ධයෙන් වගකීම් භාර නොගන්නා බව පාසලේ බලධාරීන්ට ද එහිදී වැටහී තිබේ.

 මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය අමරසිංහ මහතා සහ පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඒ. කළුවිතාරණ මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක තමරා දුෂාන්තිද සිල්වා මහත්මිය, කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමාරක්ෂණ නිලධාරිනිය මෙන්ම දරුවාගේ පාසලේ විදුහල්පති ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

 කැලණිය – මංගලා මදුරප්පෙරුම, ප්‍රදීප් ප්‍රසන්න සමකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment