පොලිසිය ගුවනට: ගිවිසුමට අත්සන්

502

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඇතුළු භූමිය පොලිස් මූලස්ථානය වෙත භාර දීමේ ගිවිසුම පොලිස්පතිවරයා සහ ගුවන් හමුදාපතිවරයා විසින් ඊයේ (15 වැනිදා) සුබ මොහොතින් අත්සන් කරනු ලැබීය.

ඒ අනුව කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤ වීදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය වෙත මාරු කිරීමට නියමිතය.

පොලිසිය ගුවනට: ගිවිසුමට අත්සන්

ගුවන් හමුදා මූලස්ථානය බත්තරමුල්ල පැලවත්ත අතුරේගොඩ ආරක්‍ෂක අංශ මූලස්ථානය වෙත මීට පෙර රැගෙන ගොස් තිබිණි.

ඒ අනුව කොම්පඤ්ඤවීදියේ පිහිටි මහල් 12කින් සමන්විත ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ගොඩනැඟිල්ල සහ භූමිය මින් ඉදිරියට පොලිස් මූලස්ථානය ස්ථාපිත කෙරෙණු ඇත.

මෙම ගොඩනැඟිල්ල සහ භූමිය නිත්‍යානුකූලව භාරදීම පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහ ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්‍ෂ යන මහත්වරුන් විසින් ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ගොඩනැඟිල්ලේ දී ඊයේ සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය, රන්මල් කොඩිතුවක්කු, අජිත් රෝහණ, වරුණ ජයසුන්දර, මහේෂ් සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වූහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ ඉදිරි මාස දෙක තුනක කාලසීමාවේ දී පියවරෙන් පියවර පොලිස් මූලස්ථානය පැරැණි ගුවන් හමුදා මූලස්ථානය තිබූ ගොඩනැඟිල්ල වෙත රැගෙන යෑමට කටයුතු කරන බවයි.

පොලිස් මූලස්ථානයට අයත්ව තිබූ කොළඹ කොටුවේ පිහිටි ගොඩනැඟිලි සහ භූමියේ සංවර්ධනය සඳහා භාවිත කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment