පොලිස් බලය හැර 13 දෙන්න එකග වෙන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිසබයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි

285

13 සංශෝධනය රටේ උත්තරීතර නීතියයි: – දැන් එය වෙනස් කරන්න බැහැ
ඉඩම් ගැනත් අධ්‍යයනය කරනවා
රටවල්වලට ආණ්ඩුවලට දුන් පොරොන්දු නිසා පළාත් සභා අහෝසි කරන්න බැහැ
පළාත් සභා බලගැන්වෙන තෙක් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දෙන්න උපදේශක සභාවක්
යාපනය සරසවි නගරයක් කන්කසන්තුරේට විශ්වවිද්‍යාලයක්
ත්‍රිකුණාමලය – නැගෙනහිර – උතුරුමැද යාකරන සංවර්ධන නවෝදයක්
අතුරුදන්වූවන්ට සහතික පැමිණිලි විභාග කඩිනමින් අවතැන්වූවන් යළි පදිංචිය
පුරාවිද්‍යා කැණීම් හා සීමා නිර්ණය ජාතික සැලැස්මකට
දකුණු ඉන්දියාවට බෝට්ටු සේවාව යළිත්
ප්‍රා. ලේකම්වරු පත්කිරීම, විශ්වවිද්‍යාල පිහිටුවීම හා පාසල් අධ්‍යාපන බලතලත්
පළාත් සංචාරක ප්‍රවර්ධන මණ්ඩල
දැනටම ආරක්ෂක අංශ භාරයේ තිබූ ඉඩම් අක්කර 22,919ක් නිදහස් කරලා
කාණ්ඩ දෙකක එල්ටීටීඊ සිරකරුවන්ට ජනපති සමාව
හැම පුරවැසියකුම පළාත් සභා නඩත්තු කරන්න රු.22,000ක් වැය කරනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය රටේ උත්තරීතර නීතිය බැවින් එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති බවත් එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.
එහිදී එම සංශෝධනයෙන් ඇති කළ පළාත් සභා සතු බලතල කාර්යභාරය සහ එහි අනාගතය පිළිබඳව සම්පූර්ණ අවසන් තීරණය පාර්ලිමේන්තුව විසින් ගත යුතු කාලය දැන් එළඹ තිබෙන බව තම මතය යැයි ජනාධිපතිවරයා කියා සිටියේය. ද එහි බලතල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන , ලිපිලේඛන, වාර්ෂික වාර්ථා, පෙත්සම්, ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව දහතුන්වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා සංශෝධනය සහ එහි බලතල සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශය සිදු කරමින් මෙසේ කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 13 වැනි සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දුන්නේ 1987 අවුරුද්දේ. දැන් අවුරුදු 36 ක් තිස්සේ පළාත් සභා ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ආකරය පිළිබඳව ගැටලු ගණනාවක් තියෙනවා. ඒ වගේම පළාත් සභා පිළිබඳවත් ගැටලු ගණනාවක් තියෙනවා. රටක් හැටියට ඉදිරියට යන්න නම් අපි මේ ගැටලු නිරාකරණය කරගත යුතුයි. අපේ රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැලපෙන ආකාරයට 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. අන්න ඒ නිසා තමයි

පසුගිය දා අප සර්ව පාක්ෂික සමුළුවක් සංවිධානය කළේ. දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන් ඒ සමුළුවට සහභාගී වුණා. ඒ සියළු දෙනාට මා ස්තුතිවන්ත වෙනවා.

එම සමුළුවේදී බලය විමධ්‍යගත කිරීම පිළිබඳව පූර්ණ එකඟතාවකට පැමිණීමට අපට පුළුවන්කම ලැබුණේ නැහැ. බලය විමධ්‍යගත කිරීමේ නිශ්චිත ජාතික වැඩපිළිවෙලක් පිළිබඳව විවෘත අදහස් එහිදී ඉදිරිපත් කෙරුණෙත් නෑ.

අපි දැන්වත් මේ තත්ත්වය වෙනස් කරමු. විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සියලු කාර්යයන්ට විපක්ෂ වීම යැයි සිතන සම්ප්‍රදායෙන් ඉවත් වෙමු. ආණ්ඩුවේ කාර්යභාරය විපක්ෂයේ අදහස් සැලකිල්ලට නොගෙන ක්‍රියා කිරීම යන පිළිවෙතිනුත් ඈත් වෙමු. අපි සියලූ දෙනාම විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියා කරමු.

13 වැනි සංශෝධනය හරහා පළාත් සභා ක්‍රියාත්මක කිරීමේදී පසුගිය 36 අවුරුද්ද පුරා අපි සාර්ථක වුණාද? අසාර්ථක වුණා ද? එසේ සාර්ථක වෙන්නට හෝ අසාර්ථක වෙන්නට හේතු මොනවාද? අපි මේ ගැන කතා බහ කරමු.

අපේ කලාපයේ ඉන්දියාව සහ චීනය වගේම බටහිර ලෝකයේ අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව වැනි විශාල රටවල් බලය විමධ්‍යගත කර තියෙනවා. ඒ වගේම එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ජපානය වැනි කුඩා රටවල් බලය විමධ්‍යගත කර තියෙනවා. මම චීනයෙන් එක් උදාහරණයක් ගෙන පෙන්වන්නම්. චීනයේ සුළුතර ජනවර්ග ඉන්නේ මුළු ජනගහනයෙන් සියයට 9 යකටත් අඩුවෙන්. නමුත් කලාප, කෝරළ, මහනගර ආදී පාලන ව්‍යූහයන් ගණනාවක් තුළ මේ සුළු ජනවර්ගයන්ට ස්වයාත්ත පාලන බලතල ඔවුන් ලබා දී තියෙනවා.

අපි අවුරුද්දකට පළාත් සභා වෙනුවෙන් රුපියල් බිලියන 550 ක් පමණ වැය කරනවා. මේ මුදල්වලට සාධාරණයක් පළාත් සභාවලින් ඉටු වෙලා තියෙනවාද?

ලංකාවේ සිටින සෑම පුද්ගලයෙකුම පළාත් සභාවක් නඩත්තු කරන්න රුපියල් 22,000ක මුදලක් වියදම් කරනවා. හතර දෙනෙකුගෙන් යුත් පවුලක් පළාත් සභාවක් නඩත්තු කරන්න රුපියල් 88,000ක් වියදම් කරනවා. ඒ මුදල් වලට සරිලන ප්‍රතිලාභ ඔවුන්ට ලැබෙනවද ? විවිධ ආණ්ඩු රටවල්

ගණනාවකට ලබාදුන් පොරොන්දු නිසා අපට පළාත් සභාව අහෝසි කරන්න බැහැ.

පළාත් සභා සහ මධ්‍යම රජයත්, පළාත් පාලන ආයතනත් අතර බලය සහ බලතල වෙන් වෙන්ව පැහැදිලි කර දී නෑ. ඒ නිසාම, පළාත් සභාව සහ මධ්‍යම රජය අතර විෂයයන් අතර ගැලපීමක් නෑ. වැඩ කටයුතු කරද්දී එකිනෙක හැප්පෙනවා. එකම වැඩේ දෙතැනකින් සිද්ධ වෙනවා. වැඩ කටයුතු ප්‍රමාද වෙනවා. ජනතාවගේ ගැටලු ලිහෙනවා වෙනුවට වැඩෙනවා.

මා බලන්නේ පළාත් සභාවට වෙන් කරන මුදලින් රුපියල් බිලියන 5ක්වත් ඉතිරිකර ගන්න පුළුවන් ද කියලයි. මෙන්න මේ වගේ හේතු නිසා පළාත් සභා සුදු අලියකු ලෙස හඳුන්වන පිරිසක් ද අපේ රටේ ඉන්නවා.

හැබැයි, ඒ සියලු අඩුපාඩු සහ දුර්වලතා මැද ශ්‍රී ලංකාවේ දේශපාලන මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කළ ආයතන පද්ධතියක් ලෙස පළාත් සභා හඳුන්වන්න පුළුවන්. පළාත් සභා දක්ෂ දේශපාලන නායකයන් බිහි කිරීමේ තවානක් මෙන්ම විධායකයට සහ පාර්ලිමේන්තුවට අවතීර්ණ වීමේ ප්‍රවේශ මාර්ගයක් වී තිබෙනවා. පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් දේශපාලන ගමන් මග ඇරඹූ විවිධ පුද්ගලයන් රටේ විධායක ජනාධිපති ධුරයට, අගමැති ධුරයට, කැබිනට් මණ්ඩලයට, වෙනත් වගකිව යුතු තනතුරුවලට පත් වූ අවස්ථා ගණනාවක් අතීතයෙන් අපට සොයා ගන්න පුළුවන්.

පළාත් සභා බලය බෙදීම, 13 වන ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ උත්තරීතර නීතියයි. එය නොසලකා ඉන්නට අපට හැකියාවක් නෑ. එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකත්වයත් බැඳී ඉන්නවා.

13 වැනි සංශෝධනය සහ බලය බෙදීම ගැන මගේ යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග දැන් මේ සභාවට මා ඉදිරිපත් කරනවා. විමධ්‍යගත කිරීම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය වෙත ළං වීම සඳහා මාර්ගයක් ලෙස සලකනවා.

ජනතාව වෙත බලය රැගෙන යාමේ තවත් ක්‍රමවේදයන් කීපයක් අප මෑතකදී ආරම්භ කළා. ආංශික කාරක සභා ශක්තිමත් කොට, ඒ සඳහා තරුණ ප්‍රජාව සහභාගී කරවීමට කටයුතු කළේ ඒ අරමුණ අනුවයි. ඒ වගේම බිම් මට්ටමේ ජනතාව පාලන කටයුතුවලට සහභාගී කරවා ගැනීම අරමුණු කර ගෙන ජනසභා ස්ථාපිත කිරීම සඳහා දැන් අප කටයුතු කරමින් සිටිනවා. ජනසභා ලේකම් කාර්යාලය අප ආරම්භ කළා. නියැදි ජනසභා පිහිටුවීමෙන් පසු, ජනසභා පනත ගෙන ඒමට අප පියවර ගන්නවා.

එම අතුරු වාර්තාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 සහ 5 වගන්ති සංශෝධනය පිළිබඳව නිර්දේශ ලබා දී තිබෙනවා. මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධන අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එසේම පහත දැක්වෙන කරුණු ක්‍රියාත්මක කළ යුතු බව ඒ වාර්තාවේ සඳහන් වෙනවා.

  1. පළාත් ලැයිස්තුවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී, පළාත් සභාවන්හි සහභාගීත්වය ලබා ගැනීම.
  2. පළාත් ලැයිස්තුවේ ඇති විෂයයන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම මගින් මධ්‍යම රජයට විමධ්‍යගත බලතල පවරා ගැනීමක් හෝ පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරලීමට ඇති විධායක හා පරිපාලන බලතලවලට කිසිදු බලපෑමක් හෝ සිදු නොවීම
  3. එකී විමධ්‍යගත විෂය ක්‍රියාත්මක කිරීමේ විධායක හා පරිපාලන බලතල පළාත් සභා වෙතම රැඳීම.

එම අතුරු වාර්තාව පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, ඒකාබද්ධ විපක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා ජනතා කොංග්‍රසය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සංධානය යන පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩග්ලස් දේවානන්ද මහතා සහ ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්ත මහතා ලේඛන ඉදිරිපත් කළා. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි.

ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස හෝ විමධ්‍යගත කිරීමේ ඒකකය ලෙස හෝ පළාත් සභා පිළි නොගන්නා ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය පවා පළාත් සභා ක්‍රමයේ සංශෝධනය විය යුතු කරුණු මෙන්ම සංශෝධනය නොවිය යුතු කරුණු ද ඇති බව පිළිගෙන තියෙනවා.

සියලු දෙනාටම එකඟ විය හැකි විසඳුමකට අපට එළඹීමට හැකියාව ලැබේ නම් ජාතික අනන්‍යතාවය ආරක්ෂා කර ගෙන එකම ජාතියක් ලෙස නැගී සිටීමටත්, රටේ බලය මහජනතාව වෙත ළංවන ආකාරයට විමධ්‍යගත කිරීමටත් අපට අවස්ථාව සැලසෙනවා. පළාත්සභා ස්ථාපනය කළේ උතුරු නැගෙනහිර පළාත්වල පමණක් නොවෙයි. ඒවා පළාත් නවයටම අදාළ වෙනවා. පළාත් සභා නිසි මගකට යොමු කිරීම මගින් අතකින් ජාතික එකමුතුභාවය ආරක්ෂා වෙනවා. අනෙක් අතින් වඩාත් කාර්යක්ෂම, වැඩි සේවාවක් සැලසෙන ආයතන පද්ධතියක් ලෙස තහවුරු කළ හැකි වෙනවා.

මේ සඳහා අවශ්‍ය පසුබිම සැකසීම උදෙසා පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත්

ගණනාවක් ඉදිරිපත් කිරීමටත්, නව ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමටත් මා යෝජනා කරනවා.

  1. ප්‍රාදේශීය ලේකම්වරුන් පත් කිරීම 2. අධ්‍යාපනය සම්බන්ධ සේවාවන් ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවට අවශ්‍ය බලය ලබාදීම. පළාත් සභා ලැයිස්තුවේ 3 වන උපලේඛනයේ සඳහන් වන පාසල් අධ්‍යාපනය පිළිබඳ වූ සියලුම බලතල ක්‍රියාත්මක කිරීම. 3. වෘත්තීය හා තාක්ෂණික පුහුණු කටයුතු සම්බන්ධ සේවාවන් වෙනුවෙන් පළාත් මණ්ඩල පිහිටුවීම 4. විශ්වවිද්‍යාල පිහිටුවීම සඳහා පළාත් සභාවන්ට බලය ලබාදීම 5. කෘෂි නව්‍යකරණය සහ බිම් මට්ටමේ සියලු කෘෂි සේවාවන් සැපයීම සඳහා පළාත් සභාවන්ට බලය ලබා දීම 6. පළාත් සංචාරක ප්‍රවර්ධන මණ්ඩල පිහිටුවීම
  2. ජාතික වැදගත්කමකින් යුතු කර්මාන්ත සම්බන්ධයෙන් වන සීමාව රු. මිලියන 4 සිට රු. මිලියන 250 දක්වා ඉහළ දැමීමට කර්මාන්ත පනතට සංශෝධන එක් කිරීම මේ පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් මේ සීමාව රු. මිලියන 500 දක්වා ඉහළ නැංවීමට වුනත් අප සුදානම් 8. පළාත් සභාවන්ට බලය පවරා ඇති කාර්යයන් සමහරක් තවමත් මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක කෙරෙන බැවින් ඒ වරද නිවැරදි කිරීම. 9. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකඣලව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීම.

මධ්‍යම ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව සෑම පළාත් සභාවක්ම තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කිරීම. මධ්‍යම රජයේ සංවර්ධන වැඩසටහන්ද තම තමන්ගේ බල ප්‍රදේශයන්ට අනුගත වන ආකාරයට මෙම සැලසුමට ඇතුළත් කළ යුතුයි. මෙම තුන් අවුරුදු සැලැස්මක් දිස්ත්‍රික් සංවර්ධන සභා ඔස්සේ ක්‍රියාත්මක කිරීම සහ එය ක්‍රියාත්මක කිරීමේ වගකීම පළාත් සභා වෙත පැවරීම. මෙම කාර්යයේ දී ඒ ඒ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් එකට එක්ව ක්‍රියා කළ හැකි නෛතික පරිසරයක් සකස් කිරීම.

දැනට ව්‍යවස්ථාවේ සඳහන් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුව, පළාත් සභා බලතල ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යළි අධ්‍යයනය කොට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අප පියවර ගන්නවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල සහය මීට ලබා ගන්නවා. 1987 අංක 42 දරණ පළාත් සභා පනත මගින් පළාත් සභා අමාත්‍යවරයකු සතු වගකීම් මොනවාද, පළාත් අමාත්‍ය ලේකම්වරයකු සතු වගකීම් මොනවාද, අනෙකුත් නිලධාරීන් සතු වගකීම් මොනවාද යන්න නිශ්චිත ලෙස අර්ථ දක්වා නෑ. ඒ නිසාම, යම් යම් වැරදි අවබෝධ, ගැටලු සහ අවුල් ඇති වෙනවා. ඒ නිසා ඔවුන් සතු බලතල නිශ්චිත කෙරෙන ආකාරයට පළාත් සභා පනතත් සංශෝධනය කළ යුතු වෙනවා.

පළාත් සභා සම්බන්ධ මේ නීති සංශෝධන කර ගැනීමෙන් හා නව නීති සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමටත් අප සුදානම්. දැනට මේ සම්බන්ධයෙන් යෝජනා තුනක් ඉදිරිපත් වී තිබෙනවා. 1. දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම

  1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා සඳහා තරඟ කිරීමේ අයිතිය ලබාදීම
  2. කාන්තා නියෝජනය 25% ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම මේ පිළිබඳවත් සාකච්ඡා කර එකඟතාවයක් ලබා ගෙන පළාත් සභා ඡන්දය පැවත්වීමට අපි පියවර ගනිමු. පළාත් සභා ක්‍රියාත්මක වනතෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදේශක සභාවක් පත්කිරීම පිළිබඳ අපේ අවධානය යොමුවී තිබෙනවා.

උපදේශක සභාවේ සාමාජිකයන් ලෙස; පළාත් අධීක්ෂණ කමිටු සභාපති හෝ ප්‍රධානීන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු සහ පළාතේ දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කළ හැකියි. ඒ වගේම නීති සම්පාදනය සඳහා තවත් කමිටුවක් පත් කළ යුතු යැයි අප යෝජනා කරනවා.

එමගින් සම්පාදනය කරන නීති කෙටුම්පත් සඳහා උපදේශක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු නීතියක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආණ්ඩුකාරවරයාත්, නම් කරන ලද පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් මෙම උපදේශක සභාවේ සම සමභාපතිත්වය දැරිය යුතුයි. විධායකය සම්බන්ධ කරුණු සාකච්ඡා කරන අවස්ථාවන්හි දී ආණ්ඩුකාරවරයා සභාපති ධූරය හොබවන අතර ව්‍යවස්ථාදායක කරුණු සාකච්ඡා කරන අවස්ථාවන්හිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සභාපති ධූරය දරනවා.

දැනට පළාත් සභා අමාත්‍යාංශ 45 ක් ක්‍රියාත්මක වෙනවා. මේ අමාත්‍යංශ සඳහා අධීක්ෂණ කමිටු පත් කිරීමටත්, වෙනත් වගකීම් නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒවායේ ප්‍රධානීන් ලෙස පත් කිරීමත් අපට කළ හැකියි. 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා වෙත බලය පැවරීමේදී වඩාත් සංවේදී විෂයයක් බවට පත්ව ඇත්තේ පොලිස් බලතල. ඒ නිසා මා යෝජනා කරන්නේ අප මුලින්ම අනෙක් බලතල පිළිබඳව එකඟත්වයකට පැමිණීම වඩාත් ප්‍රායෝගික බවයි. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු. සංවේදී විෂයයන් සඳහා මූලිකත්වය ලබා දුන්නොත්, සමහර විටක කිසිදු එකඟත්වයකට එළැඹෙන්නට අපට අපහසු වේවි. අපි අගින් පටන් ගන්නේ නැතිව මුලින් පටන් ගමු.

හැම ක්‍රියාවක්ම පොදු එකඟත්වයට අනුව සිදු කරමු. රටේ අනාගතය වෙනුවෙන් එකට එක්ව පොදු තීරණ ගැනීමට මේ පාර්ලිමේන්තුවට ශක්තිය සහ බුද්ධිය ඇති බව පෙන්වා දෙමු. රට තුළ අත්‍යාවශ්‍ය තිරසාර ජාතික සංහිඳියාවක් සුරක්ෂිත කිරීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙමින් කිසිදු දේශපාලන අභිප්‍රේරණයකින් තොරව ප්‍රගතිය කරා ගමන් කිරීම මගේ අරමුණයි. සංහිඳියාව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් බවට කිසිදු සැකයක් නැත. උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ මා පසුගියදා පැවැත්වූ රැස්වීමේ අරමුණ වුයේ මෙයයි. එය රජය ගෙන යන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අඩිතාලමක් වන බැවින් එහිදි සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව මෙම උත්තරීතර සභාවේ සාමාජිකයින් දැනුවත් කිරීම වැදගත් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මෙම තත්ත්වය තුළ, ජාතික සංහිඳියාව සඳහා දායක වන ගැටලු සම්බන්ධයෙන් අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් අපේක්ෂා කරන අතර, එය මා දැන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රති ත්‍රස්ත පනත –

පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සුදුසු කටයුතු සිදු කිරීමෙන් පසුව පනත් කෙටුම්පත නැවත ගැසට් කරනු ඇත.

දූෂණ විරෝධී පනත-

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් යෝජනා කරන ලද සංශෝධන සහිතව නමුත් ඡන්දය විමසීමකින් තොරව පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේදී සම්මත වීම ගැන මා සතුටු වෙමි. එය දැනටමත් ගැසට් කර ඇත.

සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සහ පනත-

සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය පිහිටුවා ඇති අතර ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කර ඇත. මීට අමතරව නීති හා ප්‍රතිපත්ති, මහජන සම්බන්ධතා සහ තොරතුරු තාක්ෂණය ආවරණය වන පරිදි අංශ තුනක් ස්ථාපිත කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සිවිල් සමාජ පාර්ශ්වකරුවන්ගේ උපදේශන සේවාවන් අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, අවසන් වූ වහාම ඊට අදාළ නීතිමය රාමුව සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) පනත් කෙටුම්පත-ONUR නීති කෙටුම්පතෙහි ව්‍යවස්ථාපිතභාවය සහතික කිරීම සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එය පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මීට අමතරව, ONUR විසින් කෙටුම්පත් කර ඇති සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වන්දි ගෙවීමේ කාර්යාලය-

උතුරු නැගෙනහිර පැවති යුද ගැටුමෙන් අතුරුදන් වූ පුද්ගලයන් 203දෙනෙක් සඳහා 2023 ජූලි වන විට රුපියල් මිලියන 40.6 ගෙවා ඇති අතර එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙමින් පවතී.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP)-උතුරු නැගෙනහිර ජනතාවට යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාව මා යළිත් අවධාරණය කරනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිලි 21,374 න් 3,462 ක විමර්ශන මේ වන විට අවසන් කර ඇත.

ඊට අදාළ තොරතුරු අඩංගු ලේඛනය මම සභාගත කරනවා (ඇමුණුම 01).-

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව නඩු හැසිරවීමේ ප්‍රතිපත්තියක් මත කටයුතු කරමින් සිටින අතර, පෙර කොමිෂන් සභා සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිලි ඵලදායී ලෙස කළමනාකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මාර්ගෝපදේශ කෙටුම්පත් කර ඇත. එම මාර්ගෝපදේශ සඳහා අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වේ. නව කමිටු 10ක් ද සමග මුළු කමිටු 24ක් සහිත අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, යොමු කිරීමේ සේවා සඳහා එක් දිස්ත්‍රික්කයකට සම්පත්දායක කණ්ඩායමක් බැගින් පිහිටුවීමට සැලසුම් කර ඇත.

එල්ටීටීඊ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිරකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම-

රිමාන්ඩ් සිරකරුවන් සංඛ්‍යාව 21ක්, මරණ දඬුවම නියම වූ සිරකරුවන් 3ක් සහ අනෙකුත් සිරදඬුවම් සහිත සිරකරුවන් 22ක් යන කාණ්ඩ තුන යටතේ එල්ටීටීඊ සිරකරුවන් සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති සමාව පිරිනැමීම සඳහා අවසන් සිරකරුවන් කාණ්ඩ දෙක පමණක් සලකා බැලීමට තීරණය කර ඇත. මෙම සන්දර්භය තුළ, ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඉතිරි සිරදඬුවම් ඉවත් කර අවසන් ඛාණ්ඩය යටතේ සිරකරුවන් 11 දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදී තිබේ.

ජාතික ඉඩම් කොමිෂන් සභාව පිහිටුවීම-

ජාතික ඉඩම් කොමිෂන් සභාව සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම කඩිනම් කිරීමට පියවර ගැනේ. රජයේ ඉඩම් අන්සතු කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජාතික ඉඩම් කොමිෂන් සභාව නීති කෙටුම්පතක් සකස් කර ඇති අතර එය තවදුරටත් අධ්‍යයනය කරමින් පවතී. පළාත් 9න් නියෝජිතයින් 9 දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 12 දෙනෙකු ඇතුළත් වන පරිදි ජාතික ඉඩම් කොමිෂන් සභාවෙහි සංයුතිය සංශෝධනය කරනු ලබයි.

ඉඩම් ගැටළු නිරාකණය –

විශේෂ කමිටුවක් මගින් අවශේෂ වනාන්තර ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් 2020 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබූ බව සිහිපත් කිරීමට කැමතියි. අනතුරුව මේ වසරේ මැයි මාසයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව 1985 ඉඩම් භාවිත කළ සිතියම් මත වනාන්තර සහ වනජීවී සංරක්ෂණ ප්‍රදේශ සීමා නිර්ණය කිරීමේ හැකියාව පරීක්ෂා කරන ලෙස මා ඉල්ලා සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර අන්තර් අමාත්‍යාංශ කමිටුවක් මගින් එම වනාන්තර ඉඩම් නිදහස් කිරීම බලාත්මක කිරීමට අනුමැතිය ලබා ගන්නා ලදී. ඒ අනුව, මුල් අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. මේ අතර උතුරු නැගෙනහිර සෑම දිස්ත්‍රික්කයකම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ඉඩම්වලට අදාළව ඉහත සඳහන් ඉඩම් භාවිත සිතියම්, වත්මන් ඉඩම් භාවිත රටා සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ යෝජනා පිළිබඳ අවධානය යොමු කරමින් දත්ත පද්ධතියක් සකස් කර තිබෙනවා.

දිස්ත්‍රික්කවලට අදාළ තොරතුරු ඇතුළත් සිතියම් අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාස දෙකක කාලයක් ලබා දී ඇත. මේ සඳහා අදාළ නිලධාරින්ගේ ඇමතුම් විස්තර ලේඛනය මා සභාගත කරමි (ඇමුණුම ෂෂ).

ජාතික පුරාවිද්‍යා සැලැස්ම-

රට පුරා ඇති පුරාවිද්‍යා ඉඩම් සීමා නිර්ණය කිරීම සහ කැණීම් සිදුකිරීම ජාතික සැලැස්මකට අනුව සිදුකළ යුතු බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලට මා දැනුම් දී තිබෙනවා. ප්‍රමුඛතාවය මත කැණීම් කටයුතු සිදුකිරීම, ස්ථාන හඳුනා ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ සැලසුම් කරන ලෙස මා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර අවතැන් වූවන් (අභ්‍යන්තර අවතැන් වූවන්) නැවත පදිංචි කිරීම-

උතුරු නැගෙනහිර ගැටුම් හේතුවෙන් විපතට පත් වූ සහ අවතැන් වූවන්ට සහය වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ උතුරු පළාත් සම්බන්ධීකරණ කාර්යාලය ස්ථාපිත කර තිබේ. ඔබ දන්නා පරිදි උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාව සුබසාධන මධ්‍යස්ථානවල නවාතැන් ගෙන හෝ ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් සමග ජීවත් වූහ. නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු ඔවුන් බොහෝ දුරට තම උපන් ස්ථාන කරා පැමිණ ඇත. නිවාස සහ ජීවනෝපාය ආධාර ඇතිව බහුතර ජනතාවක් නැවත පදිංචි කිරීමෙන් අනතුරුව උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින වත්මන් තත්ත්වය මම සභාගත කරනවා. (ඇමුණුම ෂෂෂ)

උතුරු සහ නැගෙනහිර පළාත්වල අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ලබයි. උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමට ඉතිරිව ඇත්තේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පමණි.

නැගෙනහිර පළාතේ අවතැන් වූවන් සිටින්නේ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල පමණක් වන අතර ඔවුන් මිතුරන් හා ඥාතීන් සමග ජීවත් වන අතර මෙම පළාතේ සුබසාධන කඳවුරු නොමැත. අවතැන් වූවන් නැවත පදිංචි කිරීම හා සම්බන්ධ ගැටලු විසඳීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු අතර ඒ සඳහා පෞද්ගලික ඉඩම් පොදු පරිහරණය සඳහා නිදහස් කිරීම ද අවශ්‍ය වේ.

ත්‍රිවිධ හමුදාව විසින් නිදහස් කිරීමට නියමිත ඉඩම්

උතුරු පළාත- යාපනයේ මුළු භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 253,283ක් වන අතර, 2009 වසරේ ආරක්ෂක හමුදාව සහ පොලිසිය විසින් අත්පත් කරගෙන සිටි ප්‍රමාණය අක්කර 26,812කි. 2009 වසරේ ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් අත්පත් කරගෙන සිටි ඉඩම්වලින් 90% සිට 92% දක්වා ප්‍රමාණයක් මේ වන විට විටින් විට නිදහස් කර ඇත. ඉඩම් තවදුරටත් නිදහස් කිරීම පහත සඳහන් කාණ්ඩ යටතේ සිදු කිරීම අපේක්ෂා කෙරේ. යුද හමුදාව සහ නාවික හමුදාව විසින් හඳුනාගෙන ඇති පරිදි යාපනයේ ඉඩම් අක්කර 1.4ක්, කිලිනොච්චියේ අක්කර 13ක් සහ මුලතිව් ප්‍රදේශයේ අක්කර 20ක් වහාම නිදහස් කිරීම.

දැනට නිදහස් කළ නොහැකි ඉඩම් සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි උතුරු පළාතේ ඉඩම් තවදුරටත් නිදහස් කිරීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනයක් සිදු කෙරේ.

උතුරු නැගෙනහිර සංවර්ධන සැලසුම්-උතුරු සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීම සඳහා පුළුල් හා ප්‍රායෝගික සැලසුම් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. 2030 වන විට රටේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාලිය හැකි බව අපේක්ෂා කරනවා. උතුරු හා නැගෙනහිර සංවර්ධන සැලසුම් දෙකෙහිම ප්‍රධාන අරමුණක් වන්නේ හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා නිෂ්පාදනය තුළින් කලාපයේ පුනර්ජනනීය බලශක්ති විභවය ප්‍රයෝජනයට ගැනීමයි. කොළඹ වරාය, පුනරීන් සහ ත්‍රිකුණාමලය පවා හරිත හයිඩ්‍රජන් අපනයනය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකියි.

මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතා ප්‍රයත්නයන් සඳහා පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින සූර්ය සහ සුළං බලශක්ති ආයෝජනය සහ අපනයනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අප දැනටමත් පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට අදානි සමූහ ව්‍යාපාරය ඉදිරිපත් සිටී. මීට අමතරව, උතුරට ජලය වැඩසටහන, විවිධ ජල මාර්ග පද්ධති සංවර්ධන ව්‍යාපෘතිවලින් සමන්විතයි. මෙම සන්දර්භය තුළ රජය විසින් පූනකරී වැව සහ මල්වතු ඔය වාරිමාර්ග සඳහා ප්‍රමුඛත්වය දෙනු ලබන ව්‍යාපෘති සඳහා දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. යාපනය කලපුවට මිරිදිය ජලය ගෙන ඒම සහ ඉරණමඩු වැවේ ධාරිතාවය වැඩි කිරීම සඳහා ‘යාපනයට ගඟක්’ ව්‍යාපෘතියට අදාළ සාකච්ඡා ද මේ වන විට සිදුවෙමින් පවතිනවා.

කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති ඉතා වැදගත්. මෙම ව්‍යාපෘති උතුරු පළාතේ කෘෂිකාර්මික හා සූර්ය බලශක්ති ක්ෂේත්‍රවල දියුණුවට හේතු වෙනවා. උතුරේ ගුවන් හා මුහුදු සම්බන්ධතා වැඩිදියුණු කිරීම ද අත්‍යවශ්‍යයි. කන්කසන්තුරෙයි වරාය, වවුනියාව සහ පලාලි ගුවන් තොටුපළවල් සංවර්ධනය කිරීම, උතුරු පළාත සහ දකුණු ඉන්දියාව අතර බෝට්ටු සේවාව ස්ථාපිත කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනක් යටතේ වන්නි ප්‍රදේශයේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා. මීට අමතරව, යාපනය විශ්ව විද්‍යාලය සමඟ එක්ව ශ්‍රී ලංකා තොරුතුරු හා සන්නිවේදන අධ්‍යයන ආයතනය අනුග්‍රහය යටතේ කන්කසන්තුරෙයි නව විශ්වවිද්යාලයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා භූමියක් හඳුනාගෙන තිබෙන බව කිවයුතුයි.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ අඛණ්ඩ සහයෝගීතාවය සහ කර්මාන්ත, බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ජාතික සහ කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තව දුරටත් වැඩිදියුණු කිරීමට ඉන්දියාව එකඟ වීම දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වනු නොඅනුමානයි.

නැගෙනහිර පළාත නාවික කටයුතුවල දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ත්‍රිකුණාමලය ප්‍රමුඛ උපායමාර්ගික වරායක් බවට පත් කළ යුතුය.

මෙම පළාත් තුළ කර්මාන්ත දියුණු කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බැවින් කර්මාන්ත කලාපයක් ස්ථාපිත කිරීමට හැකියාවක් පවතිනවා. එයට වරායත් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. සුඛෝපභෝගී මගී නෞකා සංචාර ද මෙම සංවර්ධන සැලැස්මට ඇතුළත් වෙනවා. නැගෙනහිර පළාතේ ධීවර, කෘෂිකර්ම සහ සත්ත්ව පාලන ක්ෂේත්‍ර නවීකරණය කිරීමට ඉලක්ක කර තිබෙනවා. මේ සඳහා මහවැලි දකුණු ඉවුරේ සහ ඊ කලාප විවෘත කිරීම කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට ඉවහල් වනු ඇති බව මගේ විශ්වාසයයි. රට තුන්වන පාර්ශ්වයකට විකුණනවා යන ප්‍රකාශය දිගින් දිගටම කියමින් ආණ්ඩුව විවේචනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂයෙන් ශ්‍රී ලංකාව ජාතියක් ලෙස පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් ගොඩ එන මෙවන් අවස්ථාවක දී, අප මුහුණ දුන් අත්දැකීම් අනුව, කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි බව සාධනීය ලෙස තේරුම් ගනු ඇතැයි මා විශ්වාස කරනවා. අද අප මේ පසු කරමින් සිටින්නේ කඩා වැටුණු ආර්ථිකයක් යළි ඔසවා තැබීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක්. මේ අප සීග්‍ර ආර්ථික සංවර්ධනයක් ලබා ගත යුතු කාලයක්. එවන් සීග්‍ර සංවර්ධනයක් දැනට ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමවේදය යටතේ ලබා ගන්නට ඇති ඉඩකඩ ඉතා අල්පයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ කාලයේදී යුධ ගැටුමේ අවසානයක් දකින්නට අපට හැකි වුණා. දැන් යුද ගැටුම් අවසන් වී අවුරුදු 14ක්. හැබැයි බලය බෙදීම සහ පළාත් සභා ප්‍රශ්න විසඳාගන්න අපි තාමත් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා අප සියලුදෙනා ජාතියක් විදිහට එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳන්නට කටයුතු කරමු. අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගත යුත්තේ අප විසින්මයි. ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන ලෙස වෙනත් කිසිදු පාර්ශවයකින් ප්‍රබල බලපෑමක් නොතිබුණු අවස්ථාවක මම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සභාවට ඉදිරිපත් කළා. එය සම්මත කරගත්තා. දුෂණ විරෝධී පනත මේ සභාවට ඉදිරිපත් කර සම්මත කරගත්තා. පසුගිය තරුණ විරෝධතාවලදී ක්‍රම වෙනසක අවශ්‍යතාව දැඩිව අවධාරණය කෙරුණා. අපේ රටේ බහුතර ජනතාවත් ක්‍රම වෙනසක් ඉල්ලා සිටිනවා. මා පෙර සඳහන් කළ පියවර සියල්ලෙන් අප කළේ ක්‍රම වෙනසකට මුල පිරීමයි. පළාත් සභා සම්බන්ධයෙන් ද අප මේ ක්‍රම වෙනස සිදු කළ යුතුයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment