බටහිර ජපානයේ භූමිකම්පා හා සුනාමියකින් 30ක් මරුට: විශාල පිරිසක් අතුරුදන්

197

බටහිර ජපානයේ වෙරළබඩ ප්‍රදේශයේ හටගත් ප්‍රබල භූමිකම්පාවක් හා පසුකම්පන මාලාවක ප්‍රතිපලයක් වශයෙන් හටගත් සුනාමි තත්ත්වය හේතුවෙන් 30 දෙනකු මියගොස් ඇති අතර කඩා වැටුණු ගොඩනැගිලි හා මං මාවත්වල සුන්බුන්වලට යට වීමෙන් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය විසින් ඊයේ (02දා) දහවල් වාර්තා කර තිබිණි මෙම භූමිකම්පාවෙන් අනතුරුව රිච්ටර් මාපකයේ 7.4ක් ලෙස සඳහන් වූ ප්‍රබල භුමිකම්පාවන් 21ක් විනාඩි 90ක කාලයක් තුළදී ජපානයේ බටහිර වෙරළබඩ ප්‍රදේශය තුළ සිදුව ඇති බව එම මාධ්‍ය සඳහන් කර තිබේ. මෙම භූමිකම්පාවන් හා අනතුරුව හටගත් සුනාමි තත්ත්වය හේතුවෙන් ජපානයේ නෝටෝ අර්ධද්වීපයේ පිහිටි ඉෂිකාවා ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශයේ නායයෑම්, දරුණු ගිනි ගැනීම් හා ගොඩනැඟිලි කඩා වැටීම් මෙන්ම සුනාමි ව්‍යසනයක්ද හටගෙන තිබුණු බව වාර්තා වේ. භූමිකම්පා හා පසුකම්පනයන් හේතුවෙන් විදුලි කණුවලට හානි සිදු වීම නිසා නිවාස 33,000කට විදුලිය සැපයුම ඇනහිට තිබෙන බව බලධාරීහු පවසති. ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම ඇනහිට ඇති බව වාර්තා වේ. මිය ගොස් ඇති පිරිසෙන් 15 දෙනෙකුම ඉෂිකාවා ප්‍රාන්තයට අයත් වජිමා නගරයේ පදිංචිකරුවන් වන අතර මෙම ව්‍යසනයෙන් දැඩි හානි සිදුව ඇත්තේ එම නගරයට බව ඔවුහු පවසති.

පෙරේදා (01දා) සවස බටහිර ජපානයේ හටගත් ප්‍රථම ප්‍රබල භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.5ක් වශයෙන් සඳහන් වී ඇති බව අලුත්ම වාර්තාවල සඳහන් වන අතර එහි බලපෑමෙන් හටගත් ව්‍යසනයෙන් කඩා වැටුණු ගොඩනැඟිලි හා මං මාවත්වල සුන්බුන්වලට යටවී ඇතැයි සැක කෙරෙන පිරිස් සොයා 1000ක් පමණ වන සහන සේවකයන් පිරිසක් ඊයේ දිනයේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. මෙම ව්‍යසනය හේතුවෙන් විපතට පත් වූවන්ට ගොඩබිමෙන්, මුහුදෙන් මෙන්ම ගුවනින් අවශ්‍ය ආධාර සැපයීම පවතින තත්ත්වය මත අවහිර වී ඇති බව ජපන් බලධාරීහු පවසති. භූමිකම්පා සමගම හටගත් ප්‍රබල පසුකම්පනයන් නිසා ගොඩනැඟිලි හා නිවාස ගණනාවක් කඩා වැටී ඇති අතර තවත් නිවාස හා ගොඩනැඟිලි රැසක් සෙලවීමට ලක්ව තිබූ බව ජපන් මාධ්‍ය පවසයි. භූමිකම්පා සමගම ජපන් කාලගුණ විද්‍යාඥයන් විසින් සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට අවදානම් රතු නිවේදන නිකුත් කිරීමත් සමගම ජපානයේ වෙරළබඩ ප්‍රදේශවලින් ලක්ෂයක් පමණ දෙනා ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි. භූමිකම්පාවලින් පසු නෝටෝ අර්ධද්වීපයට මීටර් 3ක් හෝ එයට වැඩි උසකින් යුත් සුනාමි මුහුදු රළක් පැමිණ ඇති බව ජපන් බලධාරීහු පවසති. සුනාමි අවදානම් නිවේදන එම කලාපයට මෙන්ම අවට ප්‍රදේශවලට ද නිකුත් කර තිබූ අතර ඊයේ (02දා) වන විට එම අවදානම් නිවේදනයන් ඉවත් කළ බවත් තවදුරටත් ජපන් මුහුදු කලාපයේ සුනාමි අවදානමක් නොමැති බව ජපන් කාලගුණ විද්‍යාඥයන් විසින් නිවේදනය කර තිබේ. මෙම ව්‍යසනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇති ජපන් අගමැති ෆුමියෝ කිෂිඩා පෙරේදා සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් විශාල ජීවිත හා දේපල හානියක් සිදුව ඇති බව පවසා තිබේ. මෙම ව්‍යසනයට ලක් වූ ඉෂිකාවා ප්‍රාන්තයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරවලට දැඩි බලපෑමක් එල්ල වී නොමැති බව බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද ප්‍රාන්තයේ පිහිටි ෂිකා න්‍යෂ්ටික බලාගාරයට ව්‍යසනයෙන් බලපෑම් එල්ල වී තිබූ අතර එය දරුණු බලපෑමක් නොවන බව ජපන් රජය පවසයි. මේ අතර මෙම ව්‍යසනය හේතුවෙන් නව අවුරුද්දට සුබ පැතීම සඳහා ඊයේ දිනයේ ජපන් අධිරාජ්‍යයා වන නරුහිතෝ ප්‍රමුඛ රජ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ උත්සවය අවලංගු කිරීමට සංවිධායකයන් විසින් පියවර ගෙන තිබේ.

බටහිර ජපානයේ භූමිකම්පා හා සුනාමියකින් 30ක් මරුට: විශාල පිරිසක් අතුරුදන්

භූමිකම්පාවලින් පසු පැවති සුනාමි අවදානම මත නිවෙස්වලින් ඉවත් කළ පිරිස්වලට අවශ්‍ය ආහාර, ජලය හා බ්ලැන්කට් සැපයීමට ජපන් හමුදාව විසින් පියවර ගෙන තිබේ. මෙම මොහොතේ අවශ්‍ය වුවහොත් ආධාර සැපයීමට ඇමරිකාව සූදානම් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. බටහිර ජපානයේ හටගත් ප්‍රබල භූමිකම්පාවලින් පසු පසුකම්පනයන් 35ක් පමණ සිදුව ඇති බව වාර්තා වී තිබේ. භූමිකම්පාවන් ඇති වීමත් සමගම ජපානයේ බටහිර වෙරළබඩ කලාපයේ ගමන් කරමින් තිබූ මගීන් 1400 දෙනෙකු පමණ ගමන් ගත් ශීඝ්‍රගාමී බුලට් දුම්රිය හතරක ධාවනය පැය 11 ක කාලයක් අත්හිටුවා තිබූ බව ජපන් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය ධාවනය නැවත අරඹා ඇත්තේ ඊයේ (02දා) උදෑසනය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment